Sunday 30 August 2015

ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! : What a joke!


දැන් දින කිහිපයකට පෙර මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහා භයානක ප්‍රශ්නයක් උද්ගත විය.

මෙය මෙරට පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවලට අනුව අති බරපතල එකකි. ඔවුන්ට එය ප්‍රජාතන්ත්‍රවාදය නම් පර්වතය කඩා බිඳ දමන්නට හෙළන ලද කුළුගෙඩි පහරක් සේ පෙනෙනවා විය යුතුය.

නමුත් අපට නම් මෙය පළමුවෙනි ලෝකයේ ප්‍රශ්න කැටගරියේ එකකි. එනම්, හිනා ගොස් පණ යන වර්ගයේ තවත් එක් කේස් එකක් පමණකි.

මෙන්න අහගන්න.

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ ගැන මම මීට පෙර ලිපියක සඳහන් කළෙමි. අද මධ්‍යම රජයේ බලයේ සිටින්නේ ලිබරල්-නැෂනල් සන්ධානයයි.

විපක්‍ෂයේ සිටින ලේබර් පක්‍ෂයේ මූලික පදනම මෙරට කම්කරු සංගම් ය. පක්‍ෂයේ ඡන්ද වැඩ කටයුතු යනාදිය සඳහා වියදම් විශාල වශයෙන් සැපයෙන්නේ ඒ සංගම්වල අරමුදල් (මුට්ටි කාසි) හරහා ය. පක්‍ෂ නායකත්වයේ සිටි බොහෝ දෙනෙකු ද ඊට කලින් කම්කරු සංගම්වලට සම්බන්ධව සිටි අයයි.

මේ කම්කරු සංගම්වල විවිධ දුෂණ ඇති බව කියවේ. මුදල් අයථා ලෙස පරිහරණය කළ හිටපු සංගම් නිලධාරීන් කිහිප දෙනෙකු ම පසුගිය දිනවල දඬුවම් ලැබූහ.

එක් ප්‍රධාන කම්කරු සංගමයක් වන ඉදිකිරීම් සේවා සංගමයේ ද විවිධ දුෂණ සහ විෂමතා ඇතියි කියවේ. ඔවුන් ගේ වැඩකටයුතු නිසා ඕස්ට්‍රේලියාවේ සංවර්ධනයට අවැඩක් සිදුවේ යැයි යන පදනම මත ඒ දූෂණ යනාදිය ගැන සොයා බැලීමට රාජකීය කොමිසමක් ටික කලකට පෙර වත්මන් ලිබරල්-නැෂනල් රජය මගින් පත් කරන ලදී. (ඕස්ට්‍රේලියාව තවමත් 1972 ට පෙර ලංකාව මෙන් ජනරජයක් නොවන රටක් නිසා මෙහි ජනාධිපති කොමිසම් වෙනුවට පත් කෙරෙන්නේ රාජකීය කොමිසම් ය. ජනාධිපති නීතිඥයින් වෙනුවට සිටින්නේ රාජනීතිඥයෝ ය.)

පසුගිය දා පුවත්පත් ඇතුළු ජනමාධ්‍යවල පොල් ගෙඩි අකුරින් ජනතාවට හෙළි කරන ලද්දේ, ඉදිකීරීම් සේවා සංගමයේ අකටයුතු සොයා බැලීමට වත්මන් ලිබරල්-නැෂනල් සන්ධාන රජය මගින් පත්කළ පෙර කී රාජකීය කොමිසමේ සභාපතිවරයා වන හිටපු මහාධිකරණ විනිසුරු ඩයිසන් හේඩන්ට ලිබරල් පක්‍ෂයේ සම්බන්ධතාවක් තිබෙන බවයි.

ලිබරල් පක්‍ෂයට අරමුදල් සොයා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබුණු නීතිඥයින් ගේ භෝජන සංග්‍රහයක ආරාධිත දේශනය කිරීමට නියමිතව සිටියේ කොමිසමේ සභාපතිවරයා බව කියවේ.

ස්වාධීන කොමිසමක සභාපතියෙකු දේශපාලන පක්‍ෂයක් හා සබඳකම් තියා ගැනීම වරදක් බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි සම්බන්ධකමක් තිබීම නිසා, මේ ස්වාධීන කොමිසම අදාළ දේශපාලන පක්‍ෂයේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරනවා යැයි කෙරෙන චෝදනාව වැළැක්විය නොහැක!

මේ කාරණය හෙළිවෙන්නට පෙර සතියේ කොමිසමෙන් කෙරෙන විමර්ශන කටයුතු සඳහා ප්‍රශ්න කෙරුණේ කම්කරු සමිතියක හිටපු නිලධාරියෙකු වන වත්මන් කම්කරු පක්‍ෂ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක බිල් ෂෝට්න්ගෙන් වීම විශේෂ කරුණකි.

දැන් තත්වය මෙයයි.

කොමිසම් සභාපති ගේ මේ විෂමාචාරය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. හාස්‍යජනක කරුණ නම්, ඒ පැමිණිල්ල කළ යුතු වූයේ ද රාජකීය කොමසමට ම වීමයි. දැන් එය විභාග කරන්නේ ද, රාජකීය කොමිසමේ සභාපති ඩයිසන් හේඩන් විසින් ම ය.

නමුත්, ඒ සමගම, සභාපතිට, ඔහු ගේ ස්වාධීනත්වය පිළිබඳවම තීරණයක් දීමට සිදුව වී ඇති නිසා, ඒ තීරණයේ බැරෑරුම්කම තවත් වැඩි වී ඇති බව පෙනේ.

ඩයිසන් හේඩන් මහාධිකරණයේ හිටපු විනිසුරෙකි. මහාධිකරණය යනු ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඊට අමතරව, ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කලක් පීඨාධිපතිවරයා ලෙස ද සේවය කර ඇති විද්වතෙකි. මෙය ඔහු ගේ කැරැක්ටුව පිළිබඳව වූ සරල ප්‍රශ්නයක් නොව, නීතියේ ස්වාධීනත්වය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයකි!

කොමිසම් සභාපති හේඩන් 2015 අගෝස්තු 31 සඳුදා තම විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ ගැන උනන්දුවක් ඇති ඈයෝ සිදුවන්නේ කුමක්දැයි එතෙක් බලා සිටිති.

අප නම් මේ පළමුවෙනි ලෝකයේ ප්‍රශ්නය ගැන සිනා යෑම වළක්වා ගත නොහැකිව සිටිමු!

අපේ විරුද්ධවාදීන් ගේ හොර මැරකම් සොයන්නට පත් කරන කොමිසම් සභාවලට පත් කළ යුත්තේ අපේ හිතවතුන් නොවේ නම් අපේ විරුද්ධවාදීන් ගේ හිතවතුන් ද?

-රසිකොලොජිස්ට්

(images: https://en.wikipedia.org/wiki/)

Friday 28 August 2015

වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia


මෙය ඉතා සරල කියවීමකි.

කොහොමටත් ඕස්ට්‍රේලියාවේ දේශපාලනය කෙරෙන ක්‍රමය සාමාන්‍ය පුරවැසියෙකු දකින ආකාරය එතරම් සංකීර්ණ නොවෙන බව කිව යුතුය.

ලංකාවේ සහ ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන් ඕස්ට්‍රේලියාවේ ඇත්තේ ද ප්‍රධාන පක්‍ෂ දෙකකි. එනම් ලේබර් (කම්කරු) පක්‍ෂය සහ ලිබරල් (නිදහස්) පක්‍ෂයයි.

ලේබර් කම්කරු පක්‍ෂය යනු වාමාංශික නැඹුරුවක් ඇති (centre-left) දේශපාලන පක්‍ෂයක් යැයි සැලකිය හැක. මූලිකව ම පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය මත විශ්වාසය තබන ආර්ථික ක්‍රමයක් අනුගමනය කළ ද ඔවුන් සමාජ සුභ සාධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පොදු පහසුකම් සැපයීම පිළිබඳව දැඩි කැපවීමක් ඇති පක්‍ෂයක් ලෙස සාමාන්‍යයෙන් සැලකේ.

ඕස්ට්‍රේලියානු ලේබර් පක්‍ෂයේ මූලික පදනම වෘත්තීය සමිති සහ ඒවායේ සාමාජික පිරිසයි. නමුත්, ඒ සාපේක්‍ෂව කුඩා පිරිසට අමතරව ඔවුන්ට හොඳ ජන පදනමක් ද තිබේ. ඒ බහුතරය නගරබද ජනතාවයි.

සාපේක්‍ෂව දුෂ්ට ප්‍රාන්ත පාලකයෙකු පැන්නීමට අවශ්‍ය වූ නිසා, මා ද, එක් වරක් ලේබර් පක්‍ෂයට ඡන්දය දී ඇත්තෙමි. ඒ 1999 දී ය. ඒ වසරේ දී ම මට ලංකාවේ දී ද ඒ ප්‍රතිපත්ති විරෝධී කාර්යය ම කිරීමට සිදුවූයේ දෛවෝපගත අයුරිනි.

ලිබරල් පක්‍ෂය සහමුලින් ම දක්‍ෂිණාංශික පක්‍ෂයකි. ඇත්තටම ඔවුන් ලිබරල් නොව කන්සර්වේටිව් (ගතානුගතික යන අරුතින්) පක්‍ෂයකි. රටේ ආර්ථිකය මුළුමනින්ම පුද්ගලික ව්‍යවසාය මගින් පවත්වා ගෙන යා යුතු යැයි යන්න ඔවුන් ගේ අදහසයි. සමාජ සුභසාධක වැඩ පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ද, රාජ්‍ය මැදිහත්වීම් අවමයකින් සිදු විය යුතුය යන්න ඔවුන් ගේ ප්‍රතිපත්තියයි. ලිබරල් පක්‍ෂයේ බලය එකතු වී ඇත්තේ පොදුවේ නගරබද, ධනවත් පුද්ගලයින් සහ වෘත්තිකයින් අතර ය.

මා කිසිදාක ලිබරල් පක්‍ෂයට ඡන්දය දී නැති අතර, ජීවිතයේ කිසි දිනක එසේ කරන්නට කිසිදු අපේක්‍ෂාවක් ද නැත.

නැෂනල් පාටිය නොහොත් ජාතික පක්‍ෂය යනු ප්‍රධාන නගරවලින් බැහැර පිටිසර පළාත්බදව, සාමාන්‍ය ගොවි ජනතාවක් වෙසෙන ප්‍රදේශවල වැඩි දේශපාලන බලයක් ඇති පක්‍ෂයකි. ඔව්හූ, එනිසා ම, දැඩි ජාතිකවාදී, දක්‍ෂිණාංශික ප්‍රතිපත්ති අනුගමනය කරති. එනිසා ම, නැෂනල් පක්‍ෂය දැන් සෑහෙන කාලයක සිට ලිබරල් පක්‍ෂය සමග සන්ධාන ගත වී ඇත.

ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ කේවල ඡන්ද කොට්ඨාස මැතිවරණ ක්‍රමයකින් නියෝජිතයින් පත්වෙන පාර්ලිමේන්තුවක් (සහ සමානුපාතික නියෝජනයක් ඇති සෙනේට් සභාවක්) නිසා මෙහිදී මේ පක්‍ෂ දෙක අනුගමනය කරන්නේ 1970 ඡන්දය සඳහා සිරිලංකා එක සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ අතර ඇති කරගත් නිතරඟ ගිවිසුම වැනි ක්‍රමවේදයකි.

මා මෙරටට පැමිණි 1995 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආණ්ඩුවේ බලය ලබා සිටියේ සිටියේ ලේබර් පක්‍ෂයයි. අගමැති පෝල් කීටින් විය. ඔවුන් ආණ්ඩු බලයේ සිට ඇත්තේ 1983 සිට ය. මුලින් සිටි අගමැති බොබ් හෝක් ගෙන් පසු පෝල් කීටින් අගමැති වී ඇත්තේ පක්‍ෂයේ නායකත්වයට පත් වීම නිසාය. බොබ් හෝක් යනු ඩඩ්ලි සේනානායක, රනිල් වික්‍රමසිංහ සේ සිව්වරක් අගමැති වූ අයෙකි.

ඒ කම්කරු පක්‍ෂ ආණ්ඩවෙන් පසු 1996 දී පිහිටවුණේ ලිබරල්-නැෂනල් සභාග රජයකි. ඒ සභාගය අගමැති ජෝන් හාවර්ඩ් ගේ නායකත්වයෙන් 1999, 2002 සහ 2004 දී් පැවැත්වුණු ඡන්ද ජයගෙන 2007 දක්වා ම බලයේ රැඳී සිටියේ ය. එනම් ජෝන් හාවර්ඩ් ද සිව්වරක් අගමැති වූ අයෙකි.

ඊළඟට 2007 දී නැවත බලයට ආවේ අගමැති කෙවින් රඩ් ගේ නායකත්වයෙන් යුතු ලේබර් පක්‍ෂ රජයකි. ඒ රජයේ තෙවසරක කාලය ගත වෙන්නට පෙර පක්‍ෂයේ ඇති වූ නායකත්ව වෙනසක් නිසා ජූලියා ගිලාඩ් ඕස්ට්‍රේලියාවේ මුල්ම කාන්තා අගමැති ලෙස පත්වූවා ය. ඒ වෙනස ආපසු හැරී 2013 දී යළි කෙවින් රඩ් අගමැති වූ අතර, ඒ වසරේ පැවති ඡන්දයේ දී නිදහස්-ජාතික සභාගය වත්මන් අගමැති ටෝනි ඇබට් ගේ නායකත්වයෙන් බලයට පත්විය.

ලේබර් පක්‍ෂයේ අද නායකයා වත්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක බිල් ෂෝට්න් ය.

ෆෙඩරල් රජයට අමතරව ඕස්ට්‍රේලියාවේ ඇති ප්‍රාන්ත රාජ්‍යයන් හයේ ද, ප්‍රාන්තයකට වඩා අඩු රාජ්‍ය බලයක් ඇති ප්‍රදේශ දෙකේ ද, සිව් වසරකට වරක් පැවැත්වෙන ඡන්දවලදී ආණ්ඩු බලය පෙර කී ආකාරයටම නොවුණත් ලේබර් පක්‍ෂය සහ ලිබරල්-නැෂනල් සභාගය අතර මාරු වෙමින් පැවතෙයි.

ලේබර් පක්‍ෂයේ ද, ලිබරල්-නැෂනල් සන්ධානයේ ද ප්‍රාන්ත මට්ටමේ පක්‍ෂ සංවිධාන කිසිසේත්ම ෆෙඩරල් මට්ටමේ පක්‍ෂ සංවිධානවල පාලනයට යටත් නොවෙන ස්වාධීන පක්‍ෂ සංවිධාන ලෙස සැලකිය හැකිය.

ඉහත සඳහන් දේශපාලන පක්‍ෂ තුනට අමතරව තවත් කුඩා පක්‍ෂ කිහිපයක් ම ඕස්ට්‍රේලියාවේ ඇත.

මා මෙරටට පැමිණි 1995 දී සැලකිය යුතු ජනප්‍රියත්වයක් ඉසුලූ ඩිමොක්‍රැටික් (ප්‍රජාතන්ත්‍රවාදී) පක්‍ෂය සහ දැන් තරමක් ජනප්‍රිය වෙමින් පවතින ග්‍රීන් (හරිත) පක්‍ෂය ඉන් ප්‍රධාන කොටම සඳහන් කළ යුතුය.

මේ කුඩා පක්‍ෂ සියල්ලේම පැවැත්ම රදා පැවතෙන්නේ මෙහි ඇති ආණ්ඩුක්‍රමය සහ ඡන්ද ක්‍රමයේ පිහිටෙනි.

කේවල ඡන්ද කොට්ඨාස සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දවලදී විවිධ පක්‍ෂවල සහ ස්වාධීන අපේක්‍ෂකයින්ට මනාප දෙන්නට හැකි වුවද, ඡන්ද කොට්ඨාසයක මන්ත්‍රීවරයෙකු වන්නට කුඩා පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට හැකිවන්නේ හාවා හඳ දකින්නා සේ ය. පසුගිය වසර විසි වසර තුළදී මා එවැනි අවස්ථාවක් දැක්කේ එක් වරක් පමණි. නමුත් ස්වාධීන අපේක්‍ෂකයින් නම්, විටින් විට තේරී පත්වෙති.

එනිසා, පෙර කී කුඩා පක්‍ෂ නියෝජිතයින් ප්‍රධානකොටම පත්වෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වෙන සෙනෙට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයටයි.

ඒකල ඡන්ද කොට්ඨාස දිනා බහුතරයෙන් ආණ්ඩුවක් පිහිටෙව්වද, උත්තර මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඒ ආණ්ඩු පක්‍ෂයට ලැබීම සාමාන්‍යයෙන් සිදු නොවේ. එසේම, පාර්ලිමේන්තු ඡන්ද වසර තුනකට වරක් පැවැත්වූයේ වුවද, සෙනෙට් සභිකයෙකු ගේ සේවා කාලය වසර හයක් වේ. සෑම ඡන්දයකදීම පත් කර ගන්නේ සෙනෙට් සභාවේ නියෝජිතයින්ගෙන් හරි අඩකි.

වසර විස්සකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සෙනෙට් සභාවේ ප්‍රමාණවත් රිමෝට් කොන්ට්‍රොල් බලයක් ඩිමොක්‍රැටික් පක්‍ෂයට තිබුණි. නමුත්, පසු කාලීනව, එහි නායකත්වයේ සිදුවුණු වෙනස්කම් ද, ආණ්ඩුව සමග නීති සම්මත කරන්නට කළ ඩීල් කිහිපයක තිබුණු ප්‍රශ්නද නිසා, ඒ පක්‍ෂය ක්‍රමයෙන් දිය වී, සහමුලින් ම නැති වී ගියේ ය.

ඒ අඩුව යම් තරමකට හෝ පිරවෙන්නේ ග්‍රීන් පක්‍ෂය නිසාය. මා දැන් කාලයක සිට ඡන්දය දෙන්නේ ඔවුන්ට ය.

-රසිකොලොජිස්ට්

(මා පදිංචි ප්‍රදේශය ඇතුලත් ලින්ඩ්සේ ආසනය සඳහා 2013 ෆෙඩරල් ඡන්දයේ දී ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් ගේ ප්‍රචාරක පත්‍රිකා කිහිපයකි.)

Wednesday 26 August 2015

රනිල් වික්‍රමසිංහ ගේ අගමැති ලෝක වාර්තාවේ ඇත්ත තත්වය - Ranil and the bottle journalists


දේශපාලු කතා හෝ දේශපාලුවන් ගැන කතා හෝ සෑහෙන කාලයකට නො ලියමියි සිතා සිටියේ එය සැබවින් ම කාලපාලු කර්තව්‍යයක් හෙයිනි.

නමුත් මේ කතාව නම් නොලියා ම බැරි ය.

පසුගිය දා පැවති මහමැතිවරණයෙන් ලද සුලු ජයග්‍රහණය සහ සභාග රජය ගැන තිබුණු පෙර සම්මුතියක් මත පදනම්ව රනිල් වික්‍රමසිංහ ලංකාවේ අගමැති ලෙස දිවුරුම් දීම ලංකාවේ පුවත්පත්වලින් සහ වෙනත් මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ ඔහු සිව්වෙනි වරට මෙලෙස අගමැති ලෙස පත්වීම, ලාංකීය වාර්තාවක් තැබීමක් ලෙසත්, ලෝක වාර්තාවක් සම කිරීමක් ලෙසත් ය.

