Friday 7 August 2015

මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!


ලංකාවේ දේශපාලනයේ ඇති එක වරදක් නම් අවස්ථානෝචිතව සිතා බලා ඡන්දය පාවිච්චි කරන අයට වඩා මැරුවත් යූඇම්පී, මැරුවත් සිරිලංකා පිරිස් වැඩි වීමය යන අප බොහෝ දෙනෙකු එකඟවෙන සත්‍යය මම පෙර ලිපියක සඳහන් කළෙමි.

යූඇම්පීය පටන් ගන්නටත් පෙර තමන් ගේ ප්‍රදේශයේ මන්ත්‍රී වූ ජේ.ආර්. ජයවර්දෙන නිසා යූඇම්පී වූ මගේ ආච්චී මිය යන තුරුම තම දේශපාලන අන්ධභාවයෙන් මිදුණේ නැත.

ඇගේ කනිටු පුත්‍රයා වූ, ඇත්තටම අකාලයේ හදිසි මරණයකට ගොදුරු වූ, මගේ බාප්පා ද මේ ආකාරයේ මැරුවත් යූඇම්පී (නැතිනම් මැරුණත් යූඇම්පී) පුද්ගලයෙකු විය.

මා කුඩා දරුවෙකු වූ නිසා මගේ මතකයේ යාන්තම් එහෙන් මෙහෙන් පමණක් රැඳී තිබෙන 1970 මැතිවරණයේ දී මේ බාප්පා බැහැලා වැඩ කළේය. ඔහු ගේ වයස ඒ වෙන විට අවුරුදු විසි හයක් පමණ වෙන්නට ඇත. සාමාන්‍ය පෙළ යාන්තම් මෙන් සමත් වී තිබුණ ද හොඳ රැකියාවක් නම් නොතිබෙන්නට ඇත. ඔහු මිය ගොස් වසර ගණනාවකට පසු මා බාප්පා ගේ ලිපි ගොනුවක් පෙරළා බලද්දී දුටුවේ ජේ.ආර් ජයවර්දෙන, ඩඩ්ලි සේනානායක සහ ජිනදාස නියතපාල වැන්නවුන් ඔහුට දී තිබුණු චරිත සහතික කිහිපයකි.

බාප්පා පරකන්දෙණිය යූඇම්පී තරුණ සමිතියේ ලේකම් වැනි තරනතුරක් දැරූ බවට මතකයක් ද මට තිබේ. ඒ 1970 මැතිවරණයේ දී පරකන්දෙනියේ සමූපකාරය අසල පැවැත්වුණු අගමැති ඩඩ්ලි සේනානායක ද සහභාගී වූ ඡන්ද රැස්වීම සංවිධානය කෙරුණේ බාප්පා ගේ ඒ සමිතියෙනි.

කුඩා දරුවෙකු වූ මට ඒ රැස්වීම නරඹන්නට හෝ අගමැති ඩඩ්ලි සේනානායක දැකගන්නට හෝ අවස්ථාවක් නොලැබුණත්, ඒ රැස්වීම ගැන සුවිශේෂී මතකයන් දෙක තුනක් තවමත් මගේ සිතෙන් ගිලිහී ගොස් නැත.

මේ දිනවල බාප්පා සේවය කළේ කොළඹ පිහිටි ලිපි ද්‍රව්‍ය සපයන සමාගමක ගබඩා ලිපිකරුවෙකු ලෙස යැයි සිතමි. අප වැනි කුඩා දරුවන්ට මැජික් බඳු වූ විවිධ සුකුරුත්තං භාණ්ඩ ඔහු සතුව තිබුණි. අවාසනාවකට මෙන් මේ සියල්ල තිබුණේ අපේ ආච්චි ගේ මහ ගෙදර බාප්පා ජීවත් වූ ඉස්තෝප්පු කාමරයේ ලියන මේසයේ ය. එහි ඇති අවාසනාව නම් බාප්පා නිවසේ නැති කාලයේ ඒ කාමරය අගුළු දමා තිබීමයි!

