Wednesday 1 July 2015

ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging


මුස්ලිම් ආගමේ අයට තම ආදායමින් නියමිත ප්‍රතිශතයක් අනිවාර්යෙන් ම දන් දෙන්නට යැයි උපදෙසක් ඇති බව මා අසා ඇත.

දානය යනු බුද්ධාගමේ ද පින් රැස් කිරීමේ එක් ප්‍රධාන ක්‍රමයකි. දස කුසලින් එකක් යැයි ද, දස පාරමිතාවෙන් එකක් යැයි ද කියවේ. තමන්ගේ ආදායමෙන් යම් නිශ්චිත කොටසක් පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නැයි උපදෙසක් සිඟාලෝවාද සූත්‍රය හෝ එවැනි තැනක ඇති යැයි මා සිතා සිටියද එය එසේ නොවේ. එහි ඇති උපදෙස වෙන්නේ ආදායමෙන් හතරෙන් එකකින් ජීවත් වී, තවත් හතරෙන් එකක් ඉතුරුකර, ආදයමෙන් අඩක් ආයෝජනය කිරීමටයි.

මගේ ද්විත්ව පුරවැසිකම ඇති ලංකාව ද, ඕස්ට්‍රේලියාව ද, මේ පිං අතේ වැඩවලින් ඉහළින් ම සිටින රටවල් වීම ආඩම්බරයට කරුණකි. එසේම අපේ සිංහල සයිබර් අවකාශයේ සැරිසරන යාත්‍රිකයින් ද පින් අතේ වැඩවලට කැමති බව නොරහසකි. එයට හොඳම උදාහරණය නම් පසුගිය දිනවල අවසන් වුණු අමුමිරිස් චැලේන්ජ් ව්‍යාපෘතියයි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින් අතේ වැඩවලට කැමති අයට ඒ සඳහා උපයෝගී කර ගැනීමට ඇති මාර්ග රාශියකි. ජාත්‍යන්තරව කටයුතු කරන සේව් ද චිල්ඩ්රන්, ෆ්‍රෙඩ් හොලෝස් ෆවුන්ඩේෂන්, ඔක්ස්ෆෑම්, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි පුණ්‍යායතනවලට මුදල් පරිත්‍යාග කළ හැක. දේශියව ක්‍රියාත්මක වෙන, සැල්වේෂන් ආමි, සෙන්ට් වින්සන්ට් ද පෝල්, ඔපොචුනිටි ඕස්ට්‍රේලියා වැනි ආයතන රාශියක් ද ඇත. මීට අමතරව, අපේ පුණ්‍ය කටයුතු සඳහා මිනිසාට වැළදෙන හැම රෝගාබාධයක් සඳහාම වාගේ හාට්, බ්‍රෙස්ට් කැන්සර්, මල්ටිපල් ස්ක්ලෙරොසිස්, ලියුකේමියා, චිල්ඩ්රන්ස් කැන්සර් වැනි පුණ්‍යායතන ද, සත්ව හිංසනයට එරෙහිව කටයුතු කරන ආයතන ද පිහිටුවා තිබේ.

ලංකාවේ විවිධ පුණ්‍ය කටයුතු කරන ආයතනද සංක්‍රමණිකයින් විසින් පිහිටුවා ගෙන ඇත. මා වාර්ෂිකව සම්මාදම් වෙන එවැනි එක් ආයතනයක් නම් "ලක් සවිය පදනම"යි.

මේ බොහෝ අයතනවලින් වසරේ තෝරාගත් කාලවල මුදල් එකතු කිරීමේ විවිධ වැඩසටහන් පවත්වති.

මා මුලින්ම කොණ්ඩය බූ ගෑවේ "ලියුකේමියා පදනම" සඳහා ආධාර මුදල් එකතු කිරීමට පැවැත්වෙන වැඩ සටහන සඳහා ය. අපේ දියණිය මේ සඳහා සිය කොණ්ඩය රතු පැහැ ගැන්වූවාය. ඇය ඊට කලින් සහභාගී වී ඇති එක් වැඩසටහනක් නම් ෆෝටි අවර් ෆෙමීන් නමැති පැය හතළිහක් එක දිගට නිරාහාරව සිටීමයි.

නොවැම්බර් මාසය පුරා පැවැත්වෙන තම උඩුරැවුල වැවීමේ මොවැම්බර් වැඩසටහනට ද මම වරක් දෙවරක් සහභාගී වුණෙමි. මොවැම්බර් අරමුදලට ලැබෙන ආධාර යොමු කෙරෙන්නේ ප්‍රොස්ටේට් පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, මානසික රෝග යනාදී පිරිමින් ගේ සෞඛ්‍ය සේවා වෙනුවෙනි.



මෙවැනි පුණ්‍යාධාර වැඩසටහන්වලට ඔබ සහභාගීවන විට කළ යුත්තේ, ඔබේ සම්මාදම සහ ඔබට සහය දක්වන මිතුරන්ගෙන් එකතුවෙන මුදල් අදාළ පුණ්‍යායතනයට යොමු කිරීමයි.

