Wednesday 30 March 2016

අපට කෙලවුනේ ඇයි? අපට වැරදුණු තැන් ගැන විස්තර අන් අය සමග බෙදා නොගත් නිසාය! - We effed ourselves


"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උත්සවයේ දී හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මානයෙන් පුද ලද W3Lanka රචක අජිත් පැරකුම් ජයසිංහ විසින් ඊට සතියකට පමණ පෙර ෆේස්බුක් අවකාශයේ පළ කළ සටහනක් නිසා ඇවිස්සුණු මතකයක් මෙලෙස බෙදා ගන්නට සිත්විය.

අජිත් පවසන අන්දමට, නම නොදන්නා මැවිසුරුවෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවකදී ඇසූ ඔබට ජීවිත ආදර්ශ පාඨයක් තිබේද යන ප්‍රශ්නයට ඒ පුද්ගලයා දී ඇති පිළිතුර වී ඇත්තේ හොඳ නම් නියමයි, නරක නම් ඒක අත්දැකීමක් (If it is good, it is great, when it is bad, it is an experience) ය කියාය.

මගේ මතකය අවදිවූයේ ඒ කියමන නිසාය.

අද ආවර්ජනය කරනා විට, මීට පරම්පරාවකට පමණ පෙර සිදුවූවා යැයි සිතෙන තරම් දුර කාලයක, මම මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ලියා පදිංචි වී යම් පර්යේෂණයක නිරත වී සිටියෙමි. මගේ අධීක්‍ෂකයා වූයේ කාර්මික සහ නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ආචාර්ය ඇන්ඩෘ වර්ත් ය.

මා පර්යේෂණයක් කළා යැයි කීවාට මේ විද්‍යාගාරයක සුදු කබායක් හැඳ, මුකවාඩමක් බැඳ කළ කර්තව්‍යයක් හෝ ඕවරෝලයක් හැඳ ආරක්‍ෂිත හිස් වැස්මක් පැළඳ කළ කර්තව්‍යයක් හෝ නොවේ. මගේ පර්යේෂණය පුස්තකාලයෙන් සහ අන්තර්ජාලය හරහා ලබාගත් පර්යේෂණ පත්‍රිකා සහ මුද්‍රිත පොත් කියවීමටත්, ඒ මගින් සහ ඇන්ඩෘ වර්ත් සමග කරන සාකච්ඡා හරහා ලබා ගන්නා දැනුම මත පදනම්ව නොයෙකුත් ගණිතමය ආකෘති ගොඩ නගා ඒවායේ ඵලදායීතාව පරිගණකයක C++ ප්‍රක්‍රමණ මගින් නීර්ණය කිරීමටත් සීමාවිය.

මෙසේ කාලය වසර දෙකක් පමණ ගෙවී යාමත් සමගම මම, පළමු වසර අවසානයේ පැවති මගේ වාචික පරීක්‍ෂණය සඳහා සම්පාදනය කළ වාර්තාවත්, එවකට කෙටුම්පත් කර තිබුණු පර්යේෂණ පත්‍රිකා ද්වයත් අනුසාරයෙන් මගේ ආචාරය උපාධි නිබන්ධනය ද එහෙන් මෙහෙන් ලිවීම ඇරඹූවෙමි.

මා පරිශීලනය කළ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් මා කළ එක් නිරීක්‍ෂණයක් වූයේ ඒ පත්‍රිකා අති බහුතරයක වාර්තා වී තිබුණේ සාර්ථක වූ පර්යේෂණ සහ ඒවායේ ආකර්ෂණීය ප්‍රතිඵල ගැන පමණක් බවයි. අසාර්ථක වූ ප්‍රයත්නයන් පිළිබඳව හෝ සිත කලකිරවන ප්‍රතිඵල ගැන හෝ සඳහනක් තිබුණේ නැති තරම් ය.

ෆේලියර්ස් ආ ද පිලර්ස් ඔෆ් සක්සස් හෙවත් වැරදීම් මත සාර්ථකත්වය ගොඩ නැගේ යනුවෙන් කියමනක් මා කුඩා කළ සිටම අසා තිබුණි.

මේ ලිපිය ආරම්භයේ සඳහන් කළ ෆේස්බුක් සටහනේ පැරා උපුටා දක්වා තිබුණු අදහස වූයේ හොඳ දෙයක් සිදුවූවොත් අගනේ ය. වැරදුනහොත් එය අත්දැකීමක් වේ ය යනුවෙනි.

ඒ අදහස සරල සත්‍යයක් වුවත්, මා මගේ උපාධි පර්යේෂණයේ අධීක්‍ෂක ආචාර්ය වර්ත් සමග ඒ දිනවල තර්ක කළ පරිදි, මෙහිදී අපට ඇති ප්‍රශ්නය නම්, අපට වැරදෙන තැන අපට පුද්ගලිකව වැදගත් අත්දැකීම් වූවත්, බොහෝ විට අප ඒ වැරදුණු තැන් ගැන පර්යේෂණ පත්‍රිකා ලිවීම කෙසේ වෙතත් අඩු තරමින් අන් අයෙකු සමග පුද්ගලික මට්ටමෙන් බෙදා හදා ගැනීමක් හෝ කරන්නට පෙළඹෙන්නේ නැති හෙයින්, එකම අත්දැකීම, එනම් වැරදීම, එකම පුද්ගලයාට දෙවතාවක් නොලැබුණේ වුවද, විවිධ පුද්ගලයිනට විවිධ අවස්ථාවලදී එකම අත්දැකීම ලැබෙන්නට ඇති ඉඩේ අඩුවක් නොවෙන බවයි.

ඒ දීර්ඝ වාක්‍යයේ තේරුම වෙනත් ආකාරයකට ලියනවා නම් මෙසේය.

අප අපට වෙන වැරදීම් ගැන තොරතුරු අන් අය සමග බෙදා ගන්නවා නම්, වෙනත් අයටද අපේ වැරදීමෙන් ප්‍රයෝජනයක් ගත හැකිය.

සමාජ ජාල හරහා, බ්ලොග් හරහා මෙන්ම පුද්ගලික මට්ටමෙන් ද ජිවිතයේ සාමාන්‍ය කාරණා පිළිබඳව මෙලෙස අත්දැකීම්, උගත් පාඩම් බෙදා ගැනීමක් සිදුවුණද, පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නම් මෙය සිදු නොවේ.

වැරදෙන පර්යේෂණ ගැන විස්තර පළ කරන්නට ඉඩ ලබා දෙන ජර්නල් ගැන මා නම් අසා නැත. ඒ ආකාරයේ අත්දැකීම්, උගත් පාඩම් ඒ ඒ ගුරුකුල කණ්ඩායම් අභ්‍යන්තරයේ නම් බෙදා හදා ගන්නවා විය හැක.

-රසිකොලොජිස්ට්

(image via http://researchimpact.files.wordpress.com)

Tuesday 29 March 2016

නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන - My highlights of the awards ceremony


නෙළුම් යාය උත්සවයට සහභාගී වෙන්නට මා තීරණය කළේ ඉතා හදිසියේ ය. ඒ තීරණයේ ආරම්භය වූයේ මා වෙනුවෙන් කිසිවෙකු මේ උත්සවයට සහභාගී කරන්නට හැකි දැයි ප්‍රධාන සංවිධායක විසින් එවන ලද පණිවිඩයකි. මට යම් කිසි ඉඟියක් එයින් ලැබුණි.

මුලින් ම මා සිතුවේ මා වෙනුවෙන් මගේ මව මේ උත්සවයට සහභාගී කරවන්නයි. මට යම් සම්මානයක් ලැබේනම් එය ඇය අතින් ලබා ගන්නට ඉඩ ලැබීම මගේ මවට ඉතා සතුටුදායක අවස්ථාවක් වෙනු ඇතැයි මම සිතුවෙමි.

මම ඒ බව ප්‍රධාන සංවිධායකට දන්වා යැවූයෙමි.

නමුත් පසුදින වෙන විට මට සිතුණේ, මේ සඳහා මම ම, මගේ මවත් සමග සහභාගී විය යුතු බවයි. ඒ මක් නිසාද යත්, මෙවැනි අවස්ථා ලේසියෙන් උදා නොවෙන ආකාරයේ ඒවා නිසාත්, පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ නිසාත්, එ නිසා ම, හෙටට වඩා අද හොඳ නිසාත් ය.

අප්‍රියෙල් මැද දෙසතියේ පාසල් නිවාඩු කාලය මැද පෙර සැලසුම් කළ චාරිකාවක් සඳහා රැකියා ස්ථානයෙන් දැනටමත් නිවාඩු රැගෙන ඇති නිසාත්, මා මේ දිනවල මගේ රාජකාරියට අමතරව කාර්යලායේ තවත් කටයුතු කිහිපයක් ම කළමනාකරණය කරන නිසාත්, දවස් පහක් නිවාඩු යොදා ගැනීම සඳහා දින ගණනාවක් ම උදේ රැයින් සේවයට ගොස් රාත්‍රිය උදාවෙනතුරු එහි රැඳී සිටිමින් සෑහෙන කට්ටක් කෑමටද සිදුවිය.
  • කෙසේ හෝ නියමිත වේලාවට දිනකට වඩා කලියෙන් ලංකාවට ළඟාවීමි.
  • මවත් සොහොයුරන් දෙදෙනාත් සමග උත්සවයට සහභාගී වීමි.
  • අදාළ සම්මානය ලබා ගත්තෙමි.
  • හදිසියේ ලැබුණු කැඳවීමක් නිසා, හිඩැස් පුරවන්නෙකු ලෙස සභාව ඇමතීමට ද සිදුවිය.
  • ඒ සමගම, සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදීමට ද හැකිවිය.
  • සියල්ල සතුටෙන් කෙළවර විය!
සියලු සම්මානලාභීන්ට සුබ පතමින්, මා මේ සැරසෙන්නේ මේ උත්සවය සම්බන්ධව මගේ සිතේ තැන්පත් වූ කරුණු කිහිපයක් සැකෙවින් ලියන්නටයි.


මා බ්ලොග් ලියන්නේ ඇයි ද, බ්ලොග් සටහන්වල මා දකින වටිනාකම කුමක්ද යන කරුණු මා මීට පෙර ලිපි දෙකකින් සාකච්ඡා කළෙමි. මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කළෝ ද, එහි බර ඇද්දෝ ද, බ්ලොග් ලියන්නෝ ම ය. තමන් ගේ බ්ලොග්කරනය පසෙක තබා අනුන් වෙනුවෙන් වෙහෙසුණු ඔවුන් සැමට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය.

සයිබරයේ නොව පොළොව මතුපිට කළ යුූතු දේ සයිබරය හරහා සංවිධානය කරන්නේ කෙලෙසද යන්න ගැන මේ සංවිධායකයින් ලද අත්දැකීම් අන් අය හා සමග බෙදා ගත යුතු යැයි අජිත් පැරකුම් ජයසිංහ යෝජනා කර තිබුණි. ටෙලි කොන්ෆරන්ස්, ස්කයිපි ගෘප් කෝල්ස් වැනි දේ තව දුරටත් අරුම දේ නොවෙතත්, ඒ ගැන ලිවීම වැදගත් වෙනු ඇත.


උත්සවයේ ප්‍රචාරය පිළිබඳව මා කළ එක් නිරීක්‍ෂණයක් නම්. මෙය සයිබර් මාධ්‍යයක් පිළිබඳව වූ වැඩපිළිවෙළක් වූ නිසාදෝ, සියලු ප්‍රචාර සයිබරයටම සීමා වී තිබුණු බවයි. කිසිදු පුවත්පතක හෝ වෙනත් අධිපති මාධ්‍යයක නෙළුම් යාය උත්සවය පිළිබඳව පෙර ප්‍රවෘත්තියක් නොතිබුණි. සමහරවිට එය සංවිධායකයින් නොසිතූ කරුණක් විය හැක.