මේ මැජික් භාණ්ඩ අතුරින් එකක් වූයේ ස්ටේප්ලරයකි. එයට යෙදුණේ තඹ පැහැති කටුය. මේ කාලයේ මේ ස්ටේප්ලර් නමැති භාණ්ඩය සාමාන්‍ය නිවසක හමුවෙන දෙයක් නොව සුඛෝපභෝගී ලයිස්තුවේ එකකි. කඩදාසි එකට තියා ගොනු කිරීමේ සාමාන්‍ය ක්‍රමය වූයේ අල්පෙනෙති හෝ ඒ නැති නම් පේපර් ක්ලිප් ගැසීමයි.

ඒ සමගම මගේ සිත දිනා ගත් තවත් ඒ ආකාරයේම දුර්ලභ සුඛෝපභෝගී භාණ්ඩයක් වූයේ සෙලෝටේප් රෝලයි. සෙලෝටේප් මැජික් දැක ඇති අයට කජු මැලියම් යනු නවදැලි හේනක වැඳිරියන් සිහි කරවන්නක් ම විය.

පරකන්දෙණිය යූඇම්පී රැස්වීම සඳහා ගොඩ නැගුණු වේදිකාව වටා ඩඩ්ලි සේනානායක ගේ ඡායාරූපය සහිත මුද්‍රිත පෝස්ටර් අලවන්නට බාප්පා මේ සෙලෝටේප් රෝල රැගෙන ගියේය. ආපසු නිවසට ආවේ එහි රිම් එක පමණි.

වේදිකා සැරසිලි සඳහා එලෙසම එහි රැගෙන යනු ලැබූ ස්ටේප්ලරය නම් යූඇම්පී වේදිකා සටන ජය ගෙන අපේ පවුලේ වස්තුවක් ලෙස චිරාත් කාලයක් වැජඹුණි.

එදා රැස්වීමේ ඩඩ්ලි සේනානායක කතා කරනවා අසන්ට ගිය අම්මා ආපසු පැමිණ තාත්තා සමග කීවේ වැඩි පිරිසක් එහි නොසිටි බවයි. බාප්පාට ද පරාජය නිසැක බව වැටහී තිබෙන්නට ඇත.

ඒත්, කැපුවත් යූඇම්පීකාරයින්, මැරුවත් යූඇම්පීකාරයින්, මැරණත් යූඇම්පීකාරයින්, තම රුධිරයේ වර්ණය ලේසියෙන් වෙනස් කර නො ගනිති!

මහ ඡන්දය දා රාත්‍රියේ මට හදිසියේ ඇහැරුණේ දුරින් ඇසුණු රතිඤ්ඤා ශබ්දයට බල්ලන් බුරන හඬ නිසා විය යුතුය. තාත්තාත්, අම්මාත් රේඩියෝව අසමින් සිටියහ. ඒ වන විට සිරිලංකා එක ප්‍රධාන සමගි පෙරමුණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර තිබූ ඡන්ද කොට්ඨාස සියල්ල ම පාහේ දිනාගෙන තිබුණි.

ස්වල්ප වේලාවකින් එතැනට පැමිණි බාප්පා තම දුක බේරෙන මුහුණින් යුතුව තාත්තාගෙන් විමසා සිටියේ, "ඔය පැතිවල සීට්ස් දිනා ගෙන ගියාට මේ පැතිවලින් අපිට අල්ලන්න පුළුවන් වේවි නේද?" කියායි.

"මේ යන විදියට නම් හිතන්න බෑ!" තාත්තා කියනු ද මට මතකය.

බාප්පා තමන් ලද පරාජයෙන් පසු බැස්සේ නැත. බාප්පා සහ ඔහුගේ කැපුවත් යූඇම්පී, මැරුවත් යූඇම්පීකම ගැන මට ඇති අවසාන මතකය 1974 වෙසක් උත්සවයයි.

ඔහු එදා නිවසේ බරාඳය සහ ඉදිරිපිට ප්‍රදේශය සැරසුවේ තනිකරම කොළ පැහැයෙනි. "අනා ගේ කඩෙන්" කොළ පැහැති බකට් ගෙන ඒමට මම ද උදව් වුණෙමි. කොළ පැහැ සව්කොළ කපා කොඩි වැල් එල්ලන ලදී.