ඒ සම කෙරුණු වාර්තාව ලෙස උපුටා දැක්වුණේ එක්සත් රාජධානියේ මීට ශත වර්ෂයකට පමණ පෙර අගමැති වී සිට ඇති ග්ලැඩ්ස්ටන් නමැත්තා ගේ සිව් වතාවක් ම අගමැති වීමේ වාර්තාව ය.

මේ ප්‍රලාපය ලියා තිබුණේ නිකං ලපයි-සිපයි බොටල් ජානලිස්ට්ලා පමණක් නොවේ. අපේ ජ්‍යෙෂ්ඨ පුවත් කතෘ, මා මිත්‍ර, නලීන් දිල්රුක්‍ෂ ද මේ වග ඔහු ගේ සමකය වටේ ලිපියක සඳහන් කර තිබුණු අතර, මගේ ප්‍රතිචාරයට පිළිතුරු ලෙස ඔහු සේවය කරන දිනමිණ පුවත් පතේ ලිපියක් ද උපුටා දක්වා තිබුණි.

ඒ කියන්නේ මෙය එසේ මෙසේ කේස් එකක් නොවේ!

අපේ බාප්පා ඇතුළු පිරිසක් විසින්, අපේ පරකන්දෙණිය නමැති ගමේ, 1970 දී සංවිධානය කළ යූඇම්පී ඡන්ද ප්‍රචාරක රැස්වීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ඩඩ්ලි සේනානායකව එදා ඡන්ද පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා යනාදියේ හඳුන්වා දුන්නේ, සිව් වරක් අගමැති වූ ඩඩ්ලි වශයෙනි. ඔහුව පස්වෙනි වතාවට අගමැති කරන්න යනුවෙන් ඒවායේ ඉල්ලා තිබුණි.

අපේ ආච්චී ද රැවටුණු, ජාතියේ අම්මා වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, ඒ 1970 ඡන්දෙන් දිනා අගමැති වීම නිසා ඩඩ්ලිට සේනානායකට පස්වෙනි වරට අගමැති වීමේ අවස්ථාව ගිලිහී ගියේ ය.

ඩඩ්ලි සේනානායක ඊට කලින් අගමැති වී තිබුණු අවස්ථා මා දැන සිටි පරිදි, සහ මේ වන විට සැක හැර ස්ථිර කරගෙන ඇති පරිදි, මෙලෙස වේ!

පළමු වාරය1952 මාර්තු සිය පියා ගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තියා ලෙස නම් කිරීම මගින්කාලය මාස හතරක් පමණ
දෙවන වාරය1952 ජූලි මාසයේ පැවැත්වුණු ඡන්දයෙන් දිනූ පසු සිට 1953 ඔක්තෝබරයේ දී ඉල්ලා අස්වීම දක්වාකාලය මාස පහළොවක් පමණ
තෙවන වාරය1960 මාර්තු සිට රාජාසන කථාවේ දී ආණ්ඩුව පැරදී 1960 ජූලි මාසයේ නැවත පැවැත්වුණු ඡන්දය දක්වාකාලය මාස තුනක් පමණ
සිව්වැනි වාරයතවත් පක්‍ෂ රාශියක සහය ඇතිව හත් හවුලේ ආණ්ඩුව පිහිටයූ 1965 සිට 1970 දක්වාඅවුරුදු පහක සම්පූර්ණ කාලය

මේ අනුව බලන කළ රනිල් මෙවර කර ඇත්තේ ඩඩ්ලි ගේ වාර්තාව සම කිරීමක් පමණි.

ඩඩ්ලි සේනානායක අගමැතිකම කළ මුල් තුන් වාරය මෙන්ම රනිල් වික්‍රමසිංහ ද මෙතෙක් අගමැතිකම කර ඇත්තේ සුලු කාල පරිච්ඡේද තුළ බව පෙනේ.

ඩඩ්ලි ගේ සිව්වන අගමැති වාරය අව්රුදු පහක සම්පුූර්ණ එකක් වූවා සේ රනිල් ගේ මේ සිව්වෙනි වාරය සම්පූර්ණ කාල සීමාව සඳහා වෙන්නට නම් ඉඩ ඇත.

කරුණු හරි හැටි නො සොයා නො බලා පුවත් වාර්තා ලියන මේ කාලයේ මාධ්‍යවේදීන්, ඩඩ්ලි සේනානායක ගේ පෙර කී වාර්තාව අමතක කරනවාට අමතරව කර ඇති අනෙක් වරද නම්, ඉහත පුවත් වාර්තාවල එක්සත් රාජධානියේ සිව් වරක් අගමැති වූ විලියම් ග්ලැස්ටන්ව සඳහන් කරද්දී ඊට වඩා නුදුරු රටවල, ඊට වඩා නුදුරු කාල වකවානුවල සිව් වරක් හෝ සමහර විට ඊට වඩා වැඩි වාරයක් අගමැතිකම් කළ අය සහමුලින් අමතක කර දැමීමයි!

මේ සඳහා මා දන්නා හොඳම උදාහරණය වන්නේ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හාවර්ඩ් ය.

ජෝන් හාවර්ඩ් අගමැති ලෙස පත්වූයේ මා ඕස්ට්‍රේලියාවට පැමිණි පසු 2006 මාර්තුවේ දී ය. ඉන්පසු ඔහු 1998, 2002 සහ 2004 දී පැවැත්වූ මැතිවරණවලින් ජයගෙන අගමැතිකමේ දිවුරුම් දුන්නේ ය. කෙවින් රඩ් නමැති කම්කරු පක්‍ෂයේ නායකයාට පැරදුණු ඡන්දයෙන් ජෝන් හාවර්ඩ් ජය ගත්තේ නම් ඔහු අගමැතිකම ගන්නට සූදානම්ව සිටියේ ජයග්‍රාහී පස්වෙනි වතාවටයි.

එසේම, 1901 දී ඕස්ට්‍රේලියාව නමැති ෆෙඩරල් රාජ්‍යය පිහිටවූ දින සිට මේ දක්වා ඉතිහාසය තුළ සිව් වරක් හෝ ඊට වඩා වතාවක් අගමැති වූ අය තවත් කිහිප දෙනෙකුම සිටිති.

ඕස්ට්‍රේලියාවේ දෙවන අගමැතිවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩීකින් සිව්වරක් අගමැති වී ඇත. දෙවරක් ඡන්දයෙන් දිනීමෙනි. දෙවරක් දේශපාලන පෙරළි මගිනි.

දොළොස්වෙනි අගමැතිවරයා වූ බිලී හියුස් ද පසුව ඒ වාර්තාව සම කර ඇත්තේ 1922 දී ඡන්දය දිනා සිව්වෙනි වරට අගමැති වීමෙනි.

ඕස්ට්‍රේලියාවේ අගමැති වාර්තා තැබූ අය අතුරින් ඉතා සුවිශේෂී පුද්ගලයා වන්නේ 1963 ඡන්දයෙන් දිනා දසවෙනි වරට අගමැති ලෙස දිවුරුම් දුන් රොබර්ට් මෙන්සීස් නම් ලිබරල් පක්‍ෂ නායකයාය. ඔහු මුල්වරට 1939 දී අගමැති ලෙස පත් වී ඇති අතර, නැවත ඡන්දයකින් දිනා 1941 දක්වා අගමැතිකම දරා ඇත. එතැන් සිට ඡන්ද පැරදෙමින් 1949 දී ලැබූ දිනුම දක්වා විපක්‍ෂයේ ගත කළ රොබර්ට් මෙන්සීස් 1966 දී සිය කැමැත්තෙන් විශ්‍රාම යන තුරුම ඡන්ද හතක් දිනමින් දීර්ඝතම කාලයක් අගමැතිකම දැරූ තැනැත්තා ලෙස ද වාර්තාවක් තබා ඇත.

මීට අමතරව, ජෝෂප් ලයන්ස්, මැල්කම් ෆ්‍රේසර් සහ බොබ් හෝක් යන තිදෙනාද ඕස්ට්‍රේලියාවේ සිව් වරක් අගමැතිකමට පත් වී ඇති අය අතර වෙති.

ඕස්ට්‍රේලියාවේ අගමැතිවරු අමතක කරමු.

නමුත් ලංකාවට නුදුරින් පිහිටා ඇති රටවල අගමැතිවරුන් වූ මැලේසියාවේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ නැතිනම් අල්ලපු වැටේ ඉන්දිරා ගාන්ධි වැනි සිව්වරක් හෝ ඊට වඩා වැඩි වාරයක් අගමැති වූ අය ගැන අමතක කරන්නේ කෙසේද?

මේ ගැන ජාලයේ සෙවීමක් කළ මට පෙනුණේ කැනඩාවේ ද, සිව්වරක් හෝ ඊට වඩා වැඩි වාරයක් අගමැති වූ අය කිහිප දෙනෙකුම සිටින බවයි.

සිව්වරක් අගමැති වීම යනු මහා දුර්ලභ කාරණයක් නොවන බව ඉහත කරුණු අනුව හොඳින් පෙනේ.

එසේ නම්, අපේ මාධ්‍යවේදීන් අදාළ කරුණු සහිතව ඉහත ලිපි නොලීවේ ඇයි? මෙයින් හැඟෙන්නේ ලොක්කෙකු ගැන ලියන විට සත්‍යය ඉබේම මෙන් යටපත් වෙන බවද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියේ අඩංගු තොරතුරු සනාථ කිරීමට සොයා බලද්දී මට වැදගත් කාරණා දෙයක්ම හෙළිදරව් කර ගැනීමට හැකි විය.

1. රනිල් වික්‍රමසිංහ යනු ලංකාවේ ප්‍රථම ජන මූල අගමැතිවරයා ය. එය වාර්තාවකි!

2. රනිල් වික්‍රමසිංහට අමිතෝදනලා ගේ පැත්තෙන් ශාක්‍ය වංශයට ද, කාළුදායීලා ගේ පැත්තෙන් කෝලිය වංශයට ද, ලඟ නෑකම් ද ඇත.

මේ ප/ලි කතාව නිසා මට ලඟදීම මාධ්‍ය උපදේශක තනතුරක් ලැබීමට ද ඉඩ තිබේ!

Tuesday 25 August 2015

මොරටුව කැම්පස් එකේ කොල්ලෙකු ගේ කතාවක් - Can I borrow $990 please?


රසිකොලොජිය සඳහා ලියා පළ කළ අපේ කාලේ කැම්පස් කොල්ලෙකු ගේ කතාව නිසා තවත් එවැනි ම කතාවක් සිහියට නැගුණි.

නමුත් මෙය ලූ කතාවකි. එනම්, මෙය වෙනකෙකු රස කරමින් කියනු මා විසින් අසනු ලැබූ කතාවක් මිස, කෙළින් ම මට සනාථ කළ හැකි කතාවක් නොවේ.

එනිසා තාර බර හැර කියවන්න!

මේ කතාවේ ප්‍රොටගැනිස්ට් තරුණයා ඉගෙනුම ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ යි. අප කවුරුත් දන්නා පරිදි එය කටුබැද්ද කැම්පස් එක කියා ද හැඳින්වේ.

මෙහි දී ඉගෙනුම ලැබුවේ යැයි කීවේ, මේ සිදුවීම පරණ එකක් නිසා, අතීත කාලයෙන් ලිවීමට අවශ්‍ය නිසාම නොවේ. ඇත්තටම, මේ සිදුවීමට අදාළ කාලයේ අපේ කතානායකයා තම ඉගෙනුම අවසාන කර සිටියේ ය.

නමුත් මේ කතාවේ පැවසෙන ආකාරයට එය සියලු දෙනාම දැන සිට නැත. සියලු දෙනාම කෙසේ වෙතත් ඔහු ගේ දෙමව්පියන් නම් දැන සිට නැත.

ඔවුන් ගේ සිව් වසරක උපාධි පාඨමාලාව අවසානය ළඟා වී, අවසන් විභාගයේ අවසන් පරීක්‍ෂණයටද පෙනී සිට, අවසන් පැවරුමද නිමවෙන සමයේ අලුත් අධ්‍යාන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලය ඇරඹෙන්ට තිබී ඇත්තේ සතියක පමණ කාලයක් වන අතර අපේ කතා නායකයාට, ඒ වසරේ තාවකාලික අධ්‍යයන කාර්ය මණ්ඩලයේ උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) තනතුරක් ලැබී ඇත.

නිවසට ගිය ඔහු දින දෙක තුනකින් ම ආපසු පැමිණ, කාලයක් තිස්සේ නතර වී සිටි බෝඩිමේ ම නවාතැන් ගෙන තවත් ඔහු වැනි පිරිසක් සමග අලුත් රැකියාව ඇරඹුවේ ය.

මාසය අවසන් වී පඩි ලැබෙන දිනය ළඟාවෙත් ම සුපුරුදු පරිදි, දෙමව්පියන් ගෙන් ද, ඔහු ගේ වියදම් සඳහා මුදල් ඇණවුමක් හෙවත් මනි ඕඩරයක් ලැබී තිබේ.

අපේ මිතුරා කර ඇත්තේ තමන් ලද විශ්ව විිද්‍යාලයේ පඩියට, දෙමව්පියන් එවූ මුදලින් ද කොටසක් එකතු කර, රවුම් ගාණක් සාදා, බැංකුවේ තැන්පත් කිරීමයි.

මාස කිහිපයකට පසු විභාග ප්‍රතිඵල නිකුත් වී, ඉන් පසු වෙනත් ස්ථානයක රැකියාවට යනතුරුම ඔහු පරණ බෝඩිමේම නතර වී සිට ඇති අතර, ඒ කාලය පුරාම ඔහුට දෙමව්පියන්ගෙන් මුදල් ලැබුණු බවත්, ඒ හැම විටම, එයින් කොටසක් ද මාසික වේතනයට එකතු කොට බැංකුවේ තැන්පත් කළ බවත් අපේ කතා නායකයා ගේ හොඳම මිතුරෝ සනාථ කරති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා ළඟත් ඩොලර් දහයේ නෝට්ටුවක් ඇත. එය ඩොලර් දාහක් බවට පත්කර බැංකුවේ තැන්පත් කිරීමට ඩොලර් නමසිය අනූවක් සොයමින් සිටිමි. එය කාර් ටයරයක් ඇති අයෙකු, ඉතුරු කොටස් ද සොයා ගෙන කාරයක් සාදා ගන්නට සිතීමට වඩා ප්‍රායෝගික වැඩකි!

(image: This is a newspaper cartoon I found reproduced in Facebook, Cannot locate original source now)

Monday 24 August 2015

කැම්පස් කොල්ලෙකු ගේ කතාවක් - I dont know what to say!


මේ දිනවල කැම්පස් කොල්ලන් ගේ (සහ කෙල්ලන් ගේ) කතා යනුවෙන් අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන්නේ ඔවුන් "නිරුවතින් නෑවා!" ය වැනි දේ ය.

අපේ කැම්පස් කාලයේ ද අපි නිරුවතින් නෑවෙමු. විශ්ව විද්‍යාලයේ සිටි කෙල්ලෝ ද නිරුවතින් නෑවෝ ය.

ඒත් ඒ කතා කිසිවෙකුට දැන ගන්නට නොලැබුණේ ඒ දිනවල අන්තර්ජාලය නො තිබුණු නිසා ම නොවේ. අප ඒ නෑවේ නාන කාමර ඇතුළේ නිසා ය.

නෑ, නො නෑ කතා නොවන මුත් අපේ කාලයේ කැම්පස් කොල්ලන් ගැන කතා රාශියක් කිව හැක. මේ එයින් එකකි.

මේ කතාවේ කතානායකයා සිටියේ මා උගත් විශ්ව විද්‍යාලයේ මා උගත් ඉංජිනේරු පීඨයේ ම ය. නම සුරේන්ද්‍ර යැයි සිතමු.

සුරේන්ද්‍ර ගේ වැඩිමහල් සොහොයුරා අපට වඩා වසර දෙකකට පමණ ඉහළ කණ්ඩායමක වෛද්‍ය පීඨයේ උගත්තේ ය.

එකල වෛද්‍ය සිසුන් සහ ඉංජිනේරු සිසුන් අතර විශාල වෙනස්කම් කිහිපයක් විය.

ඉන් එකක් නම් අප සෙරෙප්පු පැළඳගෙන ගමන් බිමන් ගියත් මෙඩ්ඩන්ට පොලිෂ් කළ සපත්තු නො දමා ඉන්නට බැරි වීමයි. මා දැනුදු කමිස, කලිසම් ඉස්තිරික්කයෙන් මදින්නේ නැති වුවද, මෙඩ්ඩන් ට කමිස මැදීම, දත් මැදිමටත් වඩා වැදගත් කාර්යයක් විය.

ඉංජන් සහ මෙඩ්ඩන් අතර මේ කතන්දරයට අදාළ අනෙක් වෙනස්කම නම්, මෙඩ්ඩන්ට තමන් ගේ පරිහරණයට පොත් රාශියක් මිල දී ගන්නට සිදු වීමයි. මේ පොත්, මිලෙන් ද ඉතා අධික ඒවා විය. නමුත් ඉංජිනේරු පීඨයේ සිටි අපට, එකදු පොතක්වත් මිලට ගැනීම අවශ්‍ය නොවීය.

අපේ අවසන් වසර ඇරඹුණු සමයේ එක් දිනක අපේ කතානායක සුරේන්ද්‍ර, අළු පැහැති කපු මිශ්‍ර ටෙට්‍රන් අගනා කමිසයකින් ද, ඒ වර්ණයටම ගැලපෙන චීනෝ වැනි රෙදි වර්ගයකින් මැසු කලිසමකින් ද, ඒ දිනවල මා සිහිනෙන් පමණක් පළඳින බාටා මොකැසීනෝ වර්ගයේ සපත්තු කුට්ටමකින් ද සැරසී සිටිනු අපට දක්නට ලැබුණි.

මේ සියල්ල සඳහා වූ සුරේන්ද්‍ර ගේ වියදම මට මාස දෙකක පමණ කාලයක් පේරාදෙණියේ ගත කරන්නට යන වියදමට වඩා වැඩි බව මට බැලු බැල්මට පෙනී ගියේ ය.

සුරේන්ද්‍ර මේ ජේත්තුවට සැරසෙන්නේ කුමකටදැයි අපි හොඳින් දැන සිටියෙමු.

"අඩෝ කොහෙන්ද උඹට මේ සේරම ගන්න සල්ලි?" අප කීප දෙනෙකු ගේ ම ඒකස්වර ප්‍රශ්නය වූයේ එයයි.

"ගෙදරින් ඉල්ලා ගත්තා?" සුරේන්ද්‍ර කීවේ ය.

"මොනවා, උඹ මොනවා කියලා ද මෙච්චර සල්ලි ගොඩක් ඉල්ලා ගත්තේ?"

"මං කිව්වා ෆයිනල් ඉයර් එකට ටෙක්ස්ට් බුක්ස් ගොඩක් ගන්න තියෙනවා කියලා. ගෙදරින් කෙළින් ම සල්ලි දුන්නා වැඩි අවුලක් නැතුව. ඇයි බං අපේ අයියා කොච්චර නම් පොත් ගත්තා ද හැම අවුරුද්දේ ම, නිකං නොවෙයි රුපියක් දාස් ගනංවලට? මං ෆයිනල් ඉයර් එකේවත් පොතක් පතක් ගන්නේ නැද්ද?"