කෙසේ වෙතත්, ඉරිදා දවසේ සෑම නාලිකාවකම පාහේ කරු ජයසූරිය ගේ කතාව සහ සම්මාන උළෙල ගැන තරමක විස්තරයක් ප්‍රචාරය වූ බව පෙනුණි!

බ්ලොග් යනු කවර නම් දෙයක්ද යන්න මහ ජනතාව අතරට තව දුරටත් ගෙන යාමට මෙවැනි ප්‍රචාර අත්‍යාවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.


මෙවැනි සාහිත්‍ය උත්සවයක අනිවාර්යෙන් ම තිබිය යුතු අංගයක් වෙන විද්වත් දේශනය මෙහිදී පැවත්වුණේ සාකච්ඡාවක් ලෙසයි. එහිදී ආරාධිත සම්පත් දායකයින් දෙදෙනා වූ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ දෙදෙනා, සභාවේ නිවේදක කටයුතු මෙහෙය වූ ප්‍රදීප් අනුරාධ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මනා අදහස් රැසක් ඉදිරිපත් කළහ. එහිදී විශේෂයෙන් නාලක විසින් පවසන්නට යෙදුණු අදහසක් කිහිපයක්ම මගේ පෞද්ගලික අදහස් සමග සමපාත විය.

එහිදී සිදුවූ එකම වරද ලෙස මා දකින්නේ ප්‍රගීත් විසින් නාලක සහ අජිත් ඇමතීමට මහතා යන ආමන්ත්‍රණය යොදා ගැනීමයි. එය නාලක පැවසූ අධිපතිවාදය සහ සමාජ සංස්කෘතිමය සීමාවන් වැනි කරුණුවලට එවෙලේම සැපයුණු අගනා උදාහරණයක් ලෙස පෙනුණි.

මට ඒ සම්බන්ධයෙන් එවෙලේ ම අදහසක් පළ කළ යුතු බව සිතුනත්, ඒ සඳහා ප්‍රගීත් ගේ අවධානය යොමු කරවා ගැනීමට මට අත ඉහළට එසවීම තුළින් පමණක් ඉඩ නොලැබුණි.

මට කියන්නට අවශ්‍ය වූයේ එකම සාකච්ඡාවට සහභාගී වෙන අයගෙන් එකෙකු අන් දෙදෙනාට මහතා යැයි ඇමතීම වෘත්තීමය නොවන හැසිරීමක් බවයි. මේ වෙන විට ප්‍රගීත් අනුරාධ එය දනී.


ඒ කතාවම තව දුරටත් සනාථ වෙන ආකාරයේ කතාවක් මට එදින රාත්‍රීයේ දී අසන්නට ලැබුණි.

මා සමග කතා කළ එක් සහෘද බ්ලොග්කරුවෙකු පැවසුවේ, "රසික එක්ක, පැරා එක්ක හෙම කතා කරන්නට අවශ්‍යතාවය තිබුණු අය ගොඩක් හිටියා, ඒත් ඒ සමහරු ළඟට ආවේ නෑ බයට වගේ!" කියායි.

උත්සවයේ දී මා ලද සතුටෙන් අඩක්ම ඒ කතාව අසා වාෂ්ප වී ගියේය. ඒ වදන්වලින් සහෘද බ්ලොග්කරුවා අදහස් කළේ යම් සබකෝලයක් හෝ ලජ්ජාවක් හෝ නම් කමක් නැත. ඔහු ගේ වචනවලින් කියවුණේ එක්තරා ආකාරයක භයපක්‍ෂපාතකමක් ගැනයි.

වයසෙන් පරම්පරා දෙකකට අයත් වුණද, සමාන තලයක සමාන කර්ව්‍යයක නිරතවෙන අපි සැම සමානයෝ වෙමුය යන්න මගේ අදහසයි. ඒ කියූ ආකාරයේ තත්වයක් ඇතියැයි මා සිහිනෙකින් හෝ නොසිතුවෙමි.


ඒ සමගම මගේ කනගාටුව දෙගුණ කරවමින් මට සිහිවුනේ, මා මීට කලින් සහභාගී වුණු මේ ආකාරයේ අවස්ථාවලදී, මා පුරුද්දක් ලෙසට මගේ බ්ලොගයේ නම රැගත් කාඩ් එකද බෙදමින් හැකි සැමදෙනා සමගම කතා බහ කළ නමුත්, අද මට එය එලෙස කළ නොහැකි වූ බවයි.

මට අතපසු වූ අනෙක් වැදගත් කාර්යය වූයේ සහෘද බ්ලොග්කරුවන් සමග ඡායාරූප ගැනීමයි. වාසනාවකට මෙන් නාලක ගුණවර්ධනට එය අමතක නොවිණි.


උත්සවයේ මා සම්මානය ලබා ගත් මොහොතේ දී මා කළ එක් වැදගත් කාර්යයක් වූයේ මගේ රසිකොලොජි කාඩ් එකේ පිටපතක් කතානායක කරු ජයසූරියට දීමයි. මා එය දෙන්නට යද්දී, ඔහු සිතුවේ ඒ මගේ බිස්නස් කාඩ් එකක් බවයි. "මා ළඟ සාක්කුව පුරෝලා කාඩ් තියෙනවා" යැයි කරු කීවද, මා ඉන් පසුබට නොවී "මේක මගේ බ්ලොග් එකේ කාඩ් එක" යැයි කියා එය කැමරාවලට පෙනෙන්නට හරවා එය බාර නොගෙන සිටීමට නොහැකි තත්වයක් උදා කර ජය ගත්තෙමි.

පහත දැක්වෙන්නේ මා පසුගිය වසරේ මුද්‍රණය කළ බිස්නස් කාඩ් දෙවර්ගයයි. කරු ජයසූරියට දුන්නේ මෙයින් එකකි.

පසුදින ඥාති නිවසක සිටියදී මට කිවිසුම් දෙකක් එක පිට ගිය විට, "කවුරු හරි අයියාව මතක් කරනවා!" යැයි මගේ නෑනන්ඩිය පැවසුවාය.

"මං ඊයේ කතානායකට මගේ රසිකොලොජියේ කාඩ් එකක් දුන්නා, පොර මගේ බ්ලොග් එක කියවනවා වෙන්න ඇති!" මම කීවෙමි.

මගේ කිවිසුමේ හඬ ඇසුණු නමුත් මගේ පිළිතුර නොඇසුණු මගේ මව එවිට පැවසූවේ "මටත් අද කිඹුහුම් දෙක තුනක් ම ගියා!" කියායි.

කරු ජයසූරිය මගේ බ්ලොගය කියවන බව මට එවෙලේ සක්සුදක් සේ පැහැදිලි විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
උත්සවය රසවත් කළ ගීත කිහිපයද රස වින්නෙමි. නමුත් අප දුටු කොමඩිය සහ කෙටි නාටකය ගැණ වචනයක් ලිවිය යුතුමය.

කලින් අසා තිබුණු විහිළු තහළු කෑලි රැසක එකතුවක් වූ කොමඩියෙන් මගේ සිත් ගත් කොටස වූයේ 138 බසයේ කතාවයි. දිනකට පසුවද, හයිලෙවල් මාර්ගයේ යද්දී මට එය සිහිවී සිනා නැගුණි.

"ආණ්ඩුවේ රස්සාවක්" කෙටි නාටකය නම් අතිශය සාර්ධක එකක් විය. කතා තේමාව සහ දෙබස් මෙන්ම, අගනා රඟපෑමෙන් ද ඔප් නැංවුණු ඒ නිර්මාණය නාට්‍යයක තිබිය යුතු අන් සෑම ගුණයකින්ම ඉහළ ප්‍රමිතියක තිබුණු එකක් විය. ඒ තරුණ නිළිය ලොබියේ දී හමුවී ඇයට ප්‍රශංසා කිරීමට ඉඩ ලැබීමද භාග්‍යයක්ම විය.


(Photos: LankaENews & Manori Wijesekera)

Saturday 26 March 2016

සියපත සුවඳමය - Bloggers blog blogs.....!!!

කවි, කෙටිකතා හෝ වෙනත් ආකාරයක නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනෙකු ගේ මූලික අවශ්‍යතාවක් වනුයේ ඒ නිර්මාණ අන් අය සමග බෙදා ගැනීමයි. ඒසේත් නැතිනම්, තමන් ලියූ දේ අනුන් කියවා රස විඳිනු දැකීමයි.

ඒ නිර්මාණයක් ගැන ප්‍රතිචාරයක් අසන්නට ලැබීම නම් මෙලොවේ නොමැති ආකාරයේ දිව්‍යලෝක සැපතකි.

කොටින්ම, තුන්වෙනි ශ්‍රේණියේ දී මා මුහුදු වෙරළ නමින් කුඩා කවියක් ලියූ සැනින් ම මට සිතුණේ එය මිහිර පත්තරයට තැපැල් කරන්නටයි. අම්මා, තාත්තා, වෙනත් ඥාතියෙකු, හේමවතී ටීචර් හෝ පන්තියේ සිසුවෙකු ඒ කවිය කියවන්නට පෙර එය දුටුවේ ලේක් හවුසියේ සේවය කළ පත්තරකාරයෙකි. ඒ කවිය මිහිර පත්‍රයේ පළවී තිබෙනු දැකීම මට ගෙන දුන්නේ ඉමහත් සතුටකි.

පසු කලෙක, වයස දාසයයි මාසයේ දී, ගනේමුල්ල-මරදාන කෝච්චි ගමන් අතරතුර පහළ වුණු කවි සිතුවිලි අකුරු වී යොවුන් ජනතා නම් සඟරාමය සතිපතා පුවත් පතට විටින් විට යොමු විය. කුඩා කළ මා ලියූ මුල් කවියම මිහිර පත්තරේ පළවීම ලොතරැයි දිනුමක් ඇදීමක් තරමේ අති දුර්ලභ සිදුවීමක් බව මට වැටහුණේ "යොවුන් ජනතා" සඟරාවට යොමු කළ කවි නිසාය.

තුන් වසරක පමණ කාලයක් තිස්සේ මා ලියූ කවි සිය ගණන අතුරින් තෝරා ගත් විසි පහක් පමණ විටින් විට යොවුන් ජනතාවට යොමු කළ ද, එහි පල වුණේ පහක් හෝ හයක් පමණි.

මේ ආකාරයට තම නිර්මාණ සිතු ආකාරයට පළ කරවා ගැනීමට නොහැකිවීම, මට පමණක්, එදා පමණක් සිදුවූ දෙයක් හෝ සිදුවෙන්නක් හෝ නොවේ. සීමිත සම්පතක් වන පුවත්පත් පිටුවක වපසරිය භාවිතා කළ යුත්තේ උපරිම ඵලදායීතාවයෙන් නිසා, එය එලෙස ඒ ආකාරයට සිදුවීම බලාපොරොත්තු විය යුත්තකි.

නමුත්, තම නිර්මාණ අන් අයට පෙන්වීමට නිර්මාණකරුවන් තුළ ඇති අවශ්‍යතාවය එලෙසම ය.

එසේම, සඟරාවක උප කතුවරයෙකුගේ තේරීම්වලින් සෑහීමකට පත්වීම නොව, රසිකයින් වශයෙන්, තමන් කැමති වීමට ඉඩ ඇති සියලු නිර්මාණ දැක ඇගයීමට පාඨකයින්ට ඇති අවශ්‍යතාවය ද එලෙසම ය.