අවාසනාවකට මෙන් අපේ නිවසේ විදුලිබලය නොතිබුණු නිසා ද, නිවස පිහිටියේ අක්කර පහක පමණ වත්තක් මැද බස් පාරෙන් සහ අන් නිවෙස්වලින් දුරින් නිසා ද, බාප්පා ගේ කොළ පාට වෙසක් කලාපය දැක්කේ අප කීප දෙනෙකු පමණි.

මේ කාලය වෙන විට පැවති සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු රජය කෙමෙන් කෙමන් මහජන අප්‍රසාදයට පත්වෙමින් තිබුණි. ඩඩ්ලි සේනානායක මිය ගිය පසු යූඇම්පියේ නායකයා වී සිටියේ ආච්චි ගේ වීරයා ජේආර් උන්නැහේ ය.

සමහර විට බාප්පා සිතන්නට ඇත්තේ ඊළඟ වසරේ 1975 දී මහ ඡන්දයක් පැවැත්වෙනු ඇතැයි කියා ය. නමුත්, එය 1977 දක්වා කල් දැමුණි. ඒ මැතිවරණය දකින්නට බාප්පා ජීවත් නොවී ය.

අන්තර් මස්තිෂ්ක රක්තපාතය හෙවත් මොළයේ නහරයක් පිපිරීම නිසා ඔහු මිය ගියේ 1974 සැප්තැම්බරයේ ය.

-රසිකොලොජිස්ට්

(image: http://planetbuddha.blogspot.com.au/2013/05/little-green-men.html)

14 comments:

  1. අපේ තාත්තා කැපුවත් සිරිලංකා. ඒ හන්දා මාත් කැපුවත් සිරිලංකා. කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද? හිතන්න බලන්න මහන්සි වෙන්න දෙයක් නෑ. අපි කැපුවත් නිල්. ආන්න එහෙමයි අපේ වැඩ.

    - චතුෂ තුෂර කුමාර

    ReplyDelete
  2. අයිසේ රසික
    පවුලෙම ඉඳල තියෙන්නේ එක වල්ලේ පොල් වගේ මරිමෝඩ රැළක් නොවැ.

    බාප්පගේ නහරේ පුපුරන්න ඇත්තෙත් පරාජයේ වේදනාවට
    අමාරුවෙන් හරි ඉතුරු අවුරුදු දෙකත් ඇද්දනම් තව කාලයක් ඉන්න තිබ්බා. 17 අවුරුදු සාපෙ ගෙවෙනකල් හිතේ සතුටෙන් ඉන්න තිබ්බ නොවැ.

    ReplyDelete
  3. හැත්තෑ ගණන් වල අසූ ගණන් වල මරි මෝඩ මිනිහෙක් හිටිය නම් ඉතින් යූ ඇම් පී කාරයෙක්ම තමයි. සමසමාජ කාරයෙක් කොමියුනිස්ට් කාරයෙක් නම් නැති තැන 'පිස්සා' කියලා බැන්නට සමාජයේ ගෞරවයක් තිබුණා. අනෙක් අතට ඒ මිනිස්සු පොතක් පතක් කියවපු අය. සිරිලංකා කාරයින් ගැන ඒ තරමටම පැහැදීමක් නොතිබුණාට මිනිස්සු යූ ඇම් පී කාරයො තරමටම පහත දාල සැලකුවෙ නැහැ.

    අද වෙනකොට ඒ තත්වය සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා. අද මරි මෝඩ මිනිහෙක් නම් ඒ අනිවාර්යයෙන්ම සිරිලංකා කාරයෙක් විතරක් නෙවෙයි මහින්ද මහත්තයගෙ පුක ලොවින බයියෙක්. යූ එම් පී කාරයො ගොඩාක් ඉස්සරහට ඇවිත්. අද පත පොත කියවන්නෙ හිතලා මතලා චන්දෙ දාන්නෙ ඒ මිනිස්සු. ජෙප්පොත් නරකම නැති වුණාට අර පරණ සමසමාජ කොමියුනිස්ට් කාරයින්ගෙ මයිලක් වටින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මාත් හිතාගෙන ඉන්නෙ ඔහොමම තමයි. අඩු වශයෙන් මං වගේ හිතන තව එක්කෙනෙක් හරි (එක ඇනෝවෙක් හරි) ඉන්නව කියන එකත් ලොකු සතුටක්.
      ඒත් අපි (ඒ කියන්නෙ මායි ඇනෝවයි) හිතන විදිහ හරිද කියලත් මට දැන් හිතෙනවා.