ලොකු පුතා ගේ වෛද්‍ය පීඨයේ සහ පොඩි පුතා ගේ ඉංජිනේරු පීඨයේ වෙනස නොදත් අසරණ දෙමව්පියන් ගැන මට නම් ඇති වුණේ විශාල දුකකි!

-රසිකොලොජිස්ට්

(image: http://www.quora.com/What-color-shirt-and-tie-should-I-wear-with-a-gray-suit-to-a-wedding)

Saturday 22 August 2015

රුසියානු කතන්දර කිහිපයක් - From Russia with love


ඊයේ සවස සිංහල බ්ලොගයක පළවී තිබුණු ලිපියක් කියවීමෙන් පසු එහි අන්තර්ගතය හා සම්බන්ධ කතා රාශියක් මගේ සිතට එක පිට එක නොනැවතී ගලා එන්නට පටන් ගත්තේ ය. අද පළ කිරීමට සිතා සිටි ලිපිය මදකට අමතක කර ඒ කතාවලින් කිහිපයක් හෝ සටහන් කරන්නට මා සිතා ගත්තේ ඒ නිසා ය.

මා ඉහත සඳහන් කළ ලිපිය පළ වී තිබුණේ අජිත් ධර්මා ලියන කොළඹ ගමයා බ්ලොගයේ ය. එහි අන්තර්ගතය වූයේ ලේඛකයා රුසියාවේ දී ලද අත්දැකීම් කිහිපයකි.

රුසියාව ගැන මගේ මුල් මතකය "සෝවියට් දේශය" සඟරාවයි. එය මා දැක්කේ අපේ නිවසට අල්ලපු වත්තේ පිහිටා තිබූ රංජිත් තිලකසිරිලා ගේ නිවසෙනි. "කසකස්ථාන්", "උස්බෙකිස්ථාන්", "ටජිකිස්ථාන්" වැනි වචන මා මුලින්ම දුටුවේ ඒ සඟරාවලින් නමුත් ඒවායේ මට තිබුණේ ඉතා හුරු බවකි. ඒ අපේ මහගෙදරට බාප්පා විසින් දමා තිබුණු නම "නිවාසස්ථාන්: වූ නිසා ය.

රුසියාව ගැන මගේ ඊළඟ මතකය නම්, අප කුඩා කාලයේ සහභාගී වූ මළ ගෙදරකි. ඒ මිය ගොස් සිටියේ අපේ පාසලේ ඉගෙනුම ලබා පසුව රුසියාවේ උපාධියක් හැදෑරීමට ගිය ගරුසිංහ නම් සිසුවෙකි. ඔහු මුහුදේ පිහිනීමට ගොස් මිය ගිය බව කියවිණි. හරියට, ටීබී ඉලංරත්න ගේ "තිලක" නවකතාවේ මිය යන විදෙස් සිසුවා සේ ය.

රුසියාවේ නිවෙස්වල බිත්තිවලට කන් තිබෙන බවත්, රජයට විරුද්ධව කතා කළ නොහැකි බවත් ඒ දිනවල කවුදෝ පවසනු මා අසා ඇත.

රුසියාව යන නම සමගම ඒ දිනවල සිහිවුණු අනිත් නම නම් "ඔරුවල බන්දු" යන්නයි. ඔහු ලියූ පොත් කිහිපයක් ම මම කුඩා කල දී ම කියවා ඇත්තෙමි. "බීරීයෝසා" සහ "පස් අවුරුද්ද" ඒ පොත් යැයි සිතමි.

ඒ පොත් කියවීමෙන් ලැබූ වින්දනය පසුව, ඔහු ම ලියූ "සෝවියට් සිර මැදිරියේ සිට" පොත බැලීමෙන් පසු මැකී ගියේ ය.

ඒ දිනවල අප රුසියාව ගැන දැන ගත්තේ ලංකාවේ සිසුන්ට උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දෙන රටක් ලෙසිනි. මා සමග උසස් පෙළ හැදෑරූ සගයින් අඩු වශයෙන් දෙදෙනෙකු උපාධිය හැදෑරීමට රුසියාවට ගියහ. කුමුදු ඉන් එක් අයෙකි, අනෙකා සෙල්වකුමාර් ය.

උසස් පෙළින් පසු මා විශ්ව විද්‍යාලයට යෑමට පෙර කාලයේ නිවාඩුවකට මා අම්මලාගේ ගමේ ගොස් සිටි දිනයක "දිනමිණ" පුවත් පතේ පළ වී තිබූ පුවතක් මට අද මෙන් මතකයේ ඇත. ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ඉගෙනුමට යයි වශයෙන් උදෘත පාඨයකින් සැරසී, ඡායාරූපයක් ද සමගින් එහි පළ වී තිබුණේ මගේ සීයා ගේ හොඳම හිතවතෙකු ගේ මිනිපිරියක් ගැන පුවතකි.

තම මිතුරා ගේ මිනිපිරිය ගේ ඒ පත්තරේ පවා පළ වූ දස්කම දැක, සීයාට තම මුණුපුරා ගැන තරමක හෝ දුකක් හිතුණා යැයි මට එදා සිතුණි. නමුත්, මා සීයාට ඒ පිළිබඳව පැහැදිලි කිරීමට ගියේ නැත.

කොහොමටත් ඒ දිනවල නිවසේ පැවති දානමය පින්කමක දී මා පන්සිල් නොගෙන සිටීම ගැන සීයා සිටියේ මා සමග අමනාපයෙනි!

උසස් පෙළ හමාර කර නිවසේ ගත කළ ඒ කාලයේ "චෙකොෆ්" ගේ කෙටි කතා කියවා ඒ ගැන මගේ සෑහෙන්න ප්‍රසාදයක් ඇති වී තිබුණ ද, නවකතා ගැන නම් මගේ තරමක අකමැත්තක් ද තිබුණි. එයට හේතුව නම් ඒවායේ දීර්ඝකමයි. ඒ මදිවාට චරිතවල නම් මතක තියා ගැනීම ද අසීරු කාරණයක් විය. එක පුද්ගලයෙකුට නම් තුනක් ඇත් අතර, ඉන් එකක් හෝ දෙකක් හෝ නැතිනම් කලින් නොදන්නා සිව්වෙනි නමක් හෝ විටින් විට භාවිතා වීම මට හිසරදයක් ම විය.

උදාහරණයක් ලෙස, "ව්ලැඩිමියර් ඉල්යිච් උලිනොව්" නමැති පුද්ගලයෙකු නවකතාවක චරිතයක් ලෙස සිටියේ නම්, ඔහුව ඉහත නම් තුනේ විවිධ සංයෝජනවලින් ඕනෑම එකකින් නවකතාව පුරා අහඹු ලෙස හැඳින්වෙන අතර හිටිහැටියේ "ලෙනින්" හෝ "වාල්යා" හෝ "මීෂා" හෝ එවැනි නමකින් ද හැඳින්වීමට ඉඩ ඇත!

කුමුදු සහ සෙල්වකුමාර් කෙසේ වෙතත්, පසු කලෙක මට රුසියාවේ උපාධිය හැදෑරූ දෙදෙනකු සමග එක ආයතනයේ සේවය කරන්නට ලැබුණි.

රුසියාවේ කෑම කල් තබා ගන්නට ශීතකරණ අනවශ්‍ය බවත්, කළ යුත්තේ ජනේලය ඇර එළියේ තැබීම පමණක් බවත් ඔවුන් අපට කියා දුන්හ!

මේ දෙදෙනා එකිනෙකා හා කරන කතාබහවලින් මගේ හිත ගත් එක දෙබසක් වූයේ පරිසරයේ උෂ්ණත්වය ගැන ඔවුන් කතා කරන විදියයි.

උදේටත්, දවල්ටත්, රාත්‍රියටත් තුන්වේලට ම උෂ්ණත්වය එක හා සමානව තිබෙන ලංකාවේ අප ඒ දිනවල එහි අගය ගැන තැකීමක් කළේ නැත. නමුත් අපේ මිතුරන් දෙදෙනා බොහෝ විට "අද නම් ටෙම්පරෙචර් එක ප්ලස් තර්ටි විතර ඇති නේද?", "නෑ, මං හිතන්නේ ප්ලස් තර්ටි ෆයිව් විතර ඇති!" යනාදී දෙබස් හුවමාරු කර ගත්තේ හරියට උෂ්ණත්වය "මයිනස්" පැත්තට යනවා යැයි සිතමින් ද නොදනිමි.

මේ දෙදෙනාගේ තවත් මෙහි වැඩිදුර විස්තර කීමට අනවශ්‍ය වැඩ නිසා, අප පසුව ඔවුන් ගෙන් විමසූවේ, "මචං, උඹලාට ස්කොලර්ෂිප් දුන්නේ රුසියාවෙන් ද නැතිනම් සීඅයිඒ එකෙන් ද?" කියායි.

එයට හේතුව නම්, මුං දෙදෙනා ගේ (දෙදෙනා කෙසේ වෙතත් එකෙකු ගේ) වැඩ නිසා අපට බොහෝ විට සමස්ත රුසියාවම එපා වී යාමයි!

-රසිකොලොජිස්ට්

(image: https://commons.wikimedia.org/wiki/File:FlagMap_of_USSR.png)

Thursday 20 August 2015

පළමුවෙනි ලෝකයේ පිස්සු ප්‍රශ්න - Have you got a first world problem?


අපේ සාදුලා විසින් ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට ද අභිධර්මය කියා උගන්වන කතන්දරවල කියවෙන පරිදි ලෝක හැටහුටහමාරක් ඇත. "සිත මිස කය නැති බඹ ලොව සතරෙකි, කය මිස සිත නැති බඹ ලොව සතරෙකි" යනා දී වශයෙන් කියවෙන ලෝවැඩ සඟරාවේ කවි තුළින් අපි ද කුඩා කාලයේ සිටම මේ ලෝක ගැන අසා ඇත්තෙමු.

නමුත් ඇත්තටම මා නම් අත් විඳ ඇත්තේ නම් මේ පෙරේත ලෝකය පමණක් බව කිව යුතුය!

ඒ කෙසේ වෙතත්, පසු කලෙක, මට මතක හැටියට සමාජ අධ්‍යයනය වැනි විෂයයන් සඳහා හෝ නැති නම් එදිනෙදා පුවත්පත් සඟරා තුළින් හෝ "පළමු ලෝකය", "දෙවන ලෝකය" සහ "තුන්වෙනි ලෝකය" කියා ලෝක තුනක් තිබේය කියා අපි දැන ගත්තෙමු.

මින් අපේ ශ්‍රී ලංකාව අයත් වුණේ "තුන්වෙනි ලෝකය"ටයි. එනම්, ලංකාව යනු තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හැඳින්විණි. පසුව පොලිටිකලි කරෙක්ට් නැති තුන්වෙනි ලෝකයේ රටවල් ඒ යෙදුම දියුණුවෙමින් පවතින රටවල් ලෙස වෙනස් විය.

මට මතක හැටියට, රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ රටවල් අයත් වූ "දෙවන ලෝකය" ගැන ඒ ආකාරයට හැඳින්වෙනු අප ඇසුවේ නැති තරම්ය. ඒ සඳහා යකඩ තිරයෙන් පිටුපස රටවල්, නැගෙනහිර කල්ලිය, සමාජවාදී රටවල් වැනි වෙනත් යෙදුම් රාශියක් තිබුණි.

ඉහත වර්ගීකරණය අද සමාජ-ආර්ථික-දේශපාලන කතිකාවන් හි දී එලෙසින් ම භාවිතා වෙනු අසන්නට නොලැබුණ ද, අද ද පළමු ලෝකය ගැන යම් සඳහනක් කෙරෙනු විටින් විට අසන්නට ලැබේ. ඒ "පළමු ලෝකයේ ප්‍රශ්න" යන නූතන යෙදුමත් සමගය.

පළමු ලෝකය නමින් එදා අර්ථ දැක්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය ඇතුළු ධනවාදී රටවල් ය. ඒ මුලික පදනම සහිතව ඇරඹී ඇතැයි සිතිය හැකි වුවද, අද මේ "පළමු ලෝකයේ ප්‍රශ්න" යන සරදම් යෙදුමෙන් හැඳින්වෙන්නේ කොයි රටක සිටියත් සමහර මිනිසුන්ට ඇතිවෙන, ලොවෙත් නැති, සුවිශේෂී ප්‍රශ්න විශේෂයකි. කෙටියෙන් කිවහොත්, ඒ සාමාන්‍යයෙන් මිනිසුන් පීඩාවට පත්වෙන දරුණු ප්‍රශ්න නොමැති පිරිස්, ඉතා සුළු කරුණු ගැන අනවශ්‍ය පරිදි නගන අඳෝනා හැඳින්වෙන යෙදුමකි.

මේ දෙයම පැහැදිලි කිරීම සඳහා හොඳ උදාහරණයක් නම්, ගිම්හාන කාලයේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රය දැඩි සීතලක් ඇති කරන නිසා තමන්ට කබා ඇඳගෙන සිටින්නට වෙනවා යැයි කෙරෙන මැසිවිල්ලකි.

ගිිනි ගහන අව්වේ පැය හත අටක් සේවය කරන්නන්ට මෙය කුණුහරුප කතාවකි!

තවත් එවැනි උදාහරණයක් නම්, පිඟන් සෝදන යන්ත්‍රය ක්‍ර්‍රියාත්මක කළ පසු කෑම කාමරයේ ඇති රූපවාහිනී යන්ත්‍රයේ හඬ වැඩි කිරීමට සිදුවෙන නිසා, තමන්ට මාධ්‍ය කාමරයේ හෝ නිදන කාමරයේ ඇති රූපවාහිනියෙන් වැඩ සටහන් නරඹන්නට සිදුවෙන බවට කෙරෙන කෙඳිරිලි ගෑමකි.

අද ප්‍රායෝගික තත්වය කෙසේ වෙතත්, කුඩා කළ බයිසිකලයෙන් ශාන්ත අතුකෝරල ගේ නිවසට ගොස් ටෙලිවිෂනය නැරඹූ මට එවැනි ප්‍රකාශ විසුළු සහගත වේ!

මේ ආකාරයේ ම නොවුණත්, දේශපාලනික වශයෙන් වැදගත් පළමු ලෝකයේ ප්‍රශ්නයක් මේ දිනවල මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ පැන නැගී තිබේ.

ඒ පිළිබඳව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
  • ඩොංගල් එකට සිග්නල් අඩුද?
  • ෆොන් එකේ 4G කවරේජ් ඩ්‍රොප් වෙනවාද?
  • උදේට වැඩට යන්න ඇඳ ගන්න ගියාම කොයි කමිසේ අඳින්නද කියලා තෝරා ගන්න බැරිද?
  • කාර් එකට පෙට්‍රොල් ගහන්න ගියාම ටැන්කිය තියෙන පැත්ත හැමදාම අමතක වෙනවාද?
  • එහෙමත් නැතිනම්,
  • අයි ෆොන් එකේ සිරිට ඔබේ නම හරියට කියන්නට බැරිද?

(image: http://www.diennodemarest.com/2013/08/04/vanity-of-vanities-first-world-problems/)

Tuesday 18 August 2015

සෑහෙන කාලෙකට ලියවෙන අන්තිම ලාස්ට් දේශපාලු හෙවත් කාලපාලු ලිපිය - Another episode ends


එක්දාස් නමසිය හැත්තෑ හතේ මැතිවරණයේ් ප්‍රතිඵල නිකුත් වී අප පාසල් ගිය මුල් දිනයේ අපේ සිංහල ගුරුවරයා (ඔහු ගේ නම මට අමතකය, නිතර සුදු අත්කොට කමිසයක් සහ නිල් පැහැති කලිසමක් ඇඳි, ඇසක අක්‍ෂයේ පොඩි අවුලක් තිබුණු, මැදි වියේ පසුවූ පොරකි!) මැතිවරණ ප්‍රතිඵල ගැන රචනාවක් හෙවත් ලිපියක් ලියන්නට අපට පැවරුවේ ය.

ඊළඟ සතියේ අපේ පන්තියේ ළමුන් ලියා ඉදිරිපත් කළ ලිපි කියවා බැලූ ගුරුවරයා, එයින් හොඳම රචනා දෙක තෝරා ගෙන ඒවා ලියූ සිසුන් දෙදෙනාට ඒ ලිපිවල මුල් පරිච්ඡේද පන්තියට ඇසෙන්නට කියවීමට අණ කළේ ය.

ඉන් එක් ලිපියක් මගේ ය.

අනෙක, මගේ උසස් පෙළ සමයේ හොඳම මිතුරෙකු වූ, පේරාදෙණිය විද්‍යාවේදී සහ ශ්‍රී ජයවර්දෙනපුර විද්‍යාපති උපාධිධාරී, දැනට රජයේ සේවයේ හොඳ යැයි සම්මත රැකියාවක නියුතු සරෝජ උදයංග චන්ද්‍රසේන ගේ ය.

අප දෙදෙනාගේ ම ලිපි හොඳයැයි තෝරා ගත්ත ද, අපේ සිංහල ගුරුවරයා එයින් වඩාත් හොඳයැයි කීවේ සරෝජ ගේ ලිපියට ය. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ, මා ලියූ ලිපිය කරුණු අතින් සම්පූර්ණ එකක් වුවද, කරුණු ඉදිරිපත් කිරීම අතින් සරෝජ ගේ ලිපිය ඉදිරියෙන් සිටීමයි.

උදාහරණයක් ලෙස, මා ලිපිය අරඹා තිබුණේ, "වසර හතකට පසු ශ්‍රී ලංකාවේ පැවත්වූ මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය දැන් අපි දනිමු!" වැනි සරල ආකාරයකින් වුවද, සරෝජ ලියා තිබුණේ, "වසර හතකට පසු ශ්‍රී ලංකාවේ පැවත්වූ මහ මැතිවරණයේ ප්‍රතිඵලය දැන් උණු උණුවේ ම අප හමුවේ ඇත!" වැනි ආකාරයකට සිත් ඇදගන්නා ආලවට්ටම් ද සමග ය.

එදා ඒ මැතිවරණයෙන් යූඇම්පීය අති විශිෂ්ට ජයක් ලැබුවේය. එතෙක් බලයේ සිටි සිරිලංකා එක කුජීත ලෙස පරාජය විය. සිරිලංකා එකේ පාලනයේ පවට වසර පහ, හයක් කර ගැසූ සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ දෙක නැවත තම ස්වශක්තියෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගන්නට නොහැකි වෙන ආකාරයට අතුගෑවී ගියේ ය.

අද වසර තිස් අටකට පසු තවත් මැතිවරණයක් අවසාන වී එහි ප්‍රතිඵල උණු උණුවේ ම අප හමුවේ ඇත!

අපේක්‍ෂිත සිහින ප්‍රතිඵල නොලැබී ඇති මුත් පොඩි ජොලියක් සිතට නැගේ.

එයට හේතු රාශියකි.

ඉන් පළමුවැන්න නම්, එදා සත්වසක ශාපය අවසාන වුණා සේ, අද රාජපක්‍ෂ ශාපය අවසාන වී ඇතැයි සිතීමයි.

දෙවැනි කාරණය නම්, නානසාර සහ ෆොන්සේකා වැනි කොටස් නැති නාස්ති වී යෑමයි.