මේ අවශ්‍යතා ද්වය එකිනෙක ගැටී එකිනෙක සංතර්පණය කෙරෙන අවකාශය බ්ලොග් ලොව යැයි මම සිතමි.

බ්ලොග් අවකාශයේ දී, රචකයින් වශයෙන් අපට, යම් යම් මූලික සීමාවන්ට යටත්ව, අප රිසි දෙයක්, අප රිසි පරිදි ලියා ප්‍රකාශයට පත් කළ හැක.

එසේම, බ්ලොග් අවකාශයේ දී, පාඨකයින් වශයෙන් අපට, අප කැමති දෙයක්, කැමති පමණින් කියවා රස විඳිය හැක.

රචකයින් ගේ ලේඛන කෞශල්‍යය පාඨකයින් ගේ රසිකත්වය හා ගලපන්නට අතරමැදි සඟරා සංස්කාරකවරුන් අවශ්‍ය නැත.

ප්‍රකාශන මාධ්‍යයක් ලෙස බ්ලොග් අවකාශයේ ඇති වැදගත්කම එය බවට වෙනත් තර්ක අවශ්‍ය නොවේ.

බ්ලොග් අවකාශය යනු රිසි පරිදි නෙළුම් පිපෙන, රිසි පරිදි නෙළුම් නෙලා ගැනීමට හැකි, නෙළුම් යායක් ලෙස පෙනේ නම් ඒ ඒ නිසා ය.

ඒ නෙළුම් යායේ සුවඳ විඳ ගන්නට මම ද අද හවස කිරුලපනට එමි!

ඒ මා සහිත ගුවන් යානය ඊයේ නිසි වේලාවට ලංකාවට පැමිණියා නම් ය.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

Thursday 24 March 2016

මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol


බ්ලොග් ලෝකයට පිවිස වසර එකොළහක් පිරීමට ඔන්න මෙන්න කියා තිබියදී මා බ්ලොග් ලියන්නේ ඇයි යන මාතෘකාව ඔස්සේ මේ සටහන ලියන්නට හිතුණේ කියවන ඔබට කෙසේ වෙතත් මට නම් එයින් කිසියම් හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතුණු නිසාය.

වසර එකොළහකට පෙර මා පෙම් ගී බ්ලොගය ඇරඹූ කාලයේ සිංහල අකුරු ලෙස අන්තර්ජාලයේ තිබුණේ එවකට දිවයින පුවත්පතේ අන්තර්ජාල පිටපත නිමවුණු කපුටා අකුරු පෙළ පමණි. ඒ අකුරු යතුරුලියනය කිරීමට ඉගෙනීම ඉතා පහසු වූයේ සාමාන්‍ය ඉංග්ලිෂ් යතුරු පුවරුව උපයෝගී කරගෙන සිංග්ලිෂ් ආකාරයට අකුරු ගලපා වචන සාදාගත හැකි වූ හෙයිනි.

ඇත්තටම මා තාමත් ලිපි ලිවීම සඳහා භාවිතා කරන්නේ ද ඒ එදා පාවිච්චි කළ කපුටා අකුරු පෙළ ය. හිතේ ඇති වචන අකුරු ලෙස පරිගණකයට ඇතුළත් කර, එය දෙතුන් වරක් කියවා සංස්කරණය කළ පසු, ලිපිය යුනිකෝඩ් බවට පෙරළා බ්ලොගයේ පළ කරමි. සන්නස වැනි සඟරා සඳහා ලියන ලිපිවල අවසාන පිටපත සැකසෙන්නේ අභය නම් ෆොන්ට් මාස්ටර් අකුරෙනි.

කෙසේ වෙතත්, එකොළොස් වසටකට පෙර ඒ කාලයේ වෙබ් බ්‍රව්සර් මගින් සිංහල අකුරු කියවීමට හැකියාව තිබුණු අය සිටියේ ඉතා අඩුවෙන් නිසා මා වැඩි හොඳට කළේ මගේ පෙම් ගී කපුටා හෝ ෆොන්ට් මාස්ටර් අකුරෙන් සකසා ඒවා රූප ආකාරයට පෙම් ගී බ්ලොගයේ පළ කිරීමයි.

මුල් මාස දෙක තුන තුළ ඒ ආකාරයට පෙම් ගී විසි පහක් පළ කිරීමෙන් පසු මා කළේ, ගමේ පාරක් අයිනේ සිල්ලර කඩයක් ඇරඹූ නවක මුදලාලියෙකු ගනුදෙනුකරුවෙකු පාර දිගේ එනතුරු බලා සිටින්නාක් සේ, කඩේ ලෑලි කිහිපයක් ඇරගෙන, කල් මැරීමයි.

ඒ මුල් කාලයේ මගේ බ්ලොග් කෙරුවාවයි. තනිකර මගේ සිතේ සතුට පිණිස ය.

පසු කලෙක, යුනිකෝඩ් අකුරෙන් පිරි සිංහල සටහන් එහෙන් මෙහන් මතු වෙමින් අපේ ඇස්වල අනින්න පටන් ගත් පසු, මගේ සිතේ කාලයක් තිස්සේ හිරවී පැවතුණු විවිධාකාරයේ කතා ලියා බ්ලොගයක පළ කරන්නට අදහසක් හදිසියේ ම මෙන් ඇති විය.

අන්වර්ථ නමකින් 2009 මැද භාගයේ දී ඇරඹූ ඒ බ්ලොගයේ සරල බසින් ලියවුණු අනං-මනං මෙන්ම විවිධාකාරයේ කාලීන මෙන්ම යටගිය දවස ප්‍රස්තූත පිළිබඳව මගේ මතිමතාන්තර ද පළ කරන්නට මට හැකිවිය.

විනෝදය මෙන්ම ආත්ම තෘප්තියක් ද ගෙන දුන් ඒ දෙවෙනි බ්ලොගය තරමක් සාර්ථක වූවා යැයි සිතමි.

එසේම, සිංහල ප්‍රකාශන ක්‍ෂේත්‍රයට නව මානයක් වූ බ්ලොග්කරනය පිළිබඳව විවිධාකාරයේ අත්හදාබැලීම් කරන්නටත්, ඊට අමතරව, විවිධාකාර සයිබර් මිතුරන් පිරිසක් හඳුනා ගැනීමටත් මට ඒ බ්ලොගය හරහා හැකි වීම වැදගත් කරුණු වේ.

එසේ නමුදු, ඒ බ්ලොගය සම්බන්ධයෙන් මා මටම පනවා ගෙන තිබූ නීති කිහිපයක් නිසා මට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කීම තරමක් දුරට දුෂ්කර කාර්යයක් විය.

පුරා වසර පහක තිස්සේ පිස්සු හැදුණාක් සේ කළ සිංහල බ්ලොග්කරනයෙන් මද නිවාඩුවක් ගෙන, අලුත් පාසලේ, අලුත් සිසුවෙකු සේ රසිකොලොජිය ඇරඹූවේ දේශ සීමාවලට මැදි නොවී මට අවශ්‍ය සියලුම දේ මට අවශ්‍ය පරිදි ලියන්නටයි.

අද මට බ්ලොග් ලිපි ලිවීමෙන් සරල වින්දනයත්, මගේ මතිමතාන්තර බ්ලොගය හරහා බෙදා හැරීමෙන් ලැබෙන ආත්ම තෘප්තියත්, මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාව ගැන සහ මා ගැන පොදු රසයක් ලැබේයැයි සිතෙන ආකාරයේ තොරතුරු ලිවීමේ නිදහසත් මට ඇත.

ඉදින්, මම දිගටම බ්ලොග් කරන්නට අදහස් කරමි.

නොකර ඉන්නේ ඇයි?

ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: http://getmewallpapers.blogspot.com.au/2013/05/long-road.html)

Tuesday 22 March 2016

එන්න සූරාලා බලන්න, සූරාලා බලන්න! - Scratchies


මා කුඩා කාලයේ දී මගේ පියා එවකට මාස්පතා දිනුම් අදිනු ලැබූ ජාතික සම්පත නම් ලොතරැයිය මිලට ගත්තේය. ඒ එක් ටිකට්පතක වටිනාකම රුපියලක් විය. ප්‍රථම ත්‍යාගය වූයේ රුපියල් ලක්‍ෂයක් හෝ මෝටර් රථයක් සහ ඉතුරු මුදල් ය.

සතිපතා දිනුම් අදින ශත පනහක වටිනාකමින් යුතු ලොතරැයියක් ද විය. එහි නම මහජන සම්පත යැයි සිතමි.

ඉඳහිට රීප්පයක, ටින්ටස් ඇණවලින් ලොතරුයි කිහිපයක් රඳවාගත් මිනිසෙකු මග තොටේ දී හමුවුණද, ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක රථයක් ගනේමුල්ලට මසකට වරක් පමණ පැමිණියේ වුවද, ඒ ලොතරැයි යනු ජන ජීවිතය හා එතරම් බැඳුණු ප්‍රංචයක් නොවීය.

සියල්ල වෙනස් වූයේ අසූවේ දශකයේ මුල් කාලයේ දී සංවර්ධන ලොතරැයිය හෙවත් හූරණ ලොතරුයි ලංකාවට හඳුන්වා දීමත් සමගය.

විවෘත ආර්ථිකය සමගම අත්වැල් බැඳගෙන සමාජගත වූ, නොනිමෙන පරිභෝජන අවශ්‍යතාවය, උද්ධමනය, මුදලට ඇති ආශාව වැනි දේ නිසාත්, ඒ සියල්ලටමත් වඩා, මෙකී හූරණ ලොතරැයියක දිනුමක් වේදැයි දැන ගැනීමට දින ගණනක් සිටීමට අවශ්‍ය නොවීමත්, දිනුමක් ලද විට එය ක්‍ෂණයකින් ලබා ගත හැකි වීමත් හේතුවෙන් සංවර්ධන ලොතරැයි ඉතා ඉක්මනින්ම ලංකාවේ ජන ජීවිතයේ කොටසක් බවට පත් විය.

අඩු ආදායම් ලබන ජනතාවට පැනවූ වක්‍ර බද්දක් බඳු වූ සංවර්ධන ලොතරැයිය ලංකාවේ ආරම්භයේ දී සම්බන්ධව සිටි අයෙකු ලෙස මගේ මතකයට එන්නේ එවකට අමුම අමු යූඇම්පීකාරයෙකු වූ තිලක් රත්නාකර නම් ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල දේශකයා ය.

සඟරා කතුවරියක් වූ ශ්‍රියා රත්නාකර ගේ සැමියා වූ තිලක් මා දන්නා ආකාරයට වඩාත් ප්‍රසිද්ධ වූයේ 1977 දී එතෙක් පැවති සිරිලංකා ආණ්ඩුව පැරදවීම සඳහා ඉහළ සම්මාදමක් ලබා දුන් හත් වසක ශාපය නම් මඩ පොත් මාලාව සම්පාදනය කළ තැනැත්තා ලෙසට ය.

ජේ.ආර්. ගේ මුල් ආණ්ඩුව කාලේ, පෙර නොවූ විරූ ආකාරයට බඩු මිල ඉහළ ගොස් අඩු ආදායම් ජනතාව ආර්ථික පීඩනයට පත් වූ සමයේ, රුපියලේ අගය අඩු වී ඇති බවට විපක්‍ෂයෙන් නැගෙන චෝදනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින්, එදත් රුපියලට ශත සීයයි, අදත් රුපියලට ශත සීයයි, එනිසා රුපියල බාල්දු වී නැත යන කූප්‍රකට ඉකොනොමැටි න්‍යායය ගෙන ආවේ ද ඔහු ය.