වසරකට වරක් තෝරාගත් සිකුරාදා දිනවලට මුදල් එකතු කෙරෙන රෙඩ් නෝස් ඩේ, ජීන්ස් ෆෝ ජීන්ස් ඩේ, ඩ්‍රැෆඩිල් ඩේ, පින්ක් රිබන් ඩේ, ඕස්ට්‍රේලියාස් බිගස්ට් මෝනින් ටී යනාදී අනේකවිධ පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමට ද අපට අවස්ථාව ලැබේ.

දිනපතා අඳින පාසල් යුනිෆෝමය වෙනුවට එක් දිනක් ඕනෑම ඇඳුමක් ඇඳ ඒ වෙනුවෙන් අඩු වශයෙන් ඩොලරයක් දන් දීමට හැකිවෙන "මෆ්ටි ඩේ" ව්‍යාපෘති මෙරට පාසල්වල වසරකට දෙතුන් වරක් ක්‍රියාත්මක වේ.

කාර්යාල සේවකයින් සාමාන්‍යයෙන් තද පැහැති කලිසම් සහ ලා පැහැති කමිස හැඳ ටයි කෝට් දමා සේවයට ගිය ද, සතියේ සිකුරාදා දිනට ඩෙනිම් සහ පාට කමිස ඇඳීමේ සිරිතක් සමහර කාර්යාලවල පවතී. මේ කැෂුවල් ෆ්‍රයිඩේ සිරිත ඉදිරියට ගෙන යමින් එලෙස සැරසී එන අයට ඩොලරයක් පරිත්‍යාග කළ හැකි පුණ්‍ය අරමුදලක් මම අපේ කාර්යාලයේ 2013 වසරේ ඇරඹූවෙමි.



වසර අවසානයේ එකතු වූ මුදල කැටරැක්ට් හෙවත් ඇසේ සුද මතුවීමේ රෝගයෙන් පෙළෙන අයට පෙනීම ලබා දීම අරමුණු කරගත් ෆ්‍රෙඩ් හොලෝව්ස් අරමුදලට බැර කළෙමු.

මේ කැෂුවල් ෆ්‍රයිඩේ පුණ්‍ය අරමුදලේ දෙවෙනි අදියර අපේ කාර්යාලයේ මේ දිනවල සිදුවේ. වසර අවසානයේ එයින් ලැබෙන මුදල් පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට සහන සැලසීම සඳහා අරඹා ඇති අරමුදලට බැර කිරීමට නියමිතය.

මා මේ දක්වා සහභාගී වී නොමැති එක් පුණ්‍ය අරමුදලක් නම් "ඩ්‍රයි ජුලයි" ව්‍යාපාරයයි. ජූලි මාසය පුරා පැවැත්වෙන මෙහි අරමුණ වෙන්නේ, ඒ සඳහා එකතු වෙන අය මාසය තුළ මත්පැන් පානය නොකර සිට එමගින් ඉතුරු වෙන මුදල් පරිත්‍යාග කිරීමයි. ඒ සමගම තමන් ගේ මේ ව්‍යායාමය මිතුරන් අතරේ ප්‍රචලිත කර ඔවුන් ගේ ආධාර ලබා ගැනීම ද අපේක්‍ෂා කෙරේ. මේ පුණ්‍ය අරමුදලේ එකතුව පුණ්‍ය කටයුතු රාශියකට යොමු කෙරේ.

මේ ලිපිය ලියන්නට සිතුවේ අදින් ඇරඹෙන ජූලි මාසය තුළ මා සහභාගී වෙන්නට අදහස් කරන වෙනත් "ඩ්‍රයි ජුලයි" ආකාරයේ පින් අතේ වැඩක් ගැන ඔබට කියන්නයි.

අදින් ඇරඹෙන ජූලි මාසය තුළ රසිකොලොජියට අලුතෙන් ලිපි නොලියමි. ඉන් ඉතුරු වෙන කාලය වෙනත් පොදු වැඩකට යොමු කිරීමට අදහස් කරමි.

අගෝස්තු පළමුවෙනි දා නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මේ ලිපියේ නමින් සඳහන් කර ඇති පුණ්‍යායතන, පුණ්‍ය අරමුදල්, පුණ්‍ය කටයුතුවලට අමතරව තවත් අටෝරාශියක් එවැනි දේ ඕස්ට්‍රේලියාවේ පිහිටුවා තිබේ. බොහෝ දෙනෙකු තම තම හැකි පමණින් ඒවාට උදව් උපකාර කරති.

එසේ වෙතත්, අප මෙහි ලබන ආදායමෙන් කරන ලොකුම පින්කම නම් දෙසතියකට වරක් ලැබෙන පඩි පතෙන් සැලකිය යුතු කොටසක් ආදායම් බදු ලෙස ෆෙඩරල් රජයට ගෙවමින් ඔවුන් කරන එක් වැදගත් පුණ්‍ය කටයුත්තක් වන "රයිගම් හන්දිය" බ්ලොග්කරුවා වැනි කැන්බරා අගනුවර වෙසෙන රජයේ සේවකයින් රැකබලා ගැනීමට සහය වීමයි!