තුන් වෙනි කාරණය නම් මගේ සිහින පැතුම් සඵල නොවූණමුත්, 1994 දී යළි ප්‍රජාතන්ද්‍රවාදී දේශපාලනයට පිවිසිය ද කාලයක් තිස්සේ නොමග යමින් සිට යළි හරි මග පැත්තට හැරුණා වූ, ජනතා විමුක්ති පෙරමුණ යම් ආකාරයක ජයක් ලැබීමයි.

එසේ වෙතත්, බහුතරයෙන් බලයේ දිගටම රැදෙන යූඇම්පියෙන් ද, බහුතරය නැතිවීම නිසා දිගටම විපක්‍ෂයේ රැදෙන සිරිලංකා එකෙන් ද, දෙපැත්තෙන් ම, විවිධාකාරයේ දුෂිතයින්, ජාතිවාදීන් සහ ජඩයින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නියමිත වීම නිසා පොඩි දුකක් ද දැනේ.

රනිල් කෙසේ වෙතත්, මෛත්‍රීපාල ලොක්කා නම්, සිරිලංකා එකට තරමක හෝ විරේකයක් කර බඩ ශුද්ධ කරන්නට යන බව පෙනේ.

යූඇම්පීයට අවශ්‍ය වෙන්නේ ඉඩකුඩිච්චියකි. ජනතා විමුක්ති පෙරමුණට ද, හදවත වෙනුවට මොළය පාදා දිය යුතුය!

මා දකින ආකාරයට, අප අකමැති වුවත්, කැමති වුවත්, දැන් ඉදිරියට සිදුවන්නේ මෙයයි.

අරුං කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට අවසර ලැබී ඇත.

නමුත්, අරුං ගේ අන්තිම කාලේ එක කටට ගිල්ල බයිට් සයිස් එකට මුං ගේ බඩවල් ආරන්නට තව කලක් ගත වෙනු ඇත.

එනිසා අප කළ යුත්තේ, ඊට පෙර මුං වෙනුවට නැවතත් බඩ ශුද්ධ වූ අරුං පිරිස ගෙන ඒමයි.

මෙන්න මගේ සටන් පාඨ.
  • අහෝසිකම්ම හෙවත් ඩීල්-කම්ම අහෝසි කරනු.
  • අංගුලිමාලලාට, හොරු හතළිහට මෙන් ම අලිබාබාට ද විරුද්ධව සාක්‍ෂි අනුව නඩු ගොනු කරනු.
  • ලබන සැරේ බැටේ දෙන්නට අවුරුදු පහක් බකං නිලා සිටිමු.

ඊළඟට පැවැත්වෙන 2020 මහ ඡන්දයේ ප්‍රතිඵල ගැන මගේ අපේක්‍ෂාව මෙයයි.
  • බඩ ශුද්ධ කළ සිරිලංකා එක = 81
  • හිසකුඩිච්චිය දැමූ යූඇම්පී එක = 79
  • හදවත වෙනුවට මොළය පාදාගෙන "හෘද සාක්‍ෂිය" වෙනුවට "මස්තිශ්ක සංගුණකය" සමග එන ජනතා විමුක්ති පෙරමුණ = 40
  • දෙමළ පක්‍ෂ = 20
  • මුස්ලිම් පක්‍ෂ = 5
  • විමල් වීරවංශ, චම්පික රණවක ඇතුළු නඩය = 0
  • වාසුදේව, පැරණි සමසමාජ, කොමියුනිස්ට් නඩය = 0

මේ සෑහෙන කාලෙකට ලියවෙන අන්තිම ලාස්ට් දේශපාලු හෙවත් කාලපාලු ලිපියයි

එසේ නම්, ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.ibtimes.co.in/dirty-politics-movie-review-roundup-even-mallika-sherawat-couldnt-save-film-625385)

Monday 17 August 2015

ප්‍රේමදාස මොඩලයේ නව රෙජීමයක් යටතේ හෙට (අගෝස්තු 18) සිට ඇරඹෙන නව යුගය - Dawn of a new era in my life...!!!


අපේ සිරි ලංකාවේ 1978 සිට 1989 දක්වා අගමැති ලෙස ද, 1989 සිට 1993 දක්වා ජනාධිපති ලෙස ද කටයුතු කර මිය පරලොව ගිය ර. ප්‍රේමදාස යනු ඔහු ගේ එකී පසු නිල සමයේ දී මා ඉතාමත් අකමැති පුද්ගලයෙකු වූ, මගේ දැඩි අප්‍රසාදයට පත්වූ අයෙකි.

ඒ අතරම ඔහු ගැන මගේ හිතේ ඇති වූ එකම එක ප්‍රසාදජනක හැඟීමක් ද විය. එයට හේතුව වූයේ, ර. ප්‍රේමදාස ගැන මා අසා තිබුණු එක් වැදගත් කරුණකි. එනම් ඔහු මධ්‍යම රාත්‍රී දොළහට නින්දට ගොස් පාන්දර හතරට නැගිට තම දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නෙකු ය යන්නයි.

කරන්නේ මොන දහදුරා වැඩ වුණත්, ඒ ආකාරයට වැඩ කටයුතු කරන අයෙකු ගැන අසන්නට ලැබීම ආශ්වාදජනක කරුණකි. කෙසේ වෙතත්, මා ඒ ආරංචියෙන් යම් පාඩමක් උගත්තේ නම් ඒ රාත්‍රී නින්දට යෑම ගැන පමණකි.

කුඩා කල සිටම අපේ පියා අපව පුරුදු කර තිබුණේ රාත්‍රී නමය වන විට නින්දට යෑමටයි. ගුවන්විදුලියෙන් මුවන්පැලැස්ස (හෝ එවැනි නාට්‍යයක්) අසා, රාත්‍රී නමයට ප්‍රවෘත්ති විකාශය සඳහා තේමා වාදනය ගුවනට එක් වෙනවාත් සමගම අපට නින්දට යෑම සඳහා අණ නිකුත් වේ. පසුදා උදයේ අප අවදි වූයේ තාත්තා නිවසින් පිටත් වූවායින් පසුව එනම්, උදෑසන හයට පමණය.

පසු කලෙක උසස් පෙළ සඳහා කොළඹ පාසලට යද්දී නම් මටත් උදේ පහ පසුවුණු පසු අවදි වීමට සිදු වූු අතර, විභාගය කිට්ටු වූ විට නිදා ගන්නට වූයේ ද රෑ බෝ වී ය.

වැඩිහිටි වියට පත් වූ පසු නින්දට යන වේලාව සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය දක්වා දිගු විය.

මේ දිනවල නම් තත්වය තවත් දරුණු වී ඇත.

සතියේ දිනවල සවස හයට පමණ කාර්යාලයෙන් පිටත්වෙන මා නිවසට එන්නේ රාත්‍රී හතහමාරට පමණ ය. ඉන්පසු, මදක් විවේක ගෙන, වෙනත් වැඩ කටයුතු නැතිනම් ශාරීරික අභ්‍යාසවල ද නිරත වී, ස්නානය කර, රාත්‍රී ආහාර ගෙන, නිවසේ වෙනත් වැඩක් වෙතොත් ඒවාද ඉටු කර, පරිගණකය අසලට පැමිණෙන විට සමහර දිනවල රාත්‍රී දහයද පසුවේ. ඉතින් අවසානයේ මා නින්දට යන විට වේලාව රාත්‍රී එක ද පසුවෙයි.

එතරම් ප්‍රමාද වී නින්දට ගොස් කෙසේ නම් උදේ පාන්දර අවදි වෙන්නද?

මා අවදිවන්නේ උදේ හත පසු වූ පසුවයි. නිවසින් පිටත් වන්නේ හතයි හතළිස් පහට පමණය. කාර්යාලයට යන විට නමයේ හෝරාව පසු වී ඇත. එනිසා, කාර්යාලයෙන් පිටවන්නේ දවස හමාරවෙන හයේ කණිසමටයි.

සියල්ල එකම විෂම චක්‍රයකි.

උදයේම අවදි වූවොත් ඉක්මනින් ම කාර්යාලයට ගොස්, අදට වඩා කලින් නිවසට පැමිණ, සියලු වැඩ හමාර කොට ඉක්මනින් ම නින්දට යා හැක. එවිට පසුදා ද උදයෙන් ම අවදි වීමට හැකි වෙනු ඇත.

මා දැන් කල යුත්තේ දැන් ඉන්නා විෂම චක්‍රයේ සිට ඒ යහපත් චක්‍රයට මාරු වීමයි.

ඒ කියන්නේ මට අවශ්‍ය වී ඇත්තේ නරක රෙජීමයේ සිට හොඳ රෙජීමයකට මාරු වීමයි!

මේ සඳහා හොඳම දිනය අගෝස්තු 18 වෙනදා බව පෙනේ.

මා සිටින්නේ ලංකාවේ වේලාවෙන් පැය හතරහමාරක් ඉදිරියෙන් නිසා, අද ඡන්දය දා නිදි මරාගෙන සිටීමේ ප්‍රයෝජනයක් නැත. කළ යුත්තේ හෙට උදේ පාන්දරින් අවදිවීමයි.

මගේ ජීවිතයේ හෙට සිට මේ නව රෙජීමය යටතේ නව යුගයක් ඇරඹෙන්නේ ඒ ආකාරයට ය.

එසේ නම්, ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ සමගම කළ යුතු තවත් දෙයක් වනුයේ ඩ්‍රයි ජුලයි මාසයේ නිහඟතාවයෙන් පසු අගෝස්තු පළමුවෙනි දින සිට අරඹා, එක එල්ලේ දින දාහතක් දිවූ බ්ලොග් මැරතන් එකට මද විවේකයක් දීමයි!


(image: http://us.abrsm.org/en/about-abrsm/news-articles-and-comment/latest-news/?abrsm%5BnewsId%5D=450&abrsm%5BId%5D=450&cHash=bdcd449d876d4c59d582cbd9dc833279)

Sunday 16 August 2015

ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගන්න - Win, win, win....!!!


කරුණාකර පෝලිමේ එන්න. කලබල නොවන්න. සියලු දෙනාට ම අවස්ථාව ලැබෙනු ඇත.

එසේ නමුත්, මේ මා විසින් පවත්වනු ලබන, ඔබට සහභාගී වී ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගත හැකි තරගයක් නම් නොවේ. ආසන්න වශයෙන් මීට දශක හතරකට පමණ පෙර කාලයක පැවති ඡන්දයක් ආශ්‍රිතව ඉරිිදා පුවත්පතක් විසින් පවත්වනු ලැබූ තරගයක් පිළිබඳව ලියවුණු ලිපියකි.

මේ මා කලින් විටින් විට සඳහන් කර ඇති 1977 දී පැවති මහ ඡන්දයයි. වසර හතකට කලින් සිරිලංකා එක ප්‍රමුඛ සමගි පෙරමුණ විසින් අවුරුදු පහකට පිහිටුවන ලද රජය, 1972 දී ගෙන එන ලැබූ ශ්‍රී ලංකා ජනරාජ ව්‍යවස්ථාව දඩමීමා කරගෙන වසර හතක් තිස්සේ පවත්වාගෙන ගොස්, ඉනික්බිති විසුරුවා දමන ලද්දේ 1977 මාර්තු මාසයේ දී පමණ ය. ඒ සමගම රටේ පැවති හදිසි නීතිය ද ඉවත් වූ අතර, හදිසි නීතිය යටතේ තහනම් කර තිබුණු දවස පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වූ රිවිරැස ඉරිදා පුවත්පත ද නැවත ඇරඹිණි.

ඒසේ ඇරඹුණු රිවිරැස පුවත්පත මුල් කලාපයේ සිටම ඉතා ජනප්‍රිය වූ බව අමුතුවෙන් කිව යුතු නැත. යූඇම්පීයේ නිල පුවත්පත වූ සියරට පත්තරය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ඇත්ත පත්තරය හැර විපක්‍ෂයට සහයෝගය දෙන එකම ජාතික පුවත්පත වූයේ රිවිරැසයි.

ඊළඟ පාර්ලිමේන්තුව දේශපාලුවන් පත්කර ගන්නා මහ ඡන්දයට තවත් තිබුණේ මාස දෙක තුනකි. රිවිරුස පුවත්පත විසින් ඡන්ද ප්‍රතිඵලය නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගත හැකි තරගයක් ආරම්භ කරන ලදී.

ඒ සඳහා සහභාගී වීමට පාඨකයින් කළ යුතුව තිබුණේ, පුවත්පතේ මුද්‍රණය කර තිබුණු ෆෝර්මයේ තම ඡන්ද ප්‍රතිඵල අනාවැකිය ලියා, එය තැපෑලෙන් පුවත්පතට යොමු කිරීම පමණකි.

ඒ මහ ඡන්දේදී පාර්ලිමේන්තුවට මන්තිරිලා 168 දෙනෙකු පත්කර ගැනීමට නියමිතව තිබුණි. සරල බහුතරයක් සහිතව යූඇම්පීයට අවශ්‍ය වූයේ ආසන 85 ක් පමණි.

අපේ පන්තියේ සිටි අෂාද් පෙරේරා සමග මා ඡන්ද ඔට්ටුවක් ඇල්ලුවේ ඒ අවම සංඛ්‍යාව ලැබේය කියමින් වුවත්, ප්‍රායෝගිකව ඊට වඩා විශාල සංඛ්‍යාවක් ආසනය යූඇම්පීටට ලැබෙන බව සාමාන්‍ය පිළිගැනීම විය.

මෙහිදී සාමාන්‍ය යනුවෙන් අදහස් කෙරෙන්නේ එක බිම් යතාර්ථය ගැන අදහසක් තිබුණු උදවියයි. මැරුවත් සිරිලංකා පවුලක ළමයෙකු වූ අෂාද් ඒ බව දැන සිටියේ නැත. ඒ ආකාරයේම තවත් පවුලක් වූයේ අප ඒ දිනවල සිටි කුලී නිවස අසලම නිවසක කුලී නිවැසියන් වූ සමරජීවලා ය.

රිවිරැස ඡන්ද ප්‍රතිඵල තරගයේ ෆෝර්මය පුරවූ පසු තරග කොන්දේසි පිළිගන්නා බවට සහතික වී අප එහි අත්සන් කළ යුතු වූ අතර, ඒ අත්සන පවුලේ නොව වෙනත් අයෙකුට කියා සහතික කරවා ග යුතු විය.
මා පිරවූ ෆෝර්ම සහතික කරවා ගැනීමට මා ගියේ සමරජීව පවුලේ පියා මුණ ගැසීමටයි.

යූඇම්පීයට ආසන 168 න් 120 ක් වැනි සංඛ්‍යාවක් ලැබෙන බවට මා පුරවා තිබෙනු අයුරු දැක, කැපුවත් සිරිලංකාකාරයෙකු වූ ඔහු මද පළ කළේ ය.

"රසික හොඳටම මුලාවෙලා වගෙයි!"

මම ද මද සිනා පා මුවෙන් නොබැණ සිටියෙමි.

මා පුරවා තිබුණු එක් ෆෝර්මයක යූඇම්පීයට ආසන 87 පමණක් ලැබෙන බව ලියා තිබුණි.

"මෙන්න මේක නම් තව විශ්වාස කරන්න පුළුවනි!" සමරජීව පියා ගේ ප්‍රතිචාරය එලෙස විය.

ඒ වැඩිහිටියා ගේ ප්‍රතිචාරයෙන් ද වටහා ගත හැකි පරිදි, රිවිරැස පුවත් පත විසින් පැවැත්වූ ඒ තරගයේ මූලික අරමුණ වූයේ එක්තරා ආකාරයක ජනමත සමීක්‍ෂණයක් කිරීම බව පෙනුණි. අපේ අනාවැකිය අනුව, අප ඡන්දය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙන ආකාරය ගැන නිවැරදි අදහසක් ලබා ගත හැකි බව රහසක් නොවේ.

තවත් කරුණක් කිව යුතුය. තරගය සඳහා ඉදිරිපත් කළ මගේ ඒ අනාවැකි සියල්ලේම පාහේ සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂවලට ආසන කිහිපයක් ලැබෙන බවට සලකුණු කර තිබුණු බව මගේ මතකයයි. ඒ අනුව පෙනෙන්නේ කුඩා ළමයෙකු වූ මා පෙර කී බිම් යතාර්ථයෙන් යම් දුරකට ඈත්ව සිටි බවයි.

ඡන්ද කාලයේ දී නැගෙනහිර පළාතේ ඡන්ද කොට්ඨාශයක් සඳහා නාමයෝජනා භාර දී සිටි එක් අපේක්‍ෂකයෙකු මිය යෑම නිසා, ඒ සඳහා පසුව අතුරු මැතිවරණයක් මගින් නියෝජිතයෙකු තෝරා ගන්නා තෙක් තරගයේ ජයග්‍රාහකයින් නම් කරන නොලැබුණි. ඡන්දයේ දී ස්වාධීනව හාරිස්පත්තුව අසුන ජයගත් මා සිතන ආකාරයට මූලිකවම සිරිලංකාකාරයෙකු වූ විජේසිරි නැමැත්තා පාර්ලිමේන්තුවේ දී යූඇම්පීයට සහය දැක්වීය.

විකිපීඩියාවේ දැක්වෙන ප්‍රතිඵල අනුව යූඇම්පීය ආසන 140 ක් ද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන දහ අටක් ද, සිරිලංකා එක ආසන අටක් ද, ද්‍රවිඩ කම්කරු කොන්ග්‍රසය එක් ආසනයක් ද හිමිකර ගෙන ඇත.

යූඇම්පීය, සිරිලංකා එක සහ ද්‍රවිඩ කම්කරු කොන්ග්‍රසය දිනා ගන්නා ආසන සංඛ්‍යාව නිවැරදිව රිවිරැසට ලියා යවා තිබුණු මා දන්නා එකම පුද්ගලයා වූයේ අප ආතා ලෙසින් හැඳින් වූ මගේ මවගේ පියා ය. ඔහු සමසමාජයට හෝ කොමියුනිස්ට් පක්‍ෂයට එක් ආසනයක් හෝ හිමි නොවන බවට ද සඳහන් කර තිබුණි.

නමුත් අපේ ආතාට දිනුම නොලැබුණි.

එයට හේතුව වූයේ ඔහු දුවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවට ඉලන්ගෙයි තමිල්නාඩු අරසු කච්චි නම් වූ පක්‍ෂයට ඒ ආසන සංඛ්‍යාව එක් කර තිබීමයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙවර දිවයින පුවත්පත මගින් මේ ආකාරයේ ඡන්ද ප්‍රතිථල තරගයක් පවත්වනු මට දක්නට ලැබුණි.

ඒ කෙසේ වෙතත් මෙන්න මගේ අපේක්‍ෂිත ප්‍රතිඵලය.

එක්සත් ජාතික පෙරමුණ = 81
එක්සත් ජනතා නිදහස් සන්ධානය = 79
ජනතා විමුක්ති පෙරමුණ = 40
ද්‍රවිඩ ජාතික සන්ධානය = 20
මුස්ලිම් පක්‍ෂ = 5

(image: http://olecommunity.com/election/election-polls/)

Saturday 15 August 2015

සිරිලංකා පාටි එකේ පරණ අවිචාර සමයක් ගැන පොඩි ළමයෙකු ගේ පොඩි මතකයක් - SLFP Era from 1970 to 1977


ලංකාව ශාපලත් දේශයක් යැයි කවුදෝ කියා තිබුණා මතකයේ ඇත.