සුනිල් අංකල් ලියා, නන්දා නැන්දා ගැයූ සමාධි බුදු පිළිමයේ නෙතින් කඳුළු වැගිරෙනවාය වැනි අරුතක් තිබුණු ගීතයට විරුද්ධව විචාරයක් ලියමින්, සුනිල් ලිවිය යුත්තේ සහ නන්දා ගායනා කළ යුත්තේ වික්ටෝරියා බැම්මේ ඩබල්-ආච් නිමැවුම වැනි දේ ගැනය කියා කීවේ ද ඔහුය.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙසද කටයුතු කලක් සේවය කර ඇති ඔහු රජයේ සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුව, පසුගිය දිනවල මාධ්‍ය හරහා ජනප්‍ර්‍රිය වුණු, සී ෂෙල්ස් නම් රාජ්‍යයේ ආර්ථික උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටියදී මිය පරලොව ගිය බව ආරංචි විය.

මේ හූරණ ලොතරැයි සංකල්පය අගමැති ර. ප්‍රේමදාස ද තම නිවාස සම්බන්ධ ව්‍යාපාර සඳහා මුදල් හොයා ගැනීමට පාවිච්චි කළේය. සෙවණ නමින් හැඳින්වුණු ඒ හුරන ලොතරැයියක මිල රුපියල් පහක් පමණක් වූ බව මගේ මතකයයි.

කුඩා කල සිටම, ලොතරැයිවලට මගේ කිසිම කැමැත්තක් නොතිබුණි. විශේ්ෂයෙන් ම, සංවර්ධන ලොතරැයිය වැනි හූරණ ලොතරුයි හරහා සමහර මිනිසුන් නිතිපතා තම තුට්ටු දෙක විනාශ කර ගන්නා අයුරු මා දැක තිබුණු නිසා, මට ඒ පිළිබඳව තිබුණේ එක්තරා ආකාරයක කෝපයකි.

එනිසා, විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාවක් කිරීම අරඹා මුදල් අතේ ගැවසුනද, මා ලොතරැයි මිල දී ගත්තේ නැත.

නමුත් එක් දිනයක, කුමක්දැයි මට අද අමතක හේතුවක් නිසා, මට රුපියල් දහයය් වැය කර හුූරණ ලොතරැයියක වාසනාව උරගා බලන්නට සිතුණි.

සමහර විට ඒ මොහොතේ මා කුමක් හෝ කාර්යයක් සඳහා නියමිත කාලය උදාවෙන තුරු වෙනත් කරන්නට දෙයක් නොමැතිව, කල් මරමින් සිටියා විය හැක. සමහර විට ලොතරැයි විකුණූ පුද්ගලයා කෙරෙහි මට යම් ක්‍ෂණික අනුකම්පාවක් ඇති වෙන්නට ඇත.

කෙසේ වෙතත්, මේ ඓතිහාසික සිදුවීම වූයේ නුවරඑළිය ප්‍රධාන වීදියේ දී බව මගේ මතකයේ ඇත.

තුනේ පන්තියේ දී මා ලියා මිහිර පත්‍රයට යොමු කළ මගේ පළමු කවිය එහි පළවූ ආකාරය සිහිකරමින් රුපියල් දහයක් දී මා මිලට ගත් මුල්ම හූරණ ලොතරුයියෙන් මට රුපියල් විස්සක මුදලක දිනුමක් හිමිවිය!

ඒ රුපියල් විස්ස මට ඉන් ස්වල්ප මොහොතකට පසු අහිමි වූ බව ද, ඉන් පසු විටින් විට කීප ගුණයක මුදලක් මා අතින් නාස්ති වී ගිය බවද වෙනම කාරණාය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
උද්ධමනයක් නැත, රුපියලට ශත සීයමය යනාදී මැටි කතා කියූ තිලක් රත්නාකර සම්බන්ධව සිටි නිසා දෝ, ලංකාවේ ලොතරැයිවල මිල නම් දශක දෙක තුනක්ම ඉහළ නොගොස් රුපියල් දහයේම පැවතුණි!

කොහොමද වැඩේ?



(image: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgV4CfT3Dcig1s1Fce53uoEnUD6AlP0vUvY4rVVdWmcYFtMwKOqdk2JwyulLdyI6sg4qtYaaz0HmLvi-Vm7W_aSrFUfeSKkhd8SXyPlwHGpBxvzvuKfdpQndyrNhGkYMkNCw_r2-fpP1Fc/s1600/IMG_0186.jpg)

Sunday 20 March 2016

අමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of money


චූටි කිව්වාට චූටිමත් නැත.

ඒ කුමක් නිසා ද යත්, මේ මා ලියන්නට යන කතාව දැන් හරියටම හතළිස් වසරක් පැරණි එකක් නිසාය.

මා දින දෙකකට පෙර ලියා පළ කළ රුපියල් දෙකේ කතාව ලිපියේ සඳහන් කළාක් මෙන් ඒ කාලයේ රුපියල් දෙකේ නෝට්ටුවක් යනු අද රුපියල් දෙදාහක නෝට්ටුවක් තරමට බලසම්පන්න එකක් විය.

"ටයිම් වැලිවු ඔෆ් මනි" නමැති සංකල්පය දන්නාවුන්ට අවශ්‍ය නම් ඉහත උපකල්පනය මත පදනම්ව දශක හතරක් තුළ මුදලේ අගයේ ඇතිවූ වෙනස සඳහා ඒකීය දර්ශකයක් ගණනය කර ගත හැකිය.

මා විස්තර කරන්නට යන මේ සිදුවීමේ කාල නීර්ණය අපහසුවකින් තොරව ඔබටත් මටත් කළ හැක්කේ එය මාතෘකාවේ නම සඳහන් අමරදේව ගායකයා ගේ එකල සංගීත ක්‍ෂේත්‍රයේ හොඳම සුසංයෝගී සගයා වූ මහගම සේකර ගේ මළගම හා සම්බන්ධ හෙයිනි.

සිංහල කවියේ අවිවාදාත්මක පතාක යෝධයා වූ මහගම සේකර, සුවහසක් රසික ජනතාව ගේ සිත් සතන් කම්පනය කරමින්, කපා හෙළුෑ රඹ කඳක් මෙන් ඇද වැටුණේ 1976 ජනවාරියේ ය.

ඔහු ගේ අවසාන කටයුතු සිදුකර ඒ සොහොන් කොතේ දුක් ගීයක් ලියන්නට හිත මිතුරු, රසික ජනතාව රදාවාන ග්‍රාමයට රැස්වුණි.

අද පරිසර විද්‍යාඥයෙකු ලෙස විදෙස් රටක සේවය කරන මගේ එක් මිතුරෙකු, පහසුව සඳහා මා ඔහුව කේමචන්ද්‍ර කියා හඳුන්වමි, එදා කුඩා දරුවෙකු ලෙස අවමංගල්‍ය උත්සවයට සහභාගී වි තිබුණේ, මූලිකවම ඒ ඔහුගේ ද ගම් ප්‍රදේශය වූ නිසාය.

නමුත් තම වැඩිමහල් සොහොයුරා ද සමග කේමචන්ද්‍ර මහගම සේකර ගේ අවමංගල්‍ය උත්සවය දිනයේ එහි ගොස් ඇත්තේ, "අද ඔතැනට අමරදේව නම් අනිවාර්යෙන් ම එනවා!" යැයි ඔවුන් ගේ නිවසේ කතා බහ වූ හෙයිනි.

ගුවන් විදුලියෙන් ගීත අසා තිබුණද, කෙදිනක හෝ දැක නැති තම ප්‍රියතම ගායකයා දැක ගැනීමට පොඩි පහේ උණක් මේ දෙසොහොයුරන්ට ඇති වී ඇත.

වෙලෙන් ගොඩවී, තවත් සැතපුමක් පමණ පයින් ගොස් මළ ගෙදරට ගොඩ වැදුණු ළමුන් දෙදෙනා, ආචාර සමාචාර නිමා කර නිවසේ මිදුලට වී බලමින් සිට ඇත්තේ අමරදේව සිටී ද කියායි.

රූපවාහිනී නොතිබුණු ඒ කාලයේ කලාතුරකින් පුවත්පතක පළ වූ කළු-සුදු ඡායාරූපයක් දැක තිබුණු පමණින් අමරදේව එහි සිටීද, සිටීනම් ඒ කවුද යනුවෙන් සොයා ගන්නට මේ දෙදෙනාට හැකි වී නොමැත.

ආපසු නිවසට යම්දෝ, නොයම්දෝ යැයි සිතමින් සිටිනා මොහොතේ වාසනාවකට මෙන් ඔවුන්ට වටිනා රාජකාරියක් පැවරී ඇත. එය නම්, මල් වඩම් රැගෙන අවමංගල පෙරහැරේ ගමන් කිරීමයි.

තමා මල් වඩමද රැගෙන පෙරහැරේ ගියේ දෙවන ස්ථානයේ බව කේමචන්ද්‍ර මොහොතකට පෙර මා සමග පැවසීය.

අවමගුල් පෙරහැර මහහගම සේකර නිවසේ සිට සැතපුම් දෙකක් පමණ ගෙවා රදාවාන හන්දියට ළඟාවන විට ඒ ස්ථානය එකම හිස් ගොඩක්ව පැවත ඇත. නමුත් කේමචන්ද්‍රත්, වැඩිමහල් සොයුරාත් මල්වඩම් රැගෙන යමින් සිටි නිසා, චිතකය අසලටම කරදරයකින් තොරව යාමටත්, අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු කෙරෙන අවස්ථාවේ, මහගම සේකර පවුලේ ඥාතීන් සිටි ස්ථානයට සහ ගුණකතන පැවැත්වුණු ස්ථානයට ඉතා නුදුරෙන් රැඳීමටත් ඔවුනට ඉඩ ලැබී ඇත.

තමන්ගේ ප්‍රියතම ගායකයා කවුදැයි කේමචන්ද්‍ර දැක ඇත්තේ ලැබුණු ආරාධනයට අනුව ගුණකතනය කිරීමට අමරදේව මයික්‍රෆෝනය අසලට ගිය විටයි.

ඒ මහා ගායකයා ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු බව දැක තරමක පුදුමයකටත් පත්වුණු බව කේමචන්ද්‍ර පවසයි.

අයියෙ, අන්න අමරදේව කියා තම සොහොයුරාට අමරදේව ගායකයාව පෙන්වද්දී කේමචන්ද්‍ර ගේ නෙත ගැටී ඇත්තේ, අමරදේව ගේ සුදු ජාතික ඇඳුමේ කමිස සාක්කුව තුළ ඇති බව ඉදිරිපසට හොඳින් දෘශ්‍යමාන වූ මුදල් නෝට්ටුවකි.

ඒ මුදල් ඇමති යූ බී වන්නිනායක ද, මහ බැංකුවේ අධිපති විලියම් තෙන්නකෝන් ද අත්සන් කළ ලංකාණ්ඩුව විසින් නිකුත් කරණ ලද, මහා පරාක්‍රමබාහු රජු ගස් ලබු කෑල්ලක් අනුභව කරන ප්‍රතිමාවේ ඡායාරූපයකින් සමන්විත වූ රුපියල් දෙකේ නෝට්ටුවකි.

මේ නෝට්ටුව අනිවාර්යෙන්ම සාක්කුව තුළ තියෙන්නට ඇත්තේ දෙකට නැමූ ආකාරයෙන් වුව ද, නෝට්ටුවේ අසමසම වර්ණය නිසා සාක්කුවේ ආවරණයට පිටතින් වුවද ඒ කුමක්දැයි එක් වරම හඳුනා ගැනීමට කේමචන්ද්‍ර සමත් වී තිබුණි.