      Delete
  4. අපරාදෙ .. බාප්ප 77 වෙනකල් හිටියනම්...

    ReplyDelete
  5. අන්තර් මස්තිෂ්ක රක්තපාතය ........... පොලිටිකල් වලට වඩා නම් ඒකත් හොදයි වගේ

    ReplyDelete
  6. ඒකත් රෙස්පෙක්ට් ලෙඩක් නේද?

    ReplyDelete
  7. බට්ටෝ නමින් හඳුන්වන තුන් හුලස් රතිඤ්ඤා ජාතිය මුලින්ම මං දැක්කෙ හැත්තෑව මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙනකොටයි. එදා අපේ පැත්තට ටිකක් වැහැල මිදුලුවල වතුර පිරිල එහෙමත් තිබුන. ඒත් බට්ටො රතිඤ්ඤා වතුරෙත් පත්තු වුනාද කොහෙද. සමසමාජ කාරයෙක් වූ අපේ තාත්තාත් සිරිලංකා කාරියක් වූ අපේ අම්මාත් මේ දිනුම ගැන සතුටු වුනා කියල මටනම් මතකයක් නෑ. කොහොමත් චන්දෙ පහු වෙලා මාස දෙක තුනක් යනකොටම තාත්තා සුපුරුදු පරිදි “ආණ්ඩුවට බැනීම“ පටන් ගත්තු බව මතකයි. හැත්තෑවෙ ජූනි 22 චන්දෙන් දිනල සිරිමාවොට සිද්ද වුනා හැත්තැ එකේ අප්‍රේල් 5 වෙනකොට කැරැල්ලට මුහුණ දෙන්න. ඊ ළඟට හැත්තෑ දෙක වෙනකොට ලංකාව ශ්‍රී ලංකා ජනරජය බවට පත් වුනානෙ. මේ වෙනස්කම් එච්චර වේගයකින් වුනේ කොහොමද කියල හිතාගන්නත් අමාරුයි.

    ReplyDelete
  8. මැරුවත් යූඇන්පි, කැපුවත් නිල්, කැපුවත් රතු එවුන් කටුගෙට ගිය කලට අපටත් කලක් යයි.

    ReplyDelete
  9. මටනම් කියන්ට තියෙන්නේ කවුරු කවුරුත් ඇත්තටම කැපුවොත් රතුපාට බවය...නැද්ද හා?

    ReplyDelete
  10. අවාසනාවට බාප්පාට මිස් වී ඇත්තේ යූඇම්පියේ ස්වර්ණමය යුගයයි. බාප්පාට ජේආර්ගේ ආණ්ඩුවේ හොඳම ටික මිස් වූවාට ජේආර්ගේ ආණ්ඩුවනම් මෙසේ මියගිය කැපුවත් යූඇම්පී බාප්පලාගේ හොඳම ටික මිස් කරගත්තේ නැත. ජේආර්ගේ ආණ්ඩුව එවැනි අයගේ ඡන්ද අයිතිය මියයාමෙන් පසුවත් හොඳින් තහවුරු කර තිබුණේය. අසූ දෙකේ කොල්වින්ගේ ඡන්දයත් ජේආර්ටම ලැබුණේ ඒ ගැන වූ පැහැදීම නිසාය. දැන් තත්ත්වය මීට වඩා හොඳයැයි සිතමි.

    ReplyDelete
  11. හැත්තෑ හතේ කොළ කොඩිය රටේම දානවා බලන්න බාප්පාට බැරි වුනා එහෙනම්.

    ReplyDelete
  12. යූ ඇන් පී කාරයෝ හොඳයි... හැබයි ටිකයි....

    අර උඩ ඉන්න ඇනෝවෙක් කිව්වා වගේ සිරි ලංකා කාරයෝ අම්බ බයියෝ...

    වෙන්න ඕන මක්කත් නෙමෙයි අවුරුදු පහෙන් පහට අළුත් සැට් එකක් එන එක....

    ReplyDelete
  13. පව් බාප්පා 😢😢

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.