ඒ ශාප පෙරහැරේ මුල්ම ශාපය ලැබුණේ මංකොල්ලකෑම වැනි අපරාධවල නිරත වීම නිසා දඬුවම ලෙස හිස මුඩු කර තම රටෙන් පිටුවහල් කරනු ලැබූ විජය නම් ඉන්දියානු ජාතිකයා ඇතුළු හත් සීයක් ආක්‍රමණකරුවන්ට හෙළ රටේ බලය අල්ලා ගැනීමට උදව් කළ කුවේණීගෙන් බව කියවේ.

කුවේණී ගේ ශාපයට හේතුව වූයේ බලය අල්ලාගත් පසු අදමිටු විජය, නවදැලිහේන අමතක කර සුර අඟනුන් සොයන්නට වූ නිසා ය.

ඉන් පසු ද ලංකාවට නිරතුරුව ම විවිධාකාර වූ ශාප වැදී ඇත.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි 1970 දී අවසාන වූයේ ඉන් එක් ශාපයකි. ඒ නම්,
අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
වසර පහක් පාන් කකා අපි උන්නෙමු අම්මා
යන කවි දෙපදයෙන් විස්තර කෙරුණු 1965 සිට 1970 දක්වා ලංකාවට බල පැවැත්වූ ඩඩ්ලි සේනානායක ගේ යූඇම්පීය ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුවේ ශාපයයි.

ඒ වෙනුවට 1970 සිට ලංකාවට උදා වූයේ සිරිලංකා එක ප්‍රමුඛ සමගි පෙරමුණු රජයේ පාලනය අත්විඳීමේ ශාපයයි. එවකට පැවති තට්ටු මාරු ක්‍රමය යටතේ මේ ශාපය ද වසර පහක් තිබේ යැයි අපේ බාප්පා මෙන් අන් යූඇම්පීකාරයින් ද විශ්වාස කරන්නට ඇත.

නමුත් සිදුවූයේ වෙනකකි.

මා කලින් ලිපියක සඳහන් කළ පරිදි සමගි පෙරමුණු රජය විසින් ඔවුන් 1972 දී ගෙනා ජනරජ ව්‍යවස්ථාව දඩමීමා කොට ගෙන එතැන් සිට අවුරුදු පහකට රජය වලංගු යැයි පවසමින් තම ආයු කාලය 1977 දක්වා දිගු කරගන්නා ලදී.

සමගි පෙරමුණ රජයට "සත්වසක ශාපය" යනුවෙන් නම් පට බැඳුණේ එනිසා ය.

සත්වසක ශාපයේ පසු කොටස ගැන මගේ මතකයේ රැඳී ඇති කරුණු කිහිපයක් මෙසේ ය.
  • සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා, ජාත්‍යන්තර වෙළදාම වෙනුවට, රට ස්වයංපෝෂිත කිරීමට පවත්වාගෙන ගිය බතල මයියොක්කා වගා සංග්‍රාමයෙන් රට පරාජය වෙමින් තිබුණු අතර, ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය නිසා රජය ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබුණි.
  • ආණ්ඩුවේ කාලය දිගු කිරීමට විරෝධය පා යූඇම්පී නායක ජේආර් තම මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වූ අතර, ඒ සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ඔහු පහසුවෙන් ජය ගත්තේ ය. ඊට පෙර පැවති කලාවැව, කැස්බෑව ආදී මෙකී නොකී සෑම අතුරු මැතිවරණයක් ම පාහේ යූඇම්පීය විසින් ජයගන්නා ලදී.
  • සමගි පෙරමුණ ද අසමගි වූ අතර, සමසමාජ, කොමියුනිස්ට්, සිරිලංකා යන පක්‍ෂ ත්‍රිත්වයේ ම ඉරණම ගලක කෙටු අකුරු මෙන් පැහැදිලිව පෙනෙන්නට විය. මැරුණත් යූඇම්පීකාරයෙකු වූ අපේ බාප්පා ජීවත්ව සිටියා නම් ඉතා සතුටු වෙනු ඇත.
මා වෙනත් ලිපියක සඳහන් කළ අයුරින් එකල රටේ පැවතියේ පුවත්පත් සමාගම් තුනක් පමණි. එයින් ලේක් හවුසිය, විශේෂ විධිවිධාන පනතක් යටතේ රජයට පවරා ගන්නා ලදී. ලංකාදීප පළ කළ ටයිම්ස් සමාගම ද රජයට පවරා ගෙන නිසි බලධරයෙකු යටතේ පාලනය කරන ලදී. රිවිරැස පළ කළ දවස නිවස නොහොත් ස්වාධීන පුවත්පත් සමාගම තහනම් කර මුද්‍රණාලයට සීල් තබා වසා දමන ලදී!

සිරිලංකා එකේ එකී දුර්දාන්ත පාලන සමය පිළිබඳව මගේ මතකයේ ඇති හොඳම සිදුවීම නම් මෙයයි.
බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමක් අපේ ආච්චී සතුව තිබුණි. එය බදුවත්ත නමින් හැඳින්වුණේ කාලයක් තිස්සේ අන්නාසි වැවීමට බදු දී තිබුණු නිසා බව කියවේ. කලින් විසි තිස් දෙනෙකුට අයිතිව තිබූ ඒ නිසරු බිම් පෙදෙස පිහිටියේ අපේ මහගෙදර තිබූ ඉඩමට අල්ලපු වටේ නිසා, ආච්චී සහ තාත්තා කර ඇත්තේ අනෙකුත් ඥාතීන්ගෙන් ඔවුනට හිමි කොටස් විටින් විට මිලට ගෙන එහි සම්පූර්ණ අයිතිය හිමි කර ගැනීමයි. මා දන්නා කාලයේ එහි තිබුණේ පොල් ගස් රාශියක්, සහ තැනින් තැන තවත් ගස් රාශියක් පමණි.

ආනයන සීමා කිරීම නිසා රටේ ඇතිවූ ආහාර හිඟයට පිළියමක් ලෙස ආණ්ඩුවෙන් ඇරඹූ වගා සංග්‍රාමය යටතේ සෑම ඉඩමකම යටි බිම් වගාවත් ඇරඹිය යුතු විය. ආච්චී ගේ වෙනත් ඥාතියෙකු වූ චාලි ගුරා ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබුණු ගමේ ජනතා කොමිටිය විසින් අපේ බදුවත්ත රජයට පවරා ගන්නට අර අඳින බව දැන ගන්නට ලැබුණි.

එය වැළැක්වීමේ පියවරක් ලෙස ඉඩමේ මයියොක්කා වගා කිරීමට තීරණය කරන ලදී. නගුලක් බැඳි සමරේ ගේ මැසී ෆර්ගියුසන් ට්‍රැක්ටරය පොල් ගත් අතරින් පස් පෙරළමින් ඔබ මොබ යනු අප ආශාවෙන් බලා සිටි අයුරු මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ සඳහා රුපියල් දෙතුන් සීයක් වියදම් විය. ඉන් පසු ඉඩමට ගිය අපේ සීයලා ගේ පාර්ශවයෙන් ඥාතීන් වූ ගයිඅයියා සහ පීටරයියා ට්‍රැක්ටරයෙන් පෙරළු පසේ උදලු තලයෙන් පොඩි වළවල් සාදා, ඒ එක වළක අඩියේ පමණ මයියොක්කා දඬු දෙක බැගින් සිටවූහ. දින කිහිපයක්ගත වූ ඒ කර්තව්‍යයට ද සෑහෙන වැඩ කුලියක් වැය වෙන්නට ඇත.

මේ ඉඩම නිසරු ඉඩමක් යැයි කලින් කීවෙමි. එයට මූලික හේතුව වූයේ තරමක නැග්මක් සහිත මේ බිමේ තෙතමනයක් නැති වීමයි. බදුවත්තට අල්ලපු ඉඩමේ තිබූ අපේ නිවසට වතුර ලබා ගත්තේ ද, නිවසේ සිට තරමක් දුරින් කපන ලද ගැඹුරු ළිඳකිනි. ඒ සඳහා භාවිතා කළේ බඹ දහයක කඹයකි!

පසේ තෙතමනය හිඟ වුවද, වැසි ජලයේ මයියොක්කා දඬු දළු දමා සෙමෙන් වැඩුණි. මයියොක්කා අල බහින්නේ සය මසකට පසුවය.

නියමිත කාලයේ දී වත්තේ මයියොක්කා අල ගලවා විකුණන ලදී. එයින් ආච්චී ලද මුදල රුපියල් එකසිය ගණනකි!
වගා සංග්‍රාමයට බදුවත්තෙන් අප කළ දායකත්වය එසේ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අල බහින තුරු බලා සිටි අයට තව ඉවසන්නට ඇත්තේ දින තුනකට අඩු කාලයකි!

(image: http://40.media.tumblr.com/e41fc62f3ec039b81517d882a6dc305d/tumblr_ni0hjtw4RK1tw5s6vo1_400.jpg)

Friday 14 August 2015

රිවිරැස පත්තරේ, අහන්න විස්තරේ - Down the memory lane via Fleet Street


රිවිරුස පත්තරය කියවා ඇති ළමයි කරුණාකර අත් ඔසවන්න.

නමේ අරුතෙන් ම හැඟවෙන පරිදි මෙය ඉරිදා පුවත්පතකි. එය ප්‍රකාශනය කෙරුණේ දවස නිවස නමින් සාමාන්‍යයෙන් සිංහලෙන් හැඳින්වුණු ස්වාධීන පුවත්පත් ආයතනය මගිනි. දවස නිවස මා දන්නා තරමින් ඇම්.ඩී. ගුණසේන සමාගමට හිමි ආයතනයක් විය.

දවස නිවසින් ප්‍රකාශනය කෙරුණු අනෙකුත් පුවත් පත් වූයේ:
  • දවස නම් දිනපතා සිංහල පුවත් පත
  • සවස නම් දිනපතා සන්ධ්‍යා පුවත් පත
  • සන් නමැති ඉංගිරිසි පුවත්පත
  • වීක්එන්ඩ් සන් ඉංගිරිසි ඉරිදා පුවත්පත
  • ටිකිරි නම් ළමා පුවත් පත
  • රසකතා නම් නවකතා, කෙටිකතා පමණක් පළවූ සතිපතා සඟරාව
යනාදියයි.

මෙයින් මගේ මතකයේ හොඳින් රැඳී ඇත්තේ රිවිරැස ඉරිදා පුවත්පතයි. "අබරන් සීයා ගේ දවසේ කියමන" නම් කුඩා කාටුනයක් එහි මුල් පිටුවේ විය. ජයසිරි සේමගේ විසින් අඳින ලද එකිනෙකට බොහෝ දුරට සමාන රේඛා චිත්‍ර දෙකක් ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරුණු "ගුරු-ගෝල" තරගය ළමා අපේ සිත් ගත් තවත් විශේෂාංගයකි.

සමගි පෙරමුණ පාලන සමයේ මැද භාගයේ දී රිවිරැස පුවත්පත (සහ දවස නිවසෙන් පළ කළ අන් සියලුම ප්‍රකාශන) එක්වරම නැති වී ගියේය. එයට හේතුව වූයේ සමගි පෙරමුණ ආණ්ඩුවෙන් ඒ පුවත් පත තහනම් කරමින් ප්‍රකාශන සමාගමට සීල් තැබීමයි.

මේ ක්‍රියාව කෙරුණේ එවකට පැවති හදිසි නීතිය යටතේ සරල නියෝගයක් මගින් යැයි සිතමි. ඒ හදිසි නීතිය එතරම් ප්‍රබල එකක් විය.

රිවිරැස පුවත් පත එලෙස තහනම් කිරීමට හේතු වූයේ එය දිගින් දිගටම රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන ප්‍රවෘත්ති පල කිරීමයි. තහනමට ආසන්නතම හේතුව වූයේ එවකට රටේ පැවති ආහාර හිඟය නිසා, කොහෙන් දෝ ගලවා ගත් මයියොක්කා වැනි අල වර්ගයක් තම්බා කෑ පවුලක් රෝගාතුර වී දරුවෙකු මිය යෑම වැනි පුවතක් පළ කිරීම බව කියවුණි.

ඩී.බී. වර්ණසිරි අධ්‍යක්‍ෂණය කළ, ගාමිණී ෆොන්සේකා, අනෝජා වීරසිංහ ආදීන් රඟ පෑ සත්‍යග්‍රහණය නම් සිංහල චිත්‍රපටයෙන් කියවුණේ මේ රිවිරැස ඇතුළු පුවත්පත් තහනම් කළ පුවතයි!

දවස නිවසට අමතරව ලංකාවේ ඒ කාලයේ පැවති පුවත්පත් සමාගම් වූයේ ලේක් හවුසිය සහ ටයිම්ස් සමාගමයි.

දිනමිණ, සිළුමිණ, ඔබ්සර්වර් සහ ඩේලි නිව්ස් වැනි ප්‍රකාශන නිකුත් කළ ඩී.ආර්. විජේවර්ධන පවුලට අයිතිව තිබූ ලේක් හවුසිය විශේෂ විධිවිධාන පනතක් යටතේ රජයට පවරා ගෙන තිබුණි.

ලංකාදීප, ටයිම්ස්, ඩේලි මිරර් වැනි ප්‍රකාශන නිකුත් කළ ටයිම්ස් සමාගම ද එලෙසම රජයට පවරා ගෙන නිසි බලධරයෙකු යටතේ පවත්වාගෙන යන ලදී.

එනිසා, දවස නිවස සීල් තැබීමත් සමගම, රජයට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කිරීමට කිසිදු ස්වාධීන පුවත්පතක් නොමැති කාලයක් උදා විය. එකම විකල්ප ප්‍රකාශනය වූයේ යූඇම්පීයේ නිල පුවත්පත වූ සියරට පුවත්පතයි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ඇත්ත පුවත් පත විපක්‍ෂ පත්තරයක් වූයේ 1975 දී පමණ සමගි පෙරමුණ අංජබජල් වී ගිය පසුවය.

රූපවාහිනී ගැන අප අසාවත් නොතිබුණු ඒ කාලයේ ගුවන් විදුලි සේවා ද තනිකරම රාජ්‍ය අංශය යටතේ පැවති නිසා, ජනතාවට ලැබෙන තොරතුරු තමනට රිසි පරිදි කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකිවිණි.

සමගි පෙරමුණු ආණ්ඩුව 1977 මාර්තු මාසයේ දී විසුරුවා හැරීමත් සමගම ලංකාවේ එතෙක් පැවති හදිසි නීතිය ද අහෝසි වී ගොස්, ඒ යටතේ තහනම් කර තිබුණු රිවිරැස පුවත් පත නැවත ඇරඹිණි.

අවාසනාවකට මෙන්, ඒ ආකාරයට දෙවෙනි ආත්මභාවය ලැබ වසර ගණනාවක් ම ප්‍රකාශනය කෙරුනද පසු කලෙක රිවිරැස පුවත් පත ස්වාභාවික මරණයට ගොදුරු විය.

එදා 1970 සිට 1977 දක්වා බලයේ සිටි සිරිලංකා එකේ සමගි පෙරමුණ සභාග රජය ජනමාධ්‍ය පාලනය කළේ එක්කෝ රජයට පවරා ගනිමින් හෝ නැතිනම්, වසා දැමීමෙන් වුවද, පසු කාලයේ ආණ්ඩුවලට එසේ කිරීමට අවශ්‍ය නොවීය.

සිරිලංකා ආණ්ඩුව පරදා 1977 දී බලයට පැමිණි යූඇම්පී ආණ්ඩුව කළේ, රාජ්‍ය නොවන පුවත්පත් සඳහා විටින් විට වාරණ පනවා නිසි බලදරයෙකු මගින් අනවශ්‍ය පුවත් ඉවත් කිරීමයි. බලධරයා විසින් ඉවත් කරන ලදී යන වදන් පමණක් සහිත හිස් තීරු සහිත පත්තර පිටු එ සමයේ සුලබ විය.

නමුත් සහමුලින්ම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස පැවති තොරතුරු වාර්තා කිරීමේ අයිතිය පෞද්ගලික අංශයට ද ලැබුණේ යූඇම්පී පාලන කාලය තුළ දී ම ය. විවිධ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ද, පුවත් පත් සහ සඟරා ද ඇරඹුණි. එමගින් ජනතාව ගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තරමක් හෝ ප්‍රසාරණය විය.

යූඇම්පීයේ දාහත්වසක පාලනයෙන් පසු නැවත බලයට පැමිණි සිරිලංකා එකේ ආණ්ඩුව සමයේ කලින් පැවති මර්ධනය නව මානයකට ගෙන යමින්, ගිනි තැබීම, බෝම්බ ගැසීම, පුවත් පත් කතුවරුන් මරා දැමීම, පැහැර ගෙන යාම, පහර දීම, තර්ජනය කිරීම, නඩු පැවරීම මගින් ද, එසේම, ආයතන හෝ පුද්ගලයින් මුදලට ගැනීමෙන් මාධ්‍ය පාලනය කරන්නට පෙළඹුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

උන්ගේත්, මුංගේත් ප්‍රජාතන්ත්‍රවාදය නම් එසේ ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් ඔය අත් ඔසවාගෙන සිටින ළමුන්ට අවශ්‍ය නම් අත් පහත හෙළීමට අවසර දෙමි.

(image: http://www.mdgunasena.com/mdg/index.php?r=shop/site/page&view=history)

Thursday 13 August 2015

වීඩියෝ පණිවිඩයක් - Preaching to the converted


ඡන්ද ගාලගෝට්ටිය පටන් ගත් දා සිට මෙපමණ කලක් ගත වී ඇති වුවද, ඡන්දයට තවත් දින හතරක් ම ඉතිරිව ඇත. මේ නම් ඉතා දිගු කාලයකි. අනවශ්‍ය තරම් දිග කාලයකි.

ටී වී එකේ විනෝද සමය විවාද සහ සම්මුඛ සාකච්ඡා නරඹන අයට නම් යම් කිසි වින්දනයක් ඇති යැයි සිතිය හැක. නොරට වෙසෙන ද්විත්ව පුරවැසියෙකු වන මට නැරඹීමට ඉඩ ඇත්තේ පොඩි පොඩි හයිලයිට් පැකේජ් පමණි.

මේ වෙන විට අති බහුතරයක් ඡන්දදායකයින් තමන් ඡන්දය දෙන්නේ කාටදැයි තීරණය කර හමාර ය. උදාහරණයක් ලෙස මා ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කෙසේ දැයි කීවේ සති දෙකකට පෙර ය. එය වෙනස් වීමට ඇති ඉඩ කඩ නොසැලකිය හැකි තරම් වේ. එනිසා ආණ්ඩුව විසුරවා හැර සති දෙකක් ඇතුළත නාම යෝජනා භාර ගෙන තවත් සති දෙකකින් ඡන්දය පැවැත්වූවා නම්, අපේ කාලය, විදුලිබලය සහ තේ කෝපි ද ඉතිරි වෙනු ඇත.

කරුණු එසේ හෙයින්, මෙහෙම ඡන්දය දෙන්න යැයි, මෙහෙම නොදෙන්න යැයි විවිධ පුද්ගලයින් කරන ප්‍රකාශවලින් වැඩක් ඇති දැයි සිතේ. එවැනි ප්‍රකාශ, දේශන, සම්මන්ත්‍රණ, සාකච්ඡා යනාදියට ඉංගිරිසියෙන් කියන්නේ "ප්‍රීචින් ටු ද කන්වර්ටඩ්" කියා යැයි සිතමි.