මහගම සේකර අවසන් ගමන් ගියේය.
අමරදේව ගයන "මා මළ පසු සොහොන් කොතේ" ගීතය අති ජනප්‍රියත්වයට පත් විය.
මා අසා ඇති තරමින් ඔහුගේ සොහොනේ අමුතු ගීතයක් ලියවී නො තිබුණි.
සොහොන ද කාලයා ගේ ඇවෑමෙන් වල් වැදී ගියේය.

පසුගිය දිනක, රදාවාන ගමේ පාසලේ ළමයෙකුගෙන් "මහගම සේකර අඳුනනවාද?" කියා විමසූ විට "ඔය කියන්නේ අර කඩයක් කරන කෙනා නේද?" යැයි පිළිතුරු ලැබී ඇත.

ඒ කුමන විපර්යාස සිදුවුණත්, කේමචන්ද්‍ර ගේ සිතෙන් අර අමරදේවගේ සාක්කුවේ තිබුණු රුපියල් දෙකේ කොළයේ දර්ශනය සිතෙන් බැහැර නොවිණි.

අමරදේවගේ ගීතයක් අසන විට, ඔහුගේ රුව මුද්‍රිතව හෝ රූපවාහිනී තිරයක් තුළින් දකින විට කේමචන්ද්‍ර ගේ සිහියට මුලින්ම ආවේ ඒ රුපියල් දෙකේ කොළයේ කතාවයි.

දිගු කලකට පසු කේමචන්ද්‍ර තම ආචාර්ය උපාධිය සඳහා පැරබෝලීය ගස් කියුබාකාර කරමින් පර්යේෂණවල නිරත වෙමින් සිටි කාලයේ දී, අමරදේව ගේ විදේශ සංචාරයක් ඒ නගරයේ පැවැත්වුණි. ඒ ප්‍රසංගයකට පසු දිනයේ විශ්ව විද්‍යාල මිතුරන් සමග අමරදේව ඇතුළු පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන්නට කේමචන්ද්‍ර මූලිකව කටයුතු කළේය.

මෙහිදී එළැඹුණු ප්‍රශ්න ඇසීමේ වාරයේ දී ප්‍රශ්නයක් අසන මුවාවෙන් මේ දෙකේ කොලේ මතකය ද අමරදේව හා බෙදා ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණි.

පසුගිය වසරේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ නැවතත් ජනාධිපති ලෙස පත් කරන්නට ඡන්දදායකයින්ගෙන් ඉල්ලමින් පුවත්පත්වල පළකර තිබුණු දැන්වීමක මුලටම සිටියේ අමරදේව ය.

ඒ දැන්වීම දුටු විට, අමරදේව ගේ වටිනාකම එදා රුපියල් දෙකක් නොව අද රුපියල් දාහක් පමණ බව මට වැටහිණි.

-රසිකොලොජිස්ට්

(http://mahagamasekera.blogspot.com.au/p/blog-page_9195.html)

Friday 18 March 2016

දෙකේ කොලේ කතාවක් - My lottery win


මා කියන්නට යන මේ කතාව එක්තරා ආකාරයක හොරකමක් හෝ වංචාවක් හෝ ලෙසත් සැලකිය හැකි බව මුලින්ම පවසමි. අද මට එසේ සිතුනත්, එදා එසේ නොසිතීම ඇත්තටම අභාග්‍යයක් බව ද අද සිතේ.

ඒ දිනවල මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ලබමින් සිටි කුඩා දරුවෙකි.

පරකන්දෙණිය නම් ගමේ කෙළවරේ පිහිටි අපේ නිවසේ සිට මා උගත් කොස්සින්න සිරි සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට දුර කිලෝමීටරයක් පමණ වූ අතර මා එහි ගියේ මගේ මල්ලීත් බොහෝ විට අල්ලපු ගෙදර ආනන්ද ජයතිලකත් සමග පයින් ඇවිදගෙන ය.

අපට බස් රථයකින් ගමන් කිරීමට ලැබුණේ මසකට පමණ වරක් අම්මා සමග ගමේ පාරේ දිවෙන 218 බසයෙන් ගනේමුල්ලට යන විට පමණි.

අම්මා අපව ගනේමුල්ලට රැගෙන ගියේ කොණ්ඩය කැප්පවීමටයි.

කොස්සින්න පාසලට නුදුරින් පිහිටි කුඩා කඩ පේළියේ සුදාලැගෙ කඩේ සහ උප තැපැල් කන්තෝරුව අතර සිසිර සැලූන් (බදාදා දිනයන් හි වසා ඇත!) නම් බාබර් සාප්පුවක් තිබුණ ද අප කිසිදා එහි ගොස් නැත.

කොණ්ඩය කැපීම යනු අප ඒ දිනවල මහා කරදරයක් සේ සැලකූ කාරණයක් වුව ද, ගනේමුල්ලට ගිය බොහෝ දිනවලදී දුම්රිය මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි මට අද නම අමතක හෝටලයෙන් සීනි බනිසක් කා තේ බොන්නට ලැබෙන නිසා, මේ ගමන අපට ගෙන දුන්නේ තරමක් දුරට හෝ ප්‍රීතියකි.

සීනි බනිස් කා ප්ලේන්ටියක් බීමට මා ප්‍රිය කළ අනෙත් ස්ථානය නම් කඩවත 223 මාර්ගය කොළඹ නුවර පාරට සම්බන්ධ වූ ටී-ජන්ශනයේ පිහිටා තිබු ජන්ශන් හෝටලය නම් තේ කඩයයි. කඩවත ජන්ශනය විශාල වීමත් සමග පසු කලෙක ඒ ජන්ශන් හෝටලය බ්ලාස් වී ගියා යැයි සිතමි.

අප ජන්ශන් හෝටලයට ගියේ කඩවත නගරයේ කිරිබත්ගොඩ අන්තයටත් එහා පිහිටි ගුණතිලක දොස්තර ගේ ඩිස්පෙන්සරියට ගිය ගමන්වල දී ය. ඔහු, මුල් කාලයේ සිංහල සිනමාවේ සිටි නිර්මාණකරුවකු වූ පී.කේ.ඩී. සෙනවිරත්නගේ බාල සොහොයුරා බව කියවුණි.

ගනේමුල්ලේ දී ළමුන් ගේ කොණ්ඩා කප්පවා, සීනි බනිස් සමග තේ ලබා දුන් පසු අම්මා බොහෝ විට යන්නේ සේන කඩේටයි.

සේනලාට හෙවත් ගුණසිරිලාට කඩ තුනක් විය. එකක යකඩ බඩු ය. එහි ගියේ නම් ඒ තාත්තා පමණි.

අනෙක ඩේ‍රපරි හෙවත් රෙදි පිළි කඩයකි. අම්මා සමහර විට ඒ කඩේට ගොඩ වෙයි. නමුත් ඇය රෙදි මිලදී ගැනීම සඳහා බොහෝ විට ගියේ කඩවත නගරයටයි. කෙළවරේම තිබුණේ අපේ පවුලට අවශ්‍ය සීනි රාත්තලේ, තේ කොළ රාත්තල් බාගේ පත්තර කඩදාසි ගොටුත්, පත්තර කොලවලම එතූ තෝර කරවල, කීරමින්, හාල්මැස්සන් යනාදියත් සිමෙන්ති උරවලින් සෑදූ කඩදාසි බෑගයක දමා මිලට ගත හැකි, අද භාෂාවෙන්, ග්‍රොසරියයි. මේ කඩයේ නම ගුණසිරි ස්ටෝර්ස් වැනි එකකි.

තාත්තාට කියා සතියේ දිනක ගුණසිරි ස්ටෝර්ස් එකෙන් වියළි මිරිස්, කොත්තමල්ලි යනාදිය ගෙන්වා ගන්නා අම්මා, ඒවා සෝදා වියළා සකස් කොට ගෙන මේ මසකට වරක පමණ කෙරෙන ගමන්වලදී ගනේමුල්ලට ගෙන එයි. එහි තිබුණු ඇඹරුම් හලෙන් ඒ ද්‍රව්‍ය ඇඹරී තුන පහ, මිරිස් කුඩු බවට පත්වෙයි.

බිම වැටී තිබුණු රුපියල් දෙකේ කොළයක් මගේ නෙත ගැටුණේ මා පෙර සඳහන් කළ එක් ස්ථානයක දී ය.

දෙකේ කොලේට දැමීම යනු යමක් පහත් කොට සැලකීමයි. එයට හේතුව ඒ කාලයේ මුදල් නෝට්ටු අතරින් අගයෙන් අඩුම නෝට්ටුව වූයේ දෙකේ කොළය වීමයි. අපේ තාත්තා නම් ඊට කලකට රුපියලේ කොළ ද තිබුණු බව මා සමග කියා ඇතත්, මම එවැන්නක් කිසි දිනයක දැක නැත්තෙමි.

දෙකේ කොලේට දැමීමේ කතාව කෙසේ වෙතත්, විවේක කාලයේ පාසල අසල කඩල විකුණූ කඩල ආච්චිගේ කඩල ගොට්ටක මිල ශත පහක් වූ එකල රුපියල් දෙකේ යනු මට නම් ඉතා විශාල මුදලක් විය. බිම වැටී තිබුණු ඒ නෝට්ටුව දැක මා තරමක් තැති ගත්තේ එබැවිනි.

තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා වයසේ සිසුවෙකුට එවැනි තිගැස්මක් ලැබෙන්නට නම් බිම වැටී තිබෙනු දැකිය යුත්තේ අඩු වශයෙන් රුපියල් දෙදාහේ නෝට්ටුවක් බව මම සිතමි.

මේ දෙකේ කොළය යූ.බී. වන්නිනායක මුදල් ඇමති ලෙස සහ විලියම් තෙන්නකෝන් මහ බැංකුවේ අධිපති ලෙස අත්සන් කර තිබුණු, පරාක්‍රමබාහු රජු ගස්ලබු කෑල්ලක් කන ප්‍රතිමාවේ රූපයකින් සැරසුණු දෙකේ කොළයක් විය.

මුදල් ඇමති ද, මහ බැංකුවේ අධිපති ද නෝට්ටුවල අත්සන් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායයි. පසු කලෙක ලංකාවේ සර්වබලධාරී ජනාධිපතිලා තමන් ම මුදල් ඇමතිකම අයිති කර ගත්තේ, ඒ අත්සන ගැන ඇති වූ කෑදරකමක් නිසා බව මගේ අදහසයි.

එතැනිනුත් එහාට ගිය ර. ප්‍රේමදාස සහ ම. රාජපක්‍ෂ තම රූපය ද, පිළිවෙලින් කාසියකට සහ නෝට්ටුවකට යොදා ගත්තෝය.

තැති ගත් සිතින් යුතුව මා කළේ හෙමින් සීරුවේ පාත් වී ඒ රුපියල් දෙකේ නෝට්ටුව ගෙන කොට කලිසමේ සාක්කුවකට දා ගැනීමයි.

සමහර විට එය නිෂ්ඵල කාර්යයක් වෙන්නට ඉඩ තිබුණත් මා එදා කළ යුතුව තිබුණේ, ඒ නෝට්ටුව අම්මාට පෙන්වා, ඇය ලවා එතැන සිටි පිරිසගෙන් එය ඔවුන්ගේ දැයි විමසීම ය.

නමුත් මේ ගැන මා අම්මාට පවා කීවේ දින කිහිපයකට පමණ පසුව එක් රාත්‍රි කාලයක ඇය කුස්සියේ උයන වේලාවක රහසක් ලෙසිනි.