ඒ කරුණු කියන්නට සිතුණේ මේ පහත වීඩියෝව දුටු මොහොතේ ය.

මෙහි අදහස් පළකරන කීප දෙනෙකු ම මා තරමක් හෝ දන්නා නිසා, එය මෙලෙස බෙදා ගැනීමට සිතුණි.

මේ වීඩියෝවට යොදා ඇති ටයිටලය "Supporting a brighter future in Sri Lanka" යන්නයි. ඒ සමගම මෙයට "සිනුවරින් පණිවිඩයක්" යැයි කීවා නම් වඩාත් හොඳ යැයි මට සිතේ.

දැන් ඒ වීඩියෝව නරඹමු.



https://youtu.be/QD9YbB3_qLM

සුබ දවසක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනාධිපති ඡන්දය කාලේ ද මෙවැනි ප්‍රකාශ නිකුත් විය. ඒ ගැන ලිපි ඔබ දුටුවා යැයි සිතමි.

1. ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලියුමක් - An appeal by a group of Sri Lankans living in Australia
http://rasikalogy.blogspot.com/2014/12/appeal-by-group-of-sri-lankans-living.html

2. ලංකාවේ යහ පාලනයක් සඳහා ඕස්ට්‍රේලියාවේ ඉන්නා රටගිය ඇත්තන්ගෙන් උපදෙස් - Statement from Australian Advocacy for Good Governance in Sri Lanka
http://rasikalogy.blogspot.com/2014/11/statement-from-australian-advocacy-for.html


(image: https://eruditefeline.wordpress.com/2015/04/27/wish-you-were-here-mrs-brown-1-by-rita-mae-brown-1990/)

Wednesday 12 August 2015

යූඇම්පී ජනරජයට පක්‍ෂපාතී වෙමි - Rasika as a rebel kid


ඡන්ද කාලේ නිසා නොයෙකුත් පරණ ඡන්ද කතා සිහිවේ. කීපයක් ලියූවෙමි. මේ තව එකකි. අගෝස්තු දහඅට වෙනිදා දෙකෙන් එකක් තීරණය වෙනතුරු දිනපතා ලියන්නට පරණ ඡන්ද කතා මේ ආකාරයට මගේ මතකයේ පතුලෙන් එක එක උඩට මතු වෙමින් ඒ යැයි සිතමි.

අපේ ආච්චී අම්මාවරුන් ගේ දානමානවලදී ගායනා කරන කවි යැයි රැවටී සිරිමා නොහොත් ජාතියේ අම්මා ගැන ලියවුණු කවි පොතක් මිලට ගත් වසරේ පැවැත්වුණු මහ ඡන්දයෙන් සමගි පෙරමුණු රජය බිහිවුණු අතර, අම්මාවෝ අගමැති ලෙස පත්වූහ.

පසු කලෙක කොලොප්පන් තත්වයට පත් වී කුජීත වී ගිය නමුදු, මේ සමගි පෙරමුණු රජය මගින් රටේ ප්‍රගතිය පිළිබඳව ප්‍රගතිශීලි පියවර කිහිපයක් ගන්නා ලදී. ඉන් එකක් වූයේ එතෙක් බ්‍රිතාන්‍ය රජය යටතේ ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්ව තිබුණු සිලෝන් එක නොහොත් ලංකාව, ස්වාධිපත්‍යය ඇති, තමන්ගේ ම රටවැසියෙකු ගේ නායකත්වය සහිත, සම්පුර්්නයෙන් ම නිදහස් ජනරජයක් බවට පත් කිරීමයි. මේ ඓතිහාසික සිදුවීම වූයේ දැන් අප බොහෝ දෙනෙකුට අමතක වී ඇති දිනයක් වෙන 1972 මැයි 22 දා ය.

ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ:
  • ඒ වන විට එංගලන්තයේ රාජ්‍ය නායකත්වය නොහොත් රජකම පරම්පරා උරුමයෙන් ලබා සිටි එලිසබෙත් වින්ඩ්සර් නමැති කාන්තාව එතෙක් ලංකාවේ රාජ්‍ය නායකයා ද විය. ඒ වෙනුවට, ශ්‍රී ලංකා ජනරජයේ නායකයා නොහොත් ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව නමැති ශ්‍රී ලාංකිකයා පත් වුණි.
  • අග්‍ර විනිශ්චයකරුවෙකු යටතේ ස්වාධීන අධිකරණ පද්ධතියක් පිහිටවුණු අතර, එතෙක් එංගලන්තෙන් කළ යුතු වූ භයානක "ඇපල්" ගැනීම් යනාදිය දේශීයව කළ හැකි විය.
  • ජේවීපිය 1971 දී කළ ගල්කටස්, මොලටෝව් සටනට විරුද්ධව ඔවුන්ට නඩු පැවරුණේ එලිසබෙත් මහ රැජින ගේ රජය පෙරළීමට තැත් කිරීමේ චෝදනාව ගැන වුවද, නැවත එවැනි කැරුලි ගැසීම් කළහොත් ඒවා තවදුරටත් රැජින විරෝධී නොව රාජ්‍ය විරෝධී ක්‍රියා වශයෙන් සලකන්නට සිදුවෙනු ඇති බව ද කියවුණි.
එසේ නමුදු, මේ කිසිදු කාරණයක ඇති කිසිදු වැදගත් කමක් කුඩා දරුවෙකු වූ මට නොවැටහිණි.

මට මතක හැටියට 80 දශකයේ මැද භාගයේ ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් (මෙය 13 වෙනි සංශෝධනය විය යුතුයි) අනුව ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ භෞමික මොකක්ද එක ආරක්‍ෂා කිරීම සඳහා නීති පනවන ලදී. මෙහි ආසන්න ප්‍රතිඵලය වූයේ රජයේ සේවයේ සියලුම දෙනාටම තමන් ඒ ගැන සහතික වෙන බවට ලියවිල්ලක් අත්සන් කර දිවුරුම් (oath) දෙන්නට, නැතිනම් තහවුරු කිරීමක් (affirm) කරන්නට සිදුවීමයි.

එතෙක් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‍ෂය වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඒ දිවුරුම නොදී තම මන්ත්‍රීකම් අතහැරිය අතර, විපක්‍ෂ නායකකම සිරිලංකා එකට ලැබුණි.

දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ බවට ඒ දිවුරුම දුන් ආකාරයට ම, එදා 1972 දී ද, අලුත් ජනරජ ව්‍යවස්ථාවට තමන් පක්‍ෂපාත බවට සියලුම දෙනාට දිවුරුම් දෙන්නට සිදුවිය. සියලුම දෙනාට කීවේ ප්‍රාථමික පාසල් සිසුන් ද එයට අයත් වූ බැවිණි.

ආච්චී, බාප්පා පමණක් නොව අම්මා තාත්තා ද යූඇම්පීකාරයින් වූ අපේ නිවසේ ඒ දිනවල අකමැතිම වචනයක් වූයේ ශ්‍රී ලංකා යන්නයි. එයින් එකල අදහස් කෙරුණේ සිරිලංකා නිදහස් පක්‍ෂය මිස, කිසිසේත් ම එංගලන්ත මහ රැජින ගේ ලංකාංඩුව වෙනුවට අලුතෙන් බිහිවෙමින් තිබුණු ශ්‍රී ලංකා ජනරජය නම් නොවේ!

මේ ජනරජය බිහිවීම පිළිබඳව අපේ පන්තිය භාර ගුරුවරිය විසින් අපට කියා දෙන්නට ඇත. ඒ වෙනුවෙන් පාසලේ පැවැත්වීමට නියමිත උත්සවය ගැනත්, එදින අප සැම කළ යුතු දිවුරුම් දීම ගැනද කලින් දැනුම් දීමක් කරන්නට ද ඇත.

අපේ දිවුරුමේ දී කිව යුතු පාඨය වූයේ "ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතීබව මෙයින් සපථ කරමි!" වැනි තේරුමකින් යුතු වැකියකි.

කලින් කී කාරණය නිසා, මට ඒ වාක්‍යයේ ඇති "ශ්‍රී ලංකා" යන යෙදුම ඇල්ලුවේ නැත.

ඉතින්, එදා වසර 1972 මැයි 22 දා, කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ රැස්වීම් පිටියේ දී මුල්ගුරුවරයා විසින් කියන්නට යෙදුණු ඉහත දිවුරුම් වාක්‍යය මගේ කටෙන් පිටවුණේ "යූඇම්පී ජනරජයට පක්‍ෂපාතී වෙමි!" යනුවෙන් බව අද වෙනතුරු දැන සිටියේ මා පමණකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මොකද කියන්නේ? ආපහු යූඇම්පී ජනරජයකට පක්‍ෂපාතී වෙමු ද?

ප/ප/ලි:
රසිකොලොජියේ පළ කෙරුණු ඡන්ද කාලේ කතා ලයිස්තුව:
1. මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

2. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance
http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

3. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

4. ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?
http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html

5. ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's blogging
http://rasikalogy.blogspot.com/2015/08/all-in-days-blogging.html

6. අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox
http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

7. මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!
http://rasikalogy.blogspot.com/2015/08/blog-post.html

8. ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles
http://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

9. අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother
http://rasikalogy.blogspot.com/2015/08/my-poor-grand-mother.html

10. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

11. ජාතියේ අම්මලා සහ තාත්තලා - Parents, we are grown ups now!
http://rasikalogy.blogspot.com/2015/08/parents-we-are-grown-ups-now.html

(image: https://www.pinterest.com/CollectStamps/sri-lanka-stamps/)

Tuesday 11 August 2015

ජාතියේ අම්මලා සහ තාත්තලා - Parents, we are grown ups now!


අම්මාවරුන් ගේ දානමය පුණ්‍යකර්මවල දී ගායනා කරන කවි ඇතුළත් පොතක් යැයි සිතා අපේ ආච්චී 1970 දී ශත දහයක් ගෙවා මිලට ගෙනැවිත් තිබුණේ සමසමාජ-කොමියුනිස්ට් පක්‍ෂ දෙකේ ද සහයෝගය ඇතුව ඒ වසරේ පැවත්වුණු මහ ඡන්දයෙන් දිනා සමගි පෙරමුණ ආණ්ඩුව බිහිකළ ප්‍රධාන පක්‍ෂය වූ සිරිලංකා එකේ නායිකාව වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක පිළිබඳ ලියවුණු කවි පොතකි.

ඒ දිනවල සිරිලංකා පක්‍ෂයේ ප්‍රොපගැන්ඩාකරුවන් විසින් සිරිමා හඳුනවනු ලැබුවේ යූඇම්පී ව්‍යවසනයෙන් ලංකාව බේරා ගන්නට වඩින "අම්මා" ලෙසය. සමහර "නූතන විහාර මහා දේවිය" ලෙසද ඇයව ප්‍රචාරාත්මක කටයුතු උදෙසා හඳුන්වන්නට ඇත.

ඡන්දෙට පෙර අම්මා වුවත්, ඡන්දේ දිනා අගමැති වූ පසු ඇය නැවතත් "මැතිනිය" වූවා ය.

සිරිමාට අම්මා කීම සාධාරණීකරණය කළ හැකි තර්කයක් ඇත.

ලංකාවේ ජාතික තලයේ දේශපාලනයට පැමිණ නායකත්ව තනතුරක් දැරූ ප්‍රථම කාන්තාව සිරිමා යැයි සිතමි. ඊට කලින් දේශපාලනයේ නිරත වූ ඇඩ්ලින් මොරමුලේ හෝ විමලා විජේවර්ධන වැනි කාන්තාවන් අය සිරිමා තරම් ඉහළ තලයකට පැමිණියේ නැති බව පැහැදිලිය. සිරිමාට පෙර වැජඹුණු බොහෝ ජාතික නායකයින් හැඳින්වූයේ "පියා" යනුවෙන් විශේෂණයක් ද සමගයි. සිරිමාට මව් පදවිය ලැබුණු අතර ඊට පසු බලයට පැමිණි නායකයින්ට ද විවිධාකාර වූ පිය පදවි ලැබුණි.

ලංකාවේ පළමු අගමැති දොන් ස්ටීවන් සේනානායක ප්‍රොපගැන්ඩාකරුවන් විසින් හඳුන්වා ඇත්තේ "ජාතියේ පියා" කියා ය.

හාල් සේරුවක් නොමිලේ දුන් පින නිසා, ලංකාවේ දෙවෙනි අගමැති ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (එනම්, ජාතියේ පියා ගේ පුතා!) ප්‍රොපගැන්ඩාකරුවන් ගේ පෑන් තුඩින්, දිව අගින් "බත් දුන් පියා" ලෙස බෞතීස්මය ලද්දේය.

පාසල් ළමුන්ට දිවා ආහාරය සඳහා නොමිලේ බනිස් ගෙඩියක් දෙන වැඩ පිළිවෙළක් සැකසූ හෙයින් ඇම් ඩී බණ්ඩා හෝ එවැනි නමක් ඇති ආහාර ඇමතිවරයෙකු සිය වන්දිභට්ටයින් විසින් හඳුන්වා ඇත්තේ "බනිස් දුන් පියා" ලෙස බව අපේ අම්මා කියා ඇත.

"කොස් මාමා" කෙනෙකු ගැන අසා ඇතත්, ඔහු "කොස් දුන් පියා" ලෙසින් හැඳින්වූ බවක් අසා නැත. සමහර විට ඒ ඔහු දේශපාළුවෙකු නොවූ නිසා විය යුතුයි.

පාසල් ළමුන්ට නොමිලේ පාසල් පොත් ලබා දීම ඇරඹුණේ අපේ ආච්චීගේ දේශපාලන වීරයා වූ ජේ.ආර් ගේ කාලයේ දී ය. එනිසා ජේ.ආර්. "පොත් දුන් පියා" ලෙස හඳුන්වන්නට එකල ඇතැම්හූ උත්සාහ කළහ.

ඒ ආකාරයටම, පාසල් සිසුන් ගේ නිල ඇඳුම් සඳහා නොමිලේ රෙදි ලබා දුන් බැවින්, එයට මුල් වූ ජනාධිපති ර. පේ්‍රමදාසට "රෙදි දුන් පියා" යැයි නම් පද බැඳුණ ද, එය තාවකාලික එකක් විය.

ර. පේමදාස නිතරම පන්සල් භුමිවල මල්වට්ටි රැගෙන ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන පින් අතේ වැඩවලට කැමති අයෙකු නිසා ඔහුට සුදුසු නාමය "පින් පියා" බව, ර. පේමදාස ගේ විරුද්ධවාදියෝ කතා පැතිරවූහ. ඒ නම "රෙදි දුන් පියා" යන්නට වඩා ජනප්‍ර්‍රිය වූ බව සිතමි.

පවුලේ ප්‍රධානියා පියා ය. එනිසා, රටේ ප්‍රධානියාට ද පියා කීමේ ලොකු වරදක් නැත. අම්මා පවුලේ ප්‍රධානියා වනුයේ පියා නොමැතිනම් පමණි. සැමියා මිය ගිය නිසා දේශපානයට පැමිණ අගමැති වූ සිරිමා අම්මා වීම ද එලෙසම සාධාරණීකරණය කළ හැක.

නමුත්, සැමියා මිය ගිය පසු රටේ නායකත්වයට පත් චන්ද්‍රිකාට එලෙස මව් පදවියක් නොලැබුණි.

රටේ බහුතරය පියා අමතන්නේ තාත්තා කියා යැයි කීම සත්‍යයක් යැයි සිතමි. අප්පච්චී යන්න ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ පළාත් කිහිපයක පමණි. එයට හම්බන්තොට අයත් නොවේ. එසේ නම්, මහින්ද රාජපක්‍ෂ හැඳින්වීමට අප්පච්චි යන්න ප්‍රොපගැන්ඩාකරුවන් විසින් යොදා ගත්තේ ඇයි? එයට හේතුව නිතරම පන්සල්වල ගැවසීමට කැමැත්තක් දක්වන ඔහුට "පින් අප්පච්චි" යැයි නමක් පටබැඳේ වී යැයි සිතා කළ පෙර සැලසුමක් ද කියා සිතේ!

කනගාටුවට කරුණ නම්, අපේ ඡන්දයෙන් බලයට පත්වූ මුල් කාලයේ අගමැතිලා, පසුව ජනාධිපතිලා අම්මලා තාත්තලා වූ අතර, බොහෝ විට ඒ නිසාම, ඔවුන් අපට සලකන්නේ අප තවමත් තොත්ත බබාලා කියා වීමයි.

අප දැන් ලොකු ළමයින් බව එකී ජාතියේ තාත්ලාට, අම්මලාට මෙන්ම වෙන්ඩ තාත්තලාට සහ වෙන්ඩ අම්මලාටත් පෙන්විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනවාරි නමවෙනිදා සිට ලංකාවේ ප්‍රථම පුරවැසියා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියා යනුවෙන් හැඳින්විය යුතු නම්, ඒ කවර පියා ලෙසින් ද? සමහරු ඔහුට යහපාලන පියා කියනු ඇතැයි සිතමි.

අගෝස්තු දාහත්වෙනිදා ඡන්දයෙන් පසු පිහිටුවන නව රජයේ අගමැතිවරයාට නම් පියා කිව නොහැකිය. අවශ්‍යම නම් කිව යුත්තේ සුලු පියා කියා ය. ඒ නම, දියවඩන නිලමේ ගේ දෙවෙනියා සුලු දියවඩන නිලමේ ලෙස හැඳින්වීමට වඩා ගෞරවාන්තික එකකි!

(image: http://es.dreamstime.com/imagen-de-archivo-beb%C3%A9-para-servir-la-evoluci%C3%B3n-image29323311)

Monday 10 August 2015

ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at teh presidential election


මැරුවත් යූඇම්පී අපේ ආච්චී සහ මැරුණත් යූඇම්පී අපේ බාප්පා සේ දරදඬු සිතැති මැරුවත් සිරිලංකා ඥාතීහූ ද මට සිටිති.

මේ එක් ඇන්ටි-අංකල් පවුලක්, කලින් අයිටීඇන් මිස වෙනත් චැනලයක් නොබැලූ අතර දැන් ඔවුන් බලන්නේ දෙරණ නම් චැනලය යැයි ආරංචි ය.

මේ ආකරයේ දැඩි මතධාරී අනම්‍ය පාක්‍ෂිකයින් දැන් දැන් අඩු වෙමින් යතැයි කිය වේ. මා කලින් දිනයක "ඡන්ද කාලේ කතා" යනුවෙන් ලියා පල කළ ලිපියේ සඳහන් කළ අයුරු එය හොඳ ප්‍රවණතාවක් යැයි සිතමි.

මෙහි සැබෑ උත්ප්‍රාසය වන්නේ අපේ අංකල්ලා, ඇන්ටිලා දැඩි මතධාරීව සිටින අතර, ඔවුන් ගේ දේශපාලන පක්‍ෂවල ප්‍රධාන පෙළේ නායක දේශපාලුවන් තම පුද්ගලික වාසි වෙනුවෙන් ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තෙන් ඒ පැත්තට පැනීමයි. මේ ලපයි සිපයි නායකයින් නොවේ, කතානායකලා ය, සභානායකලා ය, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ය. ජාතික සංවිධායකවරුය. ඒ මදිවාට ජනාධිපති අපේක්‍ෂකයින් ය.

එකක් අනිකේ කාබන් පිටපතක් නැතිනම් ප්‍රතිබිම්බයක් බවට දැන් පත් වී ඇති යූඇම්පී සිරිලංකා පක්‍ෂ දෙකෙන් එකකට ඡන්දය දුන් අයෙකුට ඊළඟ වාරයේ අනෙක් පක්‍ෂයට ඡන්දය දීම පහසු දෙයක් විය හැකි මුත්, තම මුල්ම ඡන්දය වාමාංශික පක්‍ෂයකට ලබා දුන් මා වැන්නෙකුට පසු කලෙක දක්‍ෂිණාංශික පක්‍ෂයකට ඡන්දය දෙන්නට හිත හදා ගැනීම අසීරු දෙයකි.

නමුත්, මම එය ජීවිතයේ දෙවරක් කර ඇත්තෙමි.

ඉන් පළමුවැනි අවස්ථාව එළැඹියේ ඕස්ට්‍රේලියාවේ දී ය. ඒ එවකට වික්ටෝරියා ප්‍රාන්තයේ බලයේ සිටි ජෙෆ් කෙනට් නම් ප්‍රමුඛ ඇමති තක්කඩියා එළවා දමන්නට 1999 දී කම්කරු පක්‍ෂයට ඡන්දය දුන් අවස්ථාවයි.

මේ ලිපිය ලියන්නේ ඒ ගැන විස්තර කීමට නොව, මට ලංකාවේ පැවති 1999 ජනාධිපතිවරණයේ දී දෙවෙනි වරට මගේ ප්‍රතිපත්තියක් ලිහිල් කර ඡන්දය පාවිච්චි කරන්නට සිදුවූ ආකාරය ලේඛනගත කිරීමටයි.

හොඳින් හිතා බැලුවොත් දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය නොදෙන මගේ ප්‍රතිපත්තිය මුල් වරට කැඩෙන්නට ඉඩ තිබුණේ 1994 පැවති ජනාධිපතිවරණයේ දී ය. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මට එවර ඡන්දය නොතිබුණි. එය වයසේ ප්‍රශ්නයක් නොව ග්‍රාමසේවක විසින් කළ සේවයකි.

කෙසේ වෙතත්, දාහත් වසරක යූඇම්පී පාලනය අවසාන කරන්නට අන්තිම ඇණය ගසන්නට එදා ඡන්දය නොදුන්නද, ඡන්ද ප්‍රතිඵල අසා උද්දාම වෙන්නටත්, ඒ කාලයේ දී ද කබල රත් කිරීමට ප්‍රසිද්ධියක් දැරූ සෝභිත සාදු ගේ නාග විහාරයට යෑමට අපේ නිවස ඉදිරිපිටන් ගිය චබකු ගේ වාහනයට අත වනන්නටත් මට හැකි විය.

ටික දිනකින් ම මම ලංකාවෙන් පිට වී ගියෙමි. සාමය ඇති කරන්නටත්, දුෂණය, භීෂණය සහ දාහත් වසක ශාපය නිම කරන්නටත් සිතා බහුතරයක් දෙනා ඡන්දය දී පත් කරගන්නා ලද ජනාධිපතිවරිය සහ ඇගේ රජය ටික ටික චොර වෙමින් පවතින බව අන්තර්ජාලය ඔස්සේ දැන ගන්නට ලැබුණි.

ඇල්ටීටීය ත්‍රිකුණාමලයේ නැව් පුපුරවා නැවත යුද්ධය ඇරඹූ අතර, තවක්කාල්, එයාලංකා වැනි නොයෙකුත් කටකතා පැතිරී යමින් තිබුණි. යම් යම් මාධ්‍ය සහ පුද්ගලික නිදහස මර්දනය කෙරෙන රාජ්‍ය ක්‍රියා පිළිබඳව ද අසන්නට ලැබුණි. විපක්‍ෂයේ සිටි යූඇම්පීය ටික ටික අළු ගසා දමා නැගිටමින් සිටියේය.

කොටින්ම මා 1999 දෙසැම්බරයේ ලංකාවෙට එන විට යූඇම්පීකාරයෙකු වූ අපේ තාත්තා "රාවය" පුවත් පතේ නිත්‍ය පාඨකයෙකු වී සිටියේ ය. සඟරාව කාලයේ සිටම වාගේ මුලින් පුස්තකාලවලින් ද, පසුව 1992 පමණ සිට මිල දී ගෙන ද, 1995 දී ලංකාවෙන් පිටව ගිය දින දක්වා ම, රාවය කියවමින් සිටි මට මගේ දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය.

ජනාධිපති ඡන්දය ලං විය. චුවින්ගම් සහ බ්‍රේස්ලට් කතා නිසා දෝ මහගෙදර මහතුංලා වැනි තරුණයෝ අලි රූප සහිත බතික් සරම් ඇඳගෙන ජනාධිපති ඡන්දය ගැනත්, සක්සුදක් සේ සහතික රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපති වීම ගැනත් උජාරුවෙන් කතා කළහ.

බුදු අම්මෝ!

මට සිහිවුනේ දාහත් අවුරුද්දක් තිස්සේ ජේ.ආර්, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඇතුළු යූඇම්පී නඩය විසින් ගෙන යනු ලැබූ දුර්දාන්ත පාලනය යි. දුෂණය යි. භීෂණය යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී, යූඇම්පී ආණ්ඩුවක් පත් වී ලංකාව නැවතත් ඒ තත්වයට යෑම ගැන සිතීම පවා එකල භයානක දෙයක් විය.

ඊට අමතරව, ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගත හැකි නම්, එසේ අපේක්‍ෂා කළ හැක්කේ වාමාංශික පක්‍ෂද ඇතුළත් ඒ පොදු පෙරමුණ යටතේ බවත් මම එකල විශ්වාස කළෙමි.

එනිසා, මගේ ප්‍රතිපත්ති මදකට ලිහිල් කර, විලිලැජ්ජාව නොතකා, ප්‍රතිගාමී ධනපති පක්‍ෂයක අපේක්‍ෂිකාවට ඡන්දය දීමට මා තීරණය කළෙමි. ඡන්දය දා උදේ පාන්දරින්ම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පෙරදා ගත් ඒ තීරණය ක්‍රියාවට නැංවීමි.

දෛවයේ සරදම් යන යෙදුම ලංකාව සඳහා ප්‍රදර්ශනය කරමින් සියල්ල කණපිට හැරෙන්නට වැඩි කල් ගත නොවීය.

මගේ අගැයීම් මිනුම්වලට අනුව පොදු පෙරමුණ තව තවත් දුෂණයෙන් දුෂණයට ගිය අතර, ඔවුන් ගෙනා සාම යෝජනා කඩාකප්පල් විය. උතුරේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් යෝජනා කෙරුණේ රනිල් වික්‍රමසිංහ ගේ රජයෙනි.

ඊළඟ ජනාධිපති ඡන්දයෙන් පසුව එදා 2009 දී පැවති තත්වය සහමුලින්ම කණපිට හැරුණි.

අපේ තාත්තා නම් තම ජීවිතයේ අවසන් වසරක කාලය දක්වා ම "රාවය" කියවීය.

-රසිකොලොජිස්ට්


(image: http://www.breakingnews.ie/world/obama-defeat-of-gun-control-bill-a-shameful-day-for-washington-591663.html)

අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother


වසර අනූ අටක් ආයු වළඳා මිය ගිය අපේ ආච්චී ගැන විටින් විට මතුවෙන මතකය මට රසිකොලොජි බ්ලොගය පුරවන්නට නිමිති රාශියක් ගෙන දෙයි.

වාසුදේව ගේ කටේ බ්රේක් නැති සිදුවීම නිසා මට ආච්චී ගැන මුලින් ම ලියන්නට ලැබුණි. ඊළඟට මා ලියූවේ ආච්චී ගේ දේශපාලන වීරයා ගැන කතාවයි.

අද උදේ හදිසියේ ම තවත් එවැනි කතාවක්, එහෙමත් නැතිනම් කතාවකින් කොටසක්, සිහියට ආවේය. පෙර කතා ද්වය සේම, මේ කතා කොටස ද දේශපාලනය හා සම්බන්ධ වෙයි. එයට හේතුව නම් මේ දිනවල පවතින මහ ඡන්ද උණුසුම බව කිව යුතු නැත.

කාලය 1970 මහ ඡන්ද සමයයි. සාමාන්‍යයෙන් ගමේ කඩේකින් එදිනෙදා පාරිභෝගික භාණ්ඩ මිළට ගන්නා අපේ ආච්චී එදා කුමක් හෝ වෙනස් හේතුවක් නිසා නිවසේ සිට කඩවත නගරයට ගොස් තිබුණි. ආපසු නිවසට ඒමට බස් රථයට ගොඩ නැගී සිටිනා විට, ඒ බසයට ගොඩ නැගී ඇත්තේ කවි පොත් විකුණන්නෙකි.

වෙළෙන්දා කවි පොතෙන් උපුටා දක්වමින් ගායනා කළ කවි අසා පැහැදුණු අපේ ආච්චී ශත පහක් දහයක් වැනි ඒ කාලයේ හැටියට ගැලපෙන මුදලක් ගෙවා එයින් පොතක් මිළට ගෙන ඇත.

නිවසට පැමිණි ආච්චී කවි පොත හඳුන්වා දී ඇත්තේ "කිරි අම්මලා ගේ දානේ ගෙවල්වල කියන හොඳ කවි පොතක් හම්බ වුණා!" කියමිනි.

පොත අතට ගෙන පිටු පෙරලා බැලූ නිවසේ අයට පෙනී ඇත්තේ මේ කිරි අම්මලා ගේ දානේ ගෙවල්වල කියන කවි පොතක් නොව එක්තරා අම්මා කෙනෙකු ගැන ලියවුණු කවි පොතක් බවයි.

ඒ පොතේ කවි ලිය වී තිබුණු අම්මා යනු එවකට සිරිලංකා එකේ, විරුද්ධ පක්‍ෂයේ සහ පසුව ඡන්දයෙන් ජයගෙන ආණ්ඩුව පිහිටවන්නට වරම් ලද සමසමාජ-කොමියුනිස්ට්-සිරිලංකා පක්‍ෂ එකමුතුව වූ සමගි පෙරමුණේ නායිකාව වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ය.

තමන් රැවටුණු බව අපේ ආච්චී දැනගෙන ඇත්තේ එවිටය.

තමන් ගේ දේශපාලන වීරයා වූ ජේ.ආර්. ජයවර්දෙන ගේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව පෙරලා බලයට එන්නට අර අඳින සිරිලංකා එකේ නායිකාව ගැන ලියවී තිබුණු ඒ කවි පොත කුණු ගොඩට විසි කර දමන්නට ආච්චීට බොහෝ විට අවශ්‍ය වෙන්නට ඇත.

නමුත් එය තවත් කාලයක් සුරැකී තිබුණු නිසා පසු කාලයක දී මට දෙතුන් වරක් කියවන්නට ලැබුණි.

අවාසනාවකට මෙන් මට ඉන් මතක ඇත්තේ කවි පද දෙකක් පමණි. එසේ නමුත්, එහි තිබූ අනෙක් කවි සියල්ලම මේ අච්චුවේ බවත් (එනම් කවිවල බොහෝ පද අම්මා යන්නෙන් අවසන් වෙන!) මතකයේ ඇත.

මෙන්න ඒ කවි කවි පද දෙක.

අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
වසර පහක් පාන් කකා අපි සිටියෙමු අම්මා


-රසිකොලොජිස්ට්

ප/ලි
ඒ කාලේ ගැයුණු තවත් කවියකින් මගේ මතකයේ ඇති පද දෙකක් මෙන්න.

අපේ අම්ම ලඟ එනවා
හාල් සේරු දෙක දෙනවා


වසර ගනනාවකට පසු ඒ කවි මෙලෙස වෙනස් විය.

සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිණිය ඔබ කියනව නම්
පිදුරු වුනත් අපි කන්නම්!



(image: http://www.ft.lk/2014/07/19/the-gracious-lady-creates-history/)

Saturday 8 August 2015

ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles


දේශපාලන ඡන්ද රැස්වීමවල කතා අතරට සින්දු යොදන්නට පටන් ගත්තේ අසූවේ දශකයේ පමණ යූඇම්පී මැයි දින වේදිකාවලට ඉන්දියානු ගායකයින් ඉම්පෝටර්ට් කරන්නට පටන් ගත් කාලයේ බව මගේ මතකයයයි.

මුලින් එක වේදිකාවේ ම සංගීත භාණ්ඩ කට්ටලය සෙට් කර අපට මාරුවෙන් මාරුවට ගායක, ගායිකාවන් ගේ ගීත ද, දේශපාලුවන් ගේ බයිලා ද අහන්නට සැලැස්වූ නමුත්, පසුව මේ සඳහා ද්විත්ව වේදිකා ද බිහිවිය. මෑත කාලයේ දී නම් දේශපාලුවන් ද ගීත කවි කරනවා ද විටින් විට ඇසුණි.

ප්‍රසිද්ධ ගීතවලට දේශපාලන අරුතක් එන ආකාරයට වෙනත් පද බැඳීමද අද ඊයේ ඇති වූ දෙයක් නොවේ. එසේ නමුත්, පසුගිය දින කිහිපය තුළ මා ෆේස්බුක් අවකාශයේ සැරිසරද්දී ඇස ගැටුණු එවැනි නව පදමාලා නිර්මාණ කිහිපයක් මගේ සිත ඇද ගත්තේය.

මේ පෝස්ටුව පල කරන්නට සිතුණේ මා රස විඳි ඒ ප්‍රතිනිර්මාණ කීපයක් බෙදා හදා ගන්නටයි. මේ නව පදමාලාවන්ගේ රචකයා ඉන්දික ගුණවර්ධන නම් වේ!

මෙන්න ඉන්දික ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුවෙන් ගීත කිහිපයක්.


ඇතුගල්පුර නුඹ ඉන්නා ඉසව්වේ
හොර නඩයක් කැරකෙනවලු නිදැල්ලේ
පච කෙළියට නොවැටී මං මුලාවේ
මැදමුලනෙව ගෙදර යවමු ඇසිල්ලේ

චීනුන්ගෙන් සල්ලි අරන් වියදම් කෙරුවාලූ
ගහපු ගැහිලි සිහිවෙනකොට උහුලන්නට බෑලූ
භාතීය සන්තුෂ් දම්මලා විගඩම් නැටුවාලූ
උන්ට ගෙවපු කෝටී ගණන් අපේ බදු සල්ලී ලූ

ආණ්ඩුවේ මැති ඇමතියෝ පෝසත් කෙරුවාලූ
කුඩු ගෙන්නන ලියුම් ගැහුවෙ අගමැති පඹයාලූ
බූරූවංශ ටොම් පචයා කොටි පෙන්නවාලූ
සෙල්ලම් දැම්මට මුලනෙට මෙදා ඇපත් නෑලූ


මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා
මුලනෙ නිසයි අපි කහින්නෙ තවත් කිච වෙලා

රටේ උපන් හොර හාදයා මැර හාදයා මුලනෙම හන්දා
ඇමති කමට කොමිස් වලට කව්රුත් ලොබ බැන්දා
පුංචි අපට කොමිස් කෑලී පගා කැලී ටුවර් කෑලී සෙට්වෙන හින්දා
මුලනේ අරන් අපි එනවට ඔබ කැමතිද මන්දා...

මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා....

අහල පහල ටොයියලාට අය්යලාට ගෙදර අයට පචයක් කෙලලා
මැද මුලනෙට ඡන්දෙ දෙන්න ඔබ එනවද මැණිකා...
උදේ හවස මීටිං වල ටීවී වල තැන්තැන්වල මම බෙරිහන් දෙන්නම්
මුලනේ එක්ක එකතුවෙලා රට ජාතිය කන්නම්

මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා...


මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රට කන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා

විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා...
හතර අතේ නඩු හබ මට තියනවා

මුලනේ හරිම මැර පාටයි...මහ මැතිවරණෙත් නා ගයි
විමලේ හරිම කටකාරයි... ප්ලග් ගලවන්නැති පාටයි
හෝ.... අතන මෙතන පන්සල්වල තඩි බේගල් අරිනවා
ඒ මදිවට උදේ හවා කොටි එන බව කියනවා...
විමලෙ නිකං බය්යා වගේ හොයන්නෙ රජ සැප තමයි
ඔහොම නිකං හිටියෝතින් අපි දෙන්නට බඩු තමයි...

මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රටකන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා
විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා...
හතර අතේ නඩු හබ මට තියනවා
මුලනේ හරිම මැර පාටයි.. මහ මැතිවරණෙත් නා ගයි
විමලේ හරිම පච පාටයි... රට කොටවන්නැති පාටයි..

හෝ.... ඉදින්න ඡන්දේ එනකං කරවන්නම් හොද වැඩක්
ගෙදර යන්නෙ මම විතරද උඹටත් දැන් නෑ ඇපත්
මම නෑ බයවෙන්නෙ මුලනෙ බයි රැළ මම ඇන්ඳුවා
බය්යෝ ආදරෙයිනේ මට මොනව කරත් මුළනෙලා...

මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රට කන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා
විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා
හතර අතේ නඩු හබ මට තියනවා


බන්ධුල කියපං උඹෙ නොම්මරේ
ඡන්දෙම දෙන්නම් අපි මේ සැරේ
කච පච ගෑවත් බොරු චක්කරේ
ජනතාව දන්නවා උඹෙ විස්තරේ

ජප බෝල මිරිකන මුලනේ මරා
අවුරුදු දහයක් රට කෑ හොරා
නාහෙන් ඇඩුවත් දැන් හොටු පෙරා
මේ පාර ඇප නැතිවෙනවා සිරා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

එන්න බයියෝ එන්න බය්යෝ සෙට්වෙලා
මෙන්න බයියෝ මෙන්න බයියො පච කතා
ගල් බාගේ අරන් යන්න - කෑම පැකට් අරන් යන්න
එන්න බයියෝ එන්න බයියෝ සෙට්වෙලා
එන්න බයියෝ එන්න බයියෝ හැඩවෙලා
දහඅට අපි එකට අඩමු හොටු පෙරා
ලෝකේ තියන හොඳම ජොලිය
වහල්ලුන්ගේ වහල් සොමිය
ගන්න බය්යො ගන්න බය්යෝ සෙට්වෙලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

විමලගෙ සද්දෙත් දැන් අඩුවෙලා
කොටි කොටි කිව්වත් නෑ කික් වෙලා
බැංකුවෙ ප්ලග් එක දැන් ගලවලා
පිටිපස්සෙ ගහගන්නකො කැරකිලා
චීනෙන් කොමිස් ගහපු මහ හොරා
තුප්පහි රැළ වටකරගෙන ජරා
ජාතිය ආගම රට කිර කිරා
දවසෙම ගිලදමනවා තලු මරා

මෙහමත් කෑදරේ..මෙහෙමත් කෑදරේ..මෙහෙමත් කෑදරේ..ටපර ටපං...