"දැන් ඉතිං අයිතිකාරයා හොයන්න පුළුවනියැ, එහෙනං ඔය සල්ලි ඔයා ගේ පොතට දාමු!" අම්මා කීවාය.

ඇය එහිදී පොත යනුවෙන් අදහස් කළේ මගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාස්පොත නොහොත් එමගින් ගනුදෙනු කළ හැකි බැංකු ගිණුමයි.

රුපියලක් ගෙවා, ගමේ උප තැපැල් කාර්යාලයේ දී වුවද අරඹා පවත්වාගෙන යා හැකිවූ ඒ ආකාරයේ ගිණුමකට පොතක් පමණක් නොව විශේෂ ආදායම් මුද්දර වර්ගයක් ඇලවිය හැකි කාඩ් පතක් ද ඇතුළත් විය. ශත විසි පහක් අතේ ඇතිනම් එයින් පෙර කී මුද්දරයක් රැගෙන කාඩ් පතේ ඇලවිය හැකිය. කාඩ්පත සම්පූර්ණ වූ පසු එහි ඇති මුද්දරවල අගය ඉතිරි කිරීමේ ගිණුමට බැර කරවා ගත හැක.

අභ්‍යාස පොතක එකිනෙක ඇලවූ පිටු දෙකක් අතරේ සඟවා තිබුණු තැනින් රුපියල් දෙකේ කොළය ඉවතට ගත් මම පසු දින එය කොස්සින්නේ උප තැපැල් කාර්යාලය වෙතට ගෙන ගොස් බැංකු පොතේ තැන්පත් කළෙමි.

මා මුලින්ම මේ ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ පසු කලෙක උසස් පෙළ සමයේ දී දිග කලිසමක් මැසීමට රෙදි කැබැල්ලක් හෙවත් පීස් එකක් හෙවත් ලෙන්ත් එකක් මිලට ගැනීම සඳහාය.

මාස කිහිපයකට පසුව මා දෙවෙනි වරට ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ ද, ඇඳුම් සඳහාය. එවර මරදානේ ජිල්/මයුරා සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිස දෙකක් මිලට ගත්තෙමි. ඒ පුංචි අම්මා ගේ මංගල උත්සවය දිනයේ ඇඳීමටයි.

උද්ධමනය යන වචනය අපේ එදිනෙදා වාග්මාලාවට ඇතුළත් වී තිබුණු මේ කාලය වෙන විට, මා තුනේ පන්තියේ දී අහුලාගත් දෙකේ කොළය, කමිසයක බොත්තම් කිහිපය තරම්වත් නොවටිනා මුදලක් බවට පත් වී තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජියේ පළ වූ ලිපි දෙක තුනකක් ඔස්සේ යමින් ඒ කරුණු වෙනත් ඉහල මානයකට ගෙන යන ලිපි ලියා තම බ්ලොගයේ පළ කළ ඉකොනොමැට්ටා මේ ලිපිය සම්බන්ධයෙන් හෝ, එසේ නොමැති නම්, මා ඊලඟ ඉරිදා පළ කරන්නට බලාපොරොත්තුවෙන ලිපිය ගැන හෝ එසේම කරනු ඇතැයි සිතමි.

(image: http://www.delcampe.net/page/item/id,312127316,var,Sri-Lanka-Ceylon-Ceylan-19680110-Parakramabahu-Two-Rupees-Rs-2-Crisp-Note,language,E.html)

Wednesday 16 March 2016

අයියයි නංගියි කසාඳ බැඳලා? - What the F?


මා කුඩා කාලයේ අපේ නිවස අසල ජීවත් වූ එක් කාන්තාවක් මගේ මව ඇමතුවේ මවගේ නමින් හෝ අක්කා නංගී වැනි වචනයකින් හෝ නොව "සමන්ලා ගේ අම්මා" කියා බව මට අද මෙන් මතක ය.

සමන් යනු මගේ අම්මා ගේ කණිෂ්ඨ පුත්‍රයා ය.

ඒ ඇමතුම මට විමතියක් ගෙන දුන්නේ ඇය අපේ අම්මාට "රසිකලා ගේ අම්මා" යැයි නොකී නිසා නොවේ. එම යෙදුමේ ඇති උසුළු-විසුළුබව නිසා ය.

ඒ කාන්තාව කතා බහේ දී තම සැමියා ගැන සඳහන් කළේ, "රූපසිංහලා ගේ තාත්තා" කියායි. රූපසිංහ යනු ඇගේ පුත්‍රයා ගේ නම විය. ඇය, තම සැමියා මුහුණට ඇමතුවේ ද එලෙසම යැයි සිතමි. එය නම් යම් කිසි ආකාරයක සොඳුරු තහවුරු කිරීමක් විය හැක.

මේ ආකාරයට "ළමයින් ගේ තාත්තා" හෝ "ළමයින් ගේ අම්මා" කියා එකිනෙකාව හඳුන්වා ගන්නා අඹු සැමියන් ද ඇති බව මා අසා ඇත්තෙමි.

විශේෂයෙන් ම නොරට සිටින දෙමව්පියන් අතර මා දැක ඇති ඇමතීමේ ක්‍රමයක් නම් කෙළින් ම අම්මී, තාත්තී කියා එකිනෙකා අමතා ගැනීමයි. මේ ගැන විවේචනාත්මක ලිපියක් මේ වන විට කඩේ වසා ඇති ඔටුකතා නමැති බ්ලොගයේ ද පළ වී තිබුණි. ඔටුකතා රචකයා ඒ සඳහා භාවිතා කළ ඡායාරූප ගැන දරුණු විවේචනයක් ද එල්ල වී තිබුණු බව මගේ මතකයයි.

මේ අම්මී තාත්තී ඇමතීමට හේතුව වන්නේ, ඒ ඔටුකතාවේ ඡායාරූප මගින් කියන්නට උත්සාහ කළ කතාව නොවේ. මා නිරීක්‍ෂණය කර ඇති අන්දමට, මෙහි දී සිදුවන්නේ තම දරුවාට සිංහල කතා කිරීමට ඉගැන්වීම පිණිස වෙර දරන දෙමව්පියන් දරුවාගේ වචනවලින් කතා කිරීමට පෙළඹීම නිසා ඒ පුරුද්ද අල්ලා සිටීමකි. කොටින්ම මේ ළමයින් ගේ තාත්තා කේස් එකේ වඩාත් හොඳ භාවිතයයි.

ඒ ආකාරයට ම දරුවන් කිහිප දෙනෙකු සිටින දෙමව්පියන් ඒ දරුවන්ට අයියා, අක්කා, නංගී, මල්ලී ලෙස, දරු බසෙන්, අමතනු ද දැකිය හැක.

මගේ පියා සහ ඔහු ගේ මා දන්නා මිතුරන් එකිනෙකාව හඳුන්වා ගත්තේ මහත්තයා යන පදය සහිතවයි. මෙය ගුරු සේවයේ දිගු කලක් යෙදීමේ දී, පාසල් ළමුන් ගේ බසින් හඳුන්වා ගැනීම නිසා සිදුවූවක් යැයි සිතමි. පාසලේ දී "හරිශ්චන්ද්‍ර මහත්තයා" වූ මගේ පියා ගමේ දී නම් "චන්දර මහත්තයා" විය.

මට පුදුමය ගෙන දුන් කාරණයක් වනුයේ, මා දන්නා කාලයේ දී විවාහ වීම නිසා අපේ පවුලට ඥාති සම්බන්ධතා ඇති වූ මාමාවරුන් දෙදෙනාටත් මගේ පියා මහත්තයා ලෙසින් ඇමතීමයි. අයියා, මල්ලී ආමන්ත්‍රණයක් ඔවුන් අතර නොතිබුණි. ඒ අනුව යමින් මගේ මවට ද ඔවුන්ව, වෙද මහත්තයා සහ ධර්මසේකර මහත්තයා යනුවෙන් හැඳින්වීමට සිදුවිය.

කොහොමත් මගේ මව මගේ පියා ඇමතුවේ මහත්තයා කියාය. එසේ වුවද, පියා මව ඇමතීමට නෝනා යැයි කියනවා නම් මා කෙදිනක හෝ අසා නැත. ඒ වෙනුවට ඔහු කළේ එක්කෝ නාමපද ආමන්ත්‍රණයෙන් තොරව ඇමතීමයි, නැතහොත් "ඕයි" වැනි සුරතල් ආමන්ත්‍රණයක් භාවිතා කිරීමයි!

මීට වඩා පුදුම සහහත ඇමතීමක් ද මා අසා ඇත.

අපේ ආච්චී ගේ නිවසට ආ ගිය එක් කාන්තාවක්, ආච්චීව ඇමතුවේ මිසිස් කියාය. ඒ ආච්චීව ඇය සේවය කළ පාසලේ දී හැඳින්වුණු "මිසිස් ගුණතිලක" යන නාමය කෙටි කර ගැනීමෙන් තනාගත් ඇමතුමක් ලෙස මම පසුව දැන ගතිමි.

වයස හෝ විවාහ අවිවාහක තත්වය නොබලා කාන්තාවන්ට මිස් කියා කෙරෙන ඇමතීම නම් අද පවා දක්නට ලැබුණත්, මේ ආකාරයේ මිසිස් පමණක් කියා ඇමතීමක් මා ලංකාවේ වෙනත් තැනකදී අසා නැත.

සිනුවර ප්‍රදේශයේ නම් සමහර පරම්පරානුගත ඕස්ට්‍රේලියානු විවාහක පිරිමි තමන් ගේ බිරිඳ ගැන කරන හැඳින්වීම්වල දී මිසිස් යන පදය භාවිතා කරති.

මේ ආකාරයේ විවිධාකාර ඇමතුම්වලින් අති පුදුමාකාර ඇමතුම නම්, සමහර විවාහකයින් එකිනෙකා හඳුන්වා ගන්නා සිංහබාහු-සිංහසීවලි නම් ඓතිහාසික ආකාරයයි.

මින් වසර හතරකට පමණ පෙර දිනක, මට ඕස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය කළ යුවලක් මුණ ගැසුණි. පසු දිනක මා ඔවුන් ගේ නිවසට දුරකතනයෙන් ඇමතා යමක් විමසූ විට පිළිතුරු දුන් සැමියා, "අයියේ මං නංගිගෙන් අහලා කියන්නම්!" වැනි අප්‍රබංශ කතාවක් කීවේය.

මා ඔහුට ඇමතුවේ ඔහු ගේ මුල් නමින් රොහාන් කියා වුවද, ඔහු ගේ පිළිතුරේ කියවුණු අයියා යනු මා බව පැහැදිලි ය. නමුත් මේ නංගී කවරෙකු ද? ඒ නිවසේ සිටින්නේ මේ යුවළ සහ පිරිමි දරුවා පමණි.

තම බිරිඳට නංගී යැයි සැමියෙකු අමතනු මා මුලින්ම ඇසුවේ එදා ය!

මා අත්දැකීම් අඩු අයෙකු ලෙස මෙය කියවන ඔබට සිතේ නම්, ඒ සිතුවිල්ල තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා, මෙය ද පවසමි.

බිරිඳක් තම සැමියා, අයියා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වනු මා මුලින් ම ඇසුවේ පසුගිය දෙසැම්බරයේ තරම් මෑත කාලයක දී පොතක එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එසේම, වෙන වෙනම මේ කතාව අසා තිබුණ ද, යුවලක් එකිනෙකාට අයියා සහ නංගී ලෙස අමතනු මා ඇසුවේ මේ වසරේ මාර්තු මස මුල සතියේ ය.

මේ විකාරරූපී ඇමතුමට හේතුව, විවිධ සමාජ ආයතනවලදී මුණ ගැසී අයියා නංගී ලෙස සහෝදරත්වයෙන් මිතුරු වුණු තරුණ පිරිස් විවාහ වීමෙන් පසුව ද, ඒ පුරුදු අත නොහැරීම ලෙස මා වටහා ගත්තෙමි.

නමුත් මෙහිදී ද, මා නිවැරදි නොවන බව මගේ මිතුරියක මට ඊයේ පහදා දුන්නී ය.

ඇය පැවසූ අන්දමට වයස තිස් ගනංවලදී හමු වී, විවාහ වුණු ඇය දන්නා යුවලක් ද, එකිනෙකා හඳුන්වා ගන්නේ අයියා සහ නංගී ලෙස ලු!

"සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව ඒ මොහොතේ මට පසක් විය.

-රසිකොලොජිස්ට්

(http://www.sarasaviya.lk/2015/09/10/?fn=sa1509109)

Monday 14 March 2016

අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation


විසිවෙනි සියවසේ සිව්වෙනි දශකයේ අග භාගයේ දී, කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කොකිස්කඩේ හන්දියෙන් කොස්සින්න දෙසට දිවෙන මාර්ගයේ සතියකට වරක් හිමිදිරි පාන්දර ඇවිද යන සුවිශේෂී පුද්ගලයෙකි.

කලිසම්, කමිස, ටයි, කෝට් යනාදියෙන් සැරසී, හිසට තොප්පියක් සහ පයට පාවහන් පැළඳ, එක අතකින් බෑගයක් ද, අනෙත් අතෙන් කුඩයක් ද රැගෙන මේ යන්නේ, එකල ඒ ප්‍රදේශයේ ටික්-ටොක් මහත්තයා නමින් ප්‍රකටව සිටි තැනැත්තාය.

විදුලි පහන් කණු නොමැති ඒ මාර්ගය අඳුරු ය. පොළොව හා ගැටෙන ඔහුගේ පාවහන් ටික්-ටොක්, ටික්-ටොක් ආකාරයේ හඬක් නිකුත් කරයි. ඒ හඬින් අවදිවෙන බල්ලෝ ටික්-ටොක් මහත්තයාට බුරා වැටෙති.

ඒ කිසිවක් නොතකා තම ගමනාන්තයට ළඟාවෙන ඔහු, හරියටම පාන්දර පහට මගේ පියා ගේ මහ ගෙදර දොරට තුන්වරක් තට්ටු කර, එක් වරක් "හරිශ්චන්ද්‍ර" යැයි අමතයි.

මේ පැමිණ සිටින්නේ මගේ පියා ගේ ඉංග්ලිෂ් ටියුෂන් මාස්ටර් ය.

මා මීට කලින් ලියා පළ කළ පළමු ලිපියේ (බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English) සඳහන් කළ පරිදි 1956 දී බලයට පත්වුණු රජය සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද කියමින් සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බනින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංග්ලිෂ් දෝරේ ගලමින් තිබුණු බවයි.

නමුත් මගේ පියා පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංග්ලිෂ් මීඩියම් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වූයේ සිංහල භාෂාවයි. ඒ ගමේ අධ්‍යාපනය අවසානයේ ලබා ගත හැකි හොඳම රැකියාව වූයේ රජයේ උපගුරු තනතුරයි. මගේ මව් පිය දෙපාර්ශවයේ ම, ඥාතීන් අති බහුතරයක් ගුරුවරු වී ඇත්තේ එහෙයිනි.

ඒ අතුරු කතාව කෙසේ වෙතත්, ටික්-ටොක් මහත්තයා ටක්-ටුක් කියා නිවසේ දොරට තට්ටු කරන මොහොත වන විට, එවකට ගැටවර වයසේ පසුවූ මගේ පියා අවදි වී, ලක ලැස්ති වී, චිමිනි ලාම්පුව පත්තු කර, පාඩම් පොත් සාලයේ මේසය උඩ දිග හැර තබා, දොර අසලට වී සිටිය යුතුය. තුන්වරක් කෙරෙන තට්ටු කිරීම සහ ඒ සමග කෙරෙන ඇමතීම ඇසුණු ක්‍ෂණයකින් නිවසේ දොර විවර නොවුණහොත් වහා ආපසු හැරෙන ඉංග්ලිෂ් මාස්ටර් පසු පස නොබලා පිටවී යනු ඇත.

මේ ඉංග්ලිෂ් පාඩමේ මූලික ක්‍රමවේදය වී ඇත්තේ, කටපාඩම සහ ඩික්ටේෂන්, පාඩම් හඬ නගා කියවීම, පිටපත් කිරීම, ක්‍රියාපද වර නැගීම යනාදියයි.

මෙලෙස ඉංග්ලිෂ් තරමක් කට ගා ගත් මගේ පියාට ඊළඟට උපදෙස් ලැබී ඇත්තේ ඉංග්ලිෂ් සහ සිංහල ලියවිලි සන්සන්දනයෙන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙන ගැනීමටයි. මේ සඳහා උපකාරක මෙවලම වී ඇත්තේ දිනපතා නිකුත්වෙන ලේක්හවුස් ප්‍රකාශනයන් වූ දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත් දෙකයි.

ඒ කාලයේ මේ පුවත්පත් දෙකේ ම කතුවැකි යනු ඇත්තෙන් ම එකම ලියවිල්ලකි. ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ ඩේලි නිවුස් පත්‍රය සඳහා රනිල් වික්‍රමසිංහ ගේ සීයා ගේ අනුමැතිය සහිතව ලියවෙන කතුවැකිය, සිංහලට පරිවර්තනය වී, දිනමිණ පුවත් පතේ පළ වීමයි.

සිංහලෙන් පළවූ බොහෝ පුවත් සහ ප්‍රධාන ලිපි ද මේ ආකාරයේ පරිවර්තන වී ඇත. එනිසා, සිංහල පුවත්පත් කලාවේදියෙකු වීමට මූලික සුදුසුකම වී ඇත්තේ සිංහලෙන් නිර්මාණාත්මකව ලිවීමේ හැකියාව ම නොව, ඉංග්ලිෂ් සිංහල පරිවර්තන හැකියාවයි.

දිනපතා කොළඹ-නුවර පාරේ කොකිස් කඩේ හන්දියට ඇවිද යන මගේ පියා, පෙර ඇණවුම් කර තිබෙන ඩේලි නිවුස් සහ දිනමිණ පුවත්පත් දෙක ලබා ගනී. ඊළඟට ඔහු ගේ දවසේ වැඩි හරියක් ගතවෙන්නේ පෙර කී කතුවැකි යුගල කියවමින්, සන්සන්දනය කරමින්, ශබ්දකෝෂය පරිශීලනය කරමින් අභ්‍යාසයේ නිරත වීමයි.

ගොවිතැන් බතින්, බුලත් පුවක් පොල් ආදී ගෙවතු ආදායමින් ජීවත් වූ දරුවන් පස්දෙනෙකුගෙන් යුතු ගම්බද ගොවි පවුලක වැඩිමහල් දරුවා වූ මගේ පියා ගේ මේ ඉංග්ලිෂ් ඉගෙනීම සඳහා, ගුරුවරයාට ගෙවිය යුතු ශත පනහක් වැනි මුදලද, දිනපතා පත්තර දෙක සඳහා ශත දහයක් හෝ පහළොවක් වැනි මුදලක් ද, ඔහු ගේ දෙමව්පියන් ඉතිරිකරගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි.

මේ ආකාරයෙන් ඉංග්ලිෂ් ඉගෙනීම එතරම් කාර්යක්‍ෂම වී යැයි මම නොසිතමි. නමුත්, එය මගේ පියාට හොඳ ආරම්භයක් ඵලදායී ආකාරයට ලබා දී ඇත.

එකල ගැමි ජනතාවට හිමිවුණු වර්නකියුලර් ක්‍රමයේ අධ්‍යාපනය ලබා, රජයේ උප ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹූයේ වුවද, පසු කලෙක ස්වඋත්සායෙන් උගෙන ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමටත්, අනතුරුව උසස් පෙළ, ජී.ඒ.කිව්. යනාදී විභාග සමත් වී වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙසින්, ඒ වන විට ලංකාවේ ආරම්භ වී තිබුණු, විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගන්නටත්, ඒ ඉංග්ලිෂ් ඉගෙනුම ඔහුට අනිවාර්යෙන් ම ප්‍රයෝජනවත් වෙන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මාතෘකාව යටතේම මම මීට කලින් වෙනත් ලිපි දෙකක් පළ කළෙමි.

1. බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English

2. එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956

ඒ හා සම්බන්ධ සාකච්ඡාවකදී මිතුරෙකු තවත් මිතුරෙකු කී දෙයක් උපුටා දැක්වූයේ මෙලෙසය.

"අපේ අයට ඉංග්ලිෂ් බැරි වීම ගැන අපට බණ්ඩාරනායක මුවහමට තඩි බාලා බේරෙන්න පුළුවනි. නමුත් ගණිතය අසමත් වීම ගැන ඒ විදියට කාට දොස් කියන්නද?"

Saturday 12 March 2016

අලුත් ළමයින්ට පරණ අවවාද පරණ රිද්මයෙන් ම - Old wine in the same old decanter


සුබ දිනයක් වේවා, ආදරණීය ළමයිනි, අද සෙනසුරාදා දිනයේ මම නුඹලාට වැදගත් අවවාද කිහිපයක් දීමට සිතුවෙමි.

කියවානු මැනවි. කියවා සිතට ගනු මැනවි.

මේ නුඹලා ගේ අනාගත යහපත පිණිසම ය.

පරණ අවවාද පරණ රිද්මයෙන් ම

කිරි කල දහසකින් කපුටෙකු නෑවීම
කළ හැකි වුවද, නැත ඉන් ඵලයක් කිසිම
මඩ වතුරේ සුදු රෙදිපිළි සේදීම
නොම කළ යුතුය එය දැන ගනු හොඳසේම

රඹුටන් කන්න සේදීමට ඇවසි නැත
රසවත් කොටස මැනවිත් සුරැකිලා ඇත
ලොවි, මිදි, පේර කෑවොත් ඒ ලෙසින් මිත
නෙක ලෙඩ රෝග සෑදී වෙනු ඇත විපත

පෙරැළෙන ගලේ නොබැඳෙයි කියවේ පාසී
බැසයන දියේ ඉනි පා කර නැත වාසී
ඇතිනම් හොඳින් විසි කෙරුමට රන් කාසී
ජීවත් විය හැකිය සැම දා සිනා සිසී

හෙට එන දිනුම ගැන තැවෙමින් ඉනු කුමට
අද ඇති මිහිර අද විඳගනු එක කටට
සිදුවුණු පසු යමක් ඔබ නොම සිතු ලෙසට
නොතැවෙනු හඬා කිම ඵල ඉහිරුණු කිරට


ව්‍යවහාර වර්ෂ දෙදහස් දාසයේ මාර්තු මස දොළොස් වෙනිදා, ශනිදා, පූර්ව භාගයේ දී ලියා, සකසා ප්‍රසිද්ධ කරන ලදී.

සිද්ධිරස්තු

සියලු හිමිකම් ඇවිරිණි.

-රසිකොලොජිස්ට්

Thursday 10 March 2016

දිග කවි, කෙටි කවි සහ පිස්සු විකාර ලිපි - Intermission


මා කුඩා කාලයේ පාසල් නිවාඩුවකට අම්මා ගේ ගමේ නිවසට ගිය විට එහි පොත් කබඩ් එකක තිබී හමුවූ කවි පොතක අන්තර්ගතය මට ගෙන දුන්නේ තරමක පුදුමයකි.