එන්න බයියෝ එන්න බය්යෝ සෙට්වෙලා
මෙන්න බයියෝ මෙන්න බයියො පච කතා
ගල් බාගේ අරන් යන්න - කෑම පැකට් අරන් යන්න
එන්න බයියෝ එන්න බයියෝ සෙට්වෙලා
එන්න බයියෝ එන්න බයියෝ හැඩවෙලා
දහඅට අපි එකට අඩමු හොටු පෙරා
ලෝකේ තියන හොඳම ජොලිය
වහල්ලුන්ගේ වහල් සොමිය
ගන්න බය්යො ගන්න බය්යෝ සෙට්වෙලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

එතනෝල්වලින් රට හොල්ලපු ඇමතිලා
කන්ටේනරෙන් කුඩු ගෙන්නපු දුමියලා
සුදු වාහනේ වට හතරක් කරකලා
නොමිලේ ටුවර්ස් එක්කන් ගියේ ගෝඨා ලා
ගෙම්බෙක් වගේ පැන පැන යන ගම්පිලා
සීය සීය එකතුකරලා කිච වෙලා
මේ ඡන්දෙන් ගෙදර ගිහින් පැරදිලා
නිවලා බොන්න හොදට වතුර නටවලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා


මම නම් ආසයි අහන්න ජැක්සන්
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
මම මහ රජු බව ගැඹුරු හඩින්...
අගමැති කම වත් නැත හිමි වෙන්නේ
මන්තී‍්‍රකමටයි මෙහෙම මැරෙන්නේ..

අරලිය මැදුරෙදි මුලින්ම දුටු දා
මගෙ කටු ලෙව කෑ රංගන ඇත්තා
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
වංශකතා කිව් මහදැන මුත්තා

මා දැන් මළකුණ ලෙස ද පෙනෙන්නේ....
පුරුදු ලෙසින් ඇයි කඩේ නොයන්නේ....

මම නම් ආසයි අහන්න ජැක්සන්....
මේ පොඩි කාලෙත් ඔහේ ගෙවෙද්දෙන්
මේ ඡන්දෙත් මා පැර දී යද්දෙන්
මැදමුලනෙට මා සීමා වෙද්දෙන්

කේ පී මුදලින් මා සැනසෙද්දෙන්
වාසියටම ඇයි ජැක්සක් උන්නේ....
ආයෙත් ඇවිදින් මට ම කහින්නේ....
මම නම් ආසයි අහන්න ජැක්සන්
ඉස්සර වාගේ ඔබේ මුවින්


මේ රචනා කියවූ මට ද එවැනි ප්‍රතිනිර්මාණයක් කරන්නට සිතක් පහළ වුණි. ඒ සඳහා මා දන්නා සිංහල සින්දුවලින් අඩුම වචන සංඛ්‍යාවක් ඇති ගීතය (දන්නවා නේද?) තෝරාගෙන උත්සාහයක් කළ ද එය බිහිවූ පදවැල එතරම් සාර්ථක එකක් නොවීය.

එයින් ම ඉන්දික ගුණවර්ධන ගේ හැකියාව මට සක් සුදක් සේ පැහැදිලි විය.

දේශපාලන මාතෘකා ගැන පබැඳුණු ඔබ දන්නා මෙවැනි ප්‍රතිනිර්මාණ තිබේ නම් කරුණාකර මෙහි ඒවා සටහන් කරන මෙන් (හෝ සබැඳි ලබාදෙන මෙන්) කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

ඉන්දික ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුව මෙන්න. එහි තවත් මෙවැනි ප්‍රතිනිර්මාණ රාශියක් තිබේ!
https://www.facebook.com/indika.gunawardena


(image: https://www.facebook.com/photo.php?fbid=10154001539194688&set=a.10151182676134688.548603.598564687)

Friday 7 August 2015

මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!


ලංකාවේ දේශපාලනයේ ඇති එක වරදක් නම් අවස්ථානෝචිතව සිතා බලා ඡන්දය පාවිච්චි කරන අයට වඩා මැරුවත් යූඇම්පී, මැරුවත් සිරිලංකා පිරිස් වැඩි වීමය යන අප බොහෝ දෙනෙකු එකඟවෙන සත්‍යය මම පෙර ලිපියක සඳහන් කළෙමි.

යූඇම්පීය පටන් ගන්නටත් පෙර තමන් ගේ ප්‍රදේශයේ මන්ත්‍රී වූ ජේ.ආර්. ජයවර්දෙන නිසා යූඇම්පී වූ මගේ ආච්චී මිය යන තුරුම තම දේශපාලන අන්ධභාවයෙන් මිදුණේ නැත.

ඇගේ කනිටු පුත්‍රයා වූ, ඇත්තටම අකාලයේ හදිසි මරණයකට ගොදුරු වූ, මගේ බාප්පා ද මේ ආකාරයේ මැරුවත් යූඇම්පී (නැතිනම් මැරුණත් යූඇම්පී) පුද්ගලයෙකු විය.

මා කුඩා දරුවෙකු වූ නිසා මගේ මතකයේ යාන්තම් එහෙන් මෙහෙන් පමණක් රැඳී තිබෙන 1970 මැතිවරණයේ දී මේ බාප්පා බැහැලා වැඩ කළේය. ඔහු ගේ වයස ඒ වෙන විට අවුරුදු විසි හයක් පමණ වෙන්නට ඇත. සාමාන්‍ය පෙළ යාන්තම් මෙන් සමත් වී තිබුණ ද හොඳ රැකියාවක් නම් නොතිබෙන්නට ඇත. ඔහු මිය ගොස් වසර ගණනාවකට පසු මා බාප්පා ගේ ලිපි ගොනුවක් පෙරළා බලද්දී දුටුවේ ජේ.ආර් ජයවර්දෙන, ඩඩ්ලි සේනානායක සහ ජිනදාස නියතපාල වැන්නවුන් ඔහුට දී තිබුණු චරිත සහතික කිහිපයකි.

බාප්පා පරකන්දෙණිය යූඇම්පී තරුණ සමිතියේ ලේකම් වැනි තරනතුරක් දැරූ බවට මතකයක් ද මට තිබේ. ඒ 1970 මැතිවරණයේ දී පරකන්දෙනියේ සමූපකාරය අසල පැවැත්වුණු අගමැති ඩඩ්ලි සේනානායක ද සහභාගී වූ ඡන්ද රැස්වීම සංවිධානය කෙරුණේ බාප්පා ගේ ඒ සමිතියෙනි.

කුඩා දරුවෙකු වූ මට ඒ රැස්වීම නරඹන්නට හෝ අගමැති ඩඩ්ලි සේනානායක දැකගන්නට හෝ අවස්ථාවක් නොලැබුණත්, ඒ රැස්වීම ගැන සුවිශේෂී මතකයන් දෙක තුනක් තවමත් මගේ සිතෙන් ගිලිහී ගොස් නැත.

මේ දිනවල බාප්පා සේවය කළේ කොළඹ පිහිටි ලිපි ද්‍රව්‍ය සපයන සමාගමක ගබඩා ලිපිකරුවෙකු ලෙස යැයි සිතමි. අප වැනි කුඩා දරුවන්ට මැජික් බඳු වූ විවිධ සුකුරුත්තං භාණ්ඩ ඔහු සතුව තිබුණි. අවාසනාවකට මෙන් මේ සියල්ල තිබුණේ අපේ ආච්චි ගේ මහ ගෙදර බාප්පා ජීවත් වූ ඉස්තෝප්පු කාමරයේ ලියන මේසයේ ය. එහි ඇති අවාසනාව නම් බාප්පා නිවසේ නැති කාලයේ ඒ කාමරය අගුළු දමා තිබීමයි!

මේ මැජික් භාණ්ඩ අතුරින් එකක් වූයේ ස්ටේප්ලරයකි. එයට යෙදුණේ තඹ පැහැති කටුය. මේ කාලයේ මේ ස්ටේප්ලර් නමැති භාණ්ඩය සාමාන්‍ය නිවසක හමුවෙන දෙයක් නොව සුඛෝපභෝගී ලයිස්තුවේ එකකි. කඩදාසි එකට තියා ගොනු කිරීමේ සාමාන්‍ය ක්‍රමය වූයේ අල්පෙනෙති හෝ ඒ නැති නම් පේපර් ක්ලිප් ගැසීමයි.

ඒ සමගම මගේ සිත දිනා ගත් තවත් ඒ ආකාරයේම දුර්ලභ සුඛෝපභෝගී භාණ්ඩයක් වූයේ සෙලෝටේප් රෝලයි. සෙලෝටේප් මැජික් දැක ඇති අයට කජු මැලියම් යනු නවදැලි හේනක වැඳිරියන් සිහි කරවන්නක් ම විය.

පරකන්දෙණිය යූඇම්පී රැස්වීම සඳහා ගොඩ නැගුණු වේදිකාව වටා ඩඩ්ලි සේනානායක ගේ ඡායාරූපය සහිත මුද්‍රිත පෝස්ටර් අලවන්නට බාප්පා මේ සෙලෝටේප් රෝල රැගෙන ගියේය. ආපසු නිවසට ආවේ එහි රිම් එක පමණි.

වේදිකා සැරසිලි සඳහා එලෙසම එහි රැගෙන යනු ලැබූ ස්ටේප්ලරය නම් යූඇම්පී වේදිකා සටන ජය ගෙන අපේ පවුලේ වස්තුවක් ලෙස චිරාත් කාලයක් වැජඹුණි.

එදා රැස්වීමේ ඩඩ්ලි සේනානායක කතා කරනවා අසන්ට ගිය අම්මා ආපසු පැමිණ තාත්තා සමග කීවේ වැඩි පිරිසක් එහි නොසිටි බවයි. බාප්පාට ද පරාජය නිසැක බව වැටහී තිබෙන්නට ඇත.

ඒත්, කැපුවත් යූඇම්පීකාරයින්, මැරුවත් යූඇම්පීකාරයින්, මැරණත් යූඇම්පීකාරයින්, තම රුධිරයේ වර්ණය ලේසියෙන් වෙනස් කර නො ගනිති!

මහ ඡන්දය දා රාත්‍රියේ මට හදිසියේ ඇහැරුණේ දුරින් ඇසුණු රතිඤ්ඤා ශබ්දයට බල්ලන් බුරන හඬ නිසා විය යුතුය. තාත්තාත්, අම්මාත් රේඩියෝව අසමින් සිටියහ. ඒ වන විට සිරිලංකා එක ප්‍රධාන සමගි පෙරමුණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර තිබූ ඡන්ද කොට්ඨාස සියල්ල ම පාහේ දිනාගෙන තිබුණි.

ස්වල්ප වේලාවකින් එතැනට පැමිණි බාප්පා තම දුක බේරෙන මුහුණින් යුතුව තාත්තාගෙන් විමසා සිටියේ, "ඔය පැතිවල සීට්ස් දිනා ගෙන ගියාට මේ පැතිවලින් අපිට අල්ලන්න පුළුවන් වේවි නේද?" කියායි.

"මේ යන විදියට නම් හිතන්න බෑ!" තාත්තා කියනු ද මට මතකය.

බාප්පා තමන් ලද පරාජයෙන් පසු බැස්සේ නැත. බාප්පා සහ ඔහුගේ කැපුවත් යූඇම්පී, මැරුවත් යූඇම්පීකම ගැන මට ඇති අවසාන මතකය 1974 වෙසක් උත්සවයයි.

ඔහු එදා නිවසේ බරාඳය සහ ඉදිරිපිට ප්‍රදේශය සැරසුවේ තනිකරම කොළ පැහැයෙනි. "අනා ගේ කඩෙන්" කොළ පැහැති බකට් ගෙන ඒමට මම ද උදව් වුණෙමි. කොළ පැහැ සව්කොළ කපා කොඩි වැල් එල්ලන ලදී.

අවාසනාවකට මෙන් අපේ නිවසේ විදුලිබලය නොතිබුණු නිසා ද, නිවස පිහිටියේ අක්කර පහක පමණ වත්තක් මැද බස් පාරෙන් සහ අන් නිවෙස්වලින් දුරින් නිසා ද, බාප්පා ගේ කොළ පාට වෙසක් කලාපය දැක්කේ අප කීප දෙනෙකු පමණි.

මේ කාලය වෙන විට පැවති සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු රජය කෙමෙන් කෙමන් මහජන අප්‍රසාදයට පත්වෙමින් තිබුණි. ඩඩ්ලි සේනානායක මිය ගිය පසු යූඇම්පියේ නායකයා වී සිටියේ ආච්චි ගේ වීරයා ජේආර් උන්නැහේ ය.

සමහර විට බාප්පා සිතන්නට ඇත්තේ ඊළඟ වසරේ 1975 දී මහ ඡන්දයක් පැවැත්වෙනු ඇතැයි කියා ය. නමුත්, එය 1977 දක්වා කල් දැමුණි. ඒ මැතිවරණය දකින්නට බාප්පා ජීවත් නොවී ය.

අන්තර් මස්තිෂ්ක රක්තපාතය හෙවත් මොළයේ නහරයක් පිපිරීම නිසා ඔහු මිය ගියේ 1974 සැප්තැම්බරයේ ය.

-රසිකොලොජිස්ට්

(image: http://planetbuddha.blogspot.com.au/2013/05/little-green-men.html)

Thursday 6 August 2015

අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox


ඡන්දෙට සති දෙකක්වත් නැත. ෆේස්බුක් අවකාශයේ, බ්ලොග් ලොවේ ඒ අත බැලුවත්, මේ අත බැලුවත්, පෙනෙන්නේ ඡන්දය ගැන කතන්දර ම ය. ඒ නිසා මගේ සිතට ද ඡන්ද කතන්දර එකක් පසුපස එකක් නැගේ.

මේ මා දන්නා පැරණිතම ඡන්ද කතන්දරයයි.

මගේ පිය පාර්ශවයේ මිත්තනිය හෙවත් ආච්චී ඉපදී ඇත්තේ 1903 දී ය. පසු කලෙක ඇස් දෙකේම සුද මතු වී ඇස් නොපෙනී යාම නිසා ඇගේ සිහිය මදක් වෙනස් වූව ද, ඇය 2001 වසරේ දී පරලොව ගියේ පුරා වසර අනූ අටකටත් වඩා ආයු වළඳා ය.

ඇය මා දන්නා කාලයේ සිටම යූඇම්පීකාරියකි. ආච්චී ගේ ලෝකයේ දේශපාලන වීරයා වූයේ වෙනිං කවුරුත් නොව ජේආර් යන සුරතල් නමින් අප දන්නා ජූනියස් රිචඩ් ජයවර්දෙන උන්නැහේ ය.

ජේආර් ඇත්තටම අපේ ආච්චී ගේ සමකාලිනකයෙකි. අපේ ආච්චීට වසර පහකට කලින් ජේආර් පරලොව ගිය ද ඔහු ඉපදී ඇත්තේ 1906 දී ය.

අපේ ආච්චී ජේආර්වාදියක වී ඇත්තේ ඇය යූඇම්පීකාරියක වෙන්නටත් කලිනි. ඒ ජේආර් 1943 දී කැලණිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස සේවය පත් වී සේවය කරන කාලයේ දී ය. පසු කලෙක ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අයත් වුවද, මහර ආසනය ආසන්නයේ ඇති පරකන්දෙණිය නම් වූ අපේ ගම මේ කියන කාලයේ අයිතිව තිබී ඇත්තේ කැලණිය මැතිවරණ කොට්ඨාසයටයි.

මේ ලංකාවේ නිදහසට පෙර සමයයි. එවකට තිබුණේ පාර්ලිමෙන්තුවක් නොවේ. ඉංගිරිසි ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වුණු රාජ්‍ය මන්ත්‍රණ සභාව නොහොත් ජන වදනින් කවුන්සලේ ය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණියේ මන්ත්‍රීවරයාව සිටි ඩීබී ජයතිලකව ඉන්දියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත්කළ නිසා (මෙය ඩීඑස් සේනානායක ලා ගේ දේශපාල කුමන්ත්‍රණයක් බව කියවේ!) හිස් වුණු ආසනය සඳහා 1943 දී පැවත්වුණු අතුරු මැතිවරණය ජයගෙන ඇත්තේ එවකට ලංකා ජාතික සංගමයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ජේආර් ය.

පාසල් අධ්‍යාපනය හොඳින් නිමවා සිටි අපේ ලොකු නැන්දා එවකට ගමේ ගොඩේ සාමාන්‍ය පවුලක අයෙකුට කළ හැකි එකම රජයේ රැකියාව වූ ගුරු පත්වීමක් බලාපොරොත්තුව සිට ඇත. නමුත් ඒ පත්වීමේ ලිපිය ඇයට නො ලැබුණි.

ඒ ගැන සොයා බැලූ අපේ ආච්චිට දැන ගන්නට ලැබී ඇත්තේ නැන්දා ගේ නම වූ සෝමාවතී නම ම ඇති වෙනත් තරුණියකට පත්වීමක් ලැබී ඇති බවයි. සිදු වී ඇත්තේ නම් මාරුවීමක් යැයි ඇයට වැටහී ඇත.

අපේ ආච්චී කර ඇත්තේ මේ ගැන කියන්නට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වූ ජේආර් ගේ කාර්යාලයට යෑමයි. කරුණු අසා බැලූ ජේආර් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ ගැන සොයා බලන ලෙස දන්වා ලිපියක් ලියා දී ඇත.

එයින් පසුව අවුල ලිහී නැන්දාට ඇයට හිමි ගුරු පත්වීම ලැබී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආච්චී ජේආර්වාදියක බවට පත් වී ඇත.

යූඇම්පිය පක්‍ෂයක් ලෙස පිහිටවා ඇත්තේ ඊට වසර කිහිපයකට පසු 1947 දී ය. එය ජේආර් ගේ දේශපාලන පක්‍ෂය නිසා අපේ ආච්චීත් යූඇම්පීකාරියක වී ඇත.

අපේ ආච්චී බිම වාඩි වී කුඩා වංගෙඩියක බුලත් විට කොටමින් මා පෙර කී ජේආර් හමුවීමට ගිය ගමන එහි නිධාන කතාව සමග කියන හැටි මට අදත් සිතින් මවාගත හැක.

ඒ හැම විටම ඇය දුක්මුසු හඬින් කියන තවත් එක් කතාවක් ද විය.

එය නම් 1943 දී ජේආර් කැලණිය ආසනය ජයගත් අතුරු මැතිවරණයේ දී, අපේ ආච්චී ඡන්දය දී ඇත්තේ ඔහුට නොවන බවයි. ඇගේ පියා ගේ ද, ඥාතීන් ගේ ද, ඇගේ ද ඡන්දය හිමි වී ඇත්තේ ජේආර්ට නොව ඔහු ගේ ප්‍රතිවාදියා වූ ඊ.ඩබ්ලිව් පෙරේරාට ය.

"පෙරේරා මහත්තයා තමයි සපත්තුව අස්සේ හංගාගෙන සුද්දෝ ලංකාවේ කරපු මිනීමැරුම් ගැන පෙත්සමක් එංගලන්තෙට ගෙනිහිං තියෙන්නේ, ඒකයි අපි ඒ මහත්තයාට ඡන්දේ දුන්නේ!" ආච්චී දුකෙන් පවසයි.

අපේ ආච්චිලා එලෙස කෙළෙහිගුණ සලකා ඊ.ඩබ්ලිව් පෙරේරාට ඡන්දය දුන්න ද, ඔහු පරාදා පහසුවෙන් ජයගන්නට ජේආර්ට හැකි වී ඇත. ඒ පෙරේරා ක්‍රිස්තියානි ආගමිකයෙකු වීම සහ ජේආර් බෞද්ධයෙකුවීම යන සත්‍යය ජේආර් නිසි පරිදි කළමනාකරණය කළ නිසා බව කියවේ.

-රසිකොලොජිස්ට්

(images: https://en.wikipedia.org/)