කවි යනු ඒ වන විට මට ආගන්තුක දෙයක් නොවිණි.

හෝඩියේ පන්තියේ සිටම සිංහල පාඩම් පොත්වලින් සහ වෙනත් පොත්වලින් මා කවි කියවා තිබුණි. වැඩිහිටියන්ගෙන් කවි අසා දැන ගෙන තිබුණි. නමුත් ඒ කවි සියල්ලම පාහේ එළිවැට යනාදිය සහිතව ලියවුණු සඳැස් ආරේ සිව්පද කවි විය.

උදාහරණයක් ලෙස දෙවන ශ්‍රේණියේ සිංහල පොතේ ආ කවි පන්තියකින් අද මට මතක ඇති කොටසක් මෙසේය.
මෙන්න අපේ පූසී
ඉල්ලනවා දෝසී
ඇයට ටිකක් වීසී
කරන්නකෝ සීසී

එහෙම දෝසි විසී
කරන්නේ නෑ සීසී
ගන්නට නම් දෝසී
දෙන්න ඕනැ කාසී
ඒ කතෘ අඥාත කවිය දෝසි විකුණන්නෙකු සහ කුඩා ළමයෙකු අතර දෙබසකි.

එළිසමය නොමැති සඳැස් කවියක් ලෙස මුලින් ම මා නෙත ගැටුණේ හතරවෙනි ශ්‍රේණියට නියමිත පද්‍යා රසය පොතේ තිබුණු පහත කවිය ඇතුළත් වූ කවි පන්තියයි. මෙහි රචකයා ජී.එච්. පෙරේරා බව මගේ මතකයයි.
චට පට චූස් ඩොං පටෝරිං කියාලා
පුපුරවති රතිඤ්ඤා පුංචි කොල්ලෝ කුරුට්ටෝ
එරබදු පැණි බී මත් වී කුරුල්ලෙකු පියාඹා
අවුරුදු සුර වීණාවේ තතක් නංවත්දී
ඒ කවි පන්තියේ ද එළිසමය නැතිවුවද, විරිතක් හෙවත් ඡන්දසක් තිබුණි. එනම් එය ඒ අරුතෙන් සඳැස් කවියක් විය.

ආච්චිලා ගේ ගෙදර දී කියවූ මා මුලින් සඳහන් කළ ඒ කවි පොත නිසදැස් යැයි කියවෙන වර්ගයේ කවි රැගත් කෘතියක් විය. එය මා කියවූ මුල්ම නූතන කවි පොත යැයි සිතමි. අවාසනාවකට මෙන් එහි කතෘ ගේ නම අද වන විට මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත.

මා පුදුමයට පත් කළ, එහි වූ එක් කවියක් මෙසේය.
ජීවිතය

ඉපිද මැරේ
යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
අමරදේවත්
කියන කියුමක්!
පොතේ එක් පිටුවක යට හරියේ සාමාන්‍ය අකුරෙන් මුද්‍රණය වී තිබුණේ එපමණකි.

මාතෘකාවත් සමගම මුළු කවියට ම වචන එකොළොහකි. එයිනුත්, මේ කවියා ලියා ඇත්තේ වචන තුනක් පමණි. ඉතිරි වචන හතම අමරදේවගේ ගීතයේ පදමාලා රචකයාගෙන් උපුටාගත් ඒවා ය.

ඇක්සයිස් පොත්වල රතු ඉරට එහා පැත්තේ සිටමත්, නිල් ඉරි පටන් ගන්නා ස්ථානයට උඩින් පේළියකුත්, නිල් ඉරි අචසන් වන ස්ථානයට යටින් පේළියකුත් ලියන්නට පුරුදු වී සිටි මට, මේ කවියත් කවියක්දැයි ඕයි? යන්නට වඩා ඉතා වැදගත් ප්‍රශ්නයක් වූයේ, සරල වචන එකොළහක් සඳහා පොතක එක පිටුවක් ම මේ ආකාරයට වැය කිරීම සාධාරණ ද යන්නයි.

ඒ කවි පොතේ පිටුවල තිබුණු සුදු ඉඩ කොටස්වල මට නම් තවත් ඒ ආකාරයේ කවි පොත් තුන හතරක් වුවත් ලිවීමට ඉඩ තිබුණි!

ඇත්තටම, කවි පොත්වල වචන කිහිපයක, පේළි කිහිපයක, කෙටි කවි පල කිරීම යනු විශාල නාස්තියක් නොවේද?

හයිකු කවි යනු මෙහිදී ප්‍රධාන වරදකරුවා ය.

මෙවැනි කවි මුද්‍රණය කළ යුත්තේ කවි කිහිපයක්ම කොළම් කිහිපයකට එක පිටුවේ යොදා යැයි මට සිතේ.

කෙටි කවි පිළිබඳ මගේ අදහස එසේ ය.

කවි පොතක් පළ කිරීමේ දී, ඒ සඳහා වැයවෙන සම්පත්වලින් උපරිම උපයෝගීතාවය ලබා ගැනීමට නම් ලිවිය යුත්තේ පහත දැක්වෙන ආකාරයේ දිගු වැකි ඇති කවි නොවේ ද?
කන්න නොමැතිව බොන්න නොමැතිව අපට ඇතිමුත් පුරුදු වී දුක
බැන්ද බලකොටු රැකිය යුතු වෙමු, තවත් බලකොටු රකිමු මේ ලක
පන්තියේ වුවමනාවන් මත රටම ඇත පිබිදෙමින් නෑ සැක
කන්දසාමිගෙ සෝමපාලගෙ නමින් සහතික කරමු ඒ ටික
අනිවාර්යෙන් ම 1980 වසරේ අගෝස්තු මාසයෙන් පසුව ලිය වී ඇති මේ කවිය (ඒ නිගමනයට හේතුව දන්නවා නේද?) ඒ කාලයේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත්පත ලෙස ප්‍රකාශයට පත් වූ ඇත්ත පුවත් පතේ පළ වී තිබුණි.

කවිය ලියා තිබුණේ කලවානේ නිව්ටන් පෙරේරා නම් අයෙකි. එවකට මානාන හන්දියේ පිහිටි මත්පැන්හල පවත්වා ගෙන ගියේ ඔහු යැයි සිතමි.

පොත්වල මුද්‍රණය කළ යුත්තේ ඒ ආකාරයේ දිගු කවි නොවේද? අර පෙර කී කෙටි කවි දිග හැර පළ කළ නොහැකි ද? නැතිනම් කෙටි කවියක් හැකි තරම් දුරට ඇද පිටුවේ උසට මහතට ගැලපෙන පරිදි සකසා ගන්න බැරිද?

මේ බලන්න.
ඉපිද මැරේයැයි, යළි ඉපිදේ යැයි අමරදේව ගයනා ගීයේ පද
ලියුවේ කවුරුද කියලා අන්තර්ජාලේ පීරා සොයා බැලිමි අද
කරු අබෙසේකර නම් වූ කවියා ලියු බව කියවේ ඒ පදවැල සොඳ
තවත් වසර සියයක් ඒ ගීතය අමරණීය ලෙස පවතිනු නොමැතිද?
කෙටි කවි සහ දිගු කවි පිළිබඳ මගේ අදහස් එසේ ය.

මේ ලිපියේ මාතෘකාවට ඇතුළත් "තුන්වෙනි කොටස" ගැන සිතා ගැනීම කියවන ඔබට ඉතුරු කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා කුඩා කාලයේ දී කියවූ ඒ කවි පොතේ තිබුණු තවත් කවියකින් කොටසක් මෙසේ ය.
ගත සිත නළවන
කඳුකරයට මෙන්
ගංගොඩවිලටත් හඳ පායයි!
දෙල්කඳ, විජේරාම වැනි තවත් ස්ථාන නාම කිහිපයක් ම ඒ කවියේ අනෙක් පදවල ලියවී තිබුණි.

මේ කවියා එවකට විද්‍යෝදය නමින් හැඳින්වුණු විශ්ව විද්‍යාලයේ සිසුවෙකුව සිට ඇති කෙනෙකු විය යුතු යැයි මට සිතේ.

(image: http://www.intermissionsandsnipes.com/shop/1969-astro-intermission-dcp-full-scope/)

Tuesday 8 March 2016

එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956


බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි ඉගෙනීම යන මැයෙන් මා ලියා පළ කළ ලිපියට අදාළව, කියවූ අය විසින් තබන ලද ප්‍රතිචාර මත, සාකච්ඡාවක් ඇරඹීමට හොඳ අවස්ථාවක් තිබුණු නමුත් දින දෙක තුනක් තිස්සේ අධික ලෙස කාර්ය බහුල "වැඩ, වැඩ, වැඩ" තත්වයක් ඇති වූ නිසා අවාසනාවට එය මගහැරී ගියේය.

එනිසා, ඒ ලිපියෙන් පැන නැගුණු ප්‍රශ්නවලට පොදු පිළිතුරක් දීමට සිතුවෙමි.

මේ ලියන්නේ මවිසින් අසා කියවා දැනගෙන ඇති දේ සහ ඒ අනුව බැස ගන්නා ලද, මට සාපේක්‍ෂ, නිගමන ගැන බව අමුතුවෙන් කිව යුතු නැති වුණත්, වැඩි අවධානය පිණිස, එය සඳහන් කළ යුතුම ය.

මුලින්ම කිව යුත්තේ 1956 දී බණ්ඩාරයනායක බලයට පත්වෙන විට ලංකාවේ තිබූ සැබෑ තත්වය පිළිබඳව මූලික අත්දැකීම් අප කිසිවෙකුට නැති බවයි. අප දන්නේ අසා දැන ගත් දේ ය. එවැනි අත්දැකීම් ලද දේශපාලන අවබෝධයකින් යුතුව ඒ ගැන අද කතා කළ හැකි අයෙකු ගේ වයස අවුරුදු 80 ක් පමණ වෙනු ඇත.

දෙවෙනි කාරණය නම්, ඒ සිදුවීම්වලින් දශක හයකට පසු, අපට එහෙම නොවුණා නම් මෙහෙමය යනාදී ලෙස කළ හැක්කේ උපකල්පන පමණක් බවයි.

මා ද පෙර ලිපියේ එවැනි ප්‍රකාශයක් කර ඇත. එනම්, එදා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ නොතිබුණි යන්නයි.

තුන්වෙනි කාරණය නම්, එදා බණ්ඩාරනායක සැලසුම් කළ දේ ඒ ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයෙන් ම ද යන ප්‍රශ්නයයි.

ඔහු මුහුණ දුන් දේශපාලන විරෝධතා සහ ඉතා කෙටි කලකින් ම ඒ විරෝධී බලවේගවලින් එකක මෙහෙයවීමෙන් ඔහු මරා දමන ලද බවත් සැලකූ විට, මෙහිදී බණ්ඩාරනායක යනු සතුරා නොව ගොදුර බව පෙනේ.

මේ සම්බන්ධයෙන් මා අසා, කියවා ඇති කරුණු කාරණා අනුව මගේ කියවීම මෙසේය.

ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිතයක්ව තිබුණු අතර, 1948 දී නාමික නිදහස ලැබෙන විට, මුළු රාජ්‍ය තන්ත්‍රයම පවත්වාගෙන ගියේ ඉංගිලිසි භාෂාවෙනි. කටුනායක සහ ත්‍රිකුණාමලයේ පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය යුද කඳවුරු ඉවත් කර ගැනීමක් සිදු නොවුණි. බ්‍රිතාන්‍යයින්ට අයත් සමාගම් සහ දේපල විශාල වශයෙන් රටේ තිබුණි.

කොටින්ම ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ ද, බ්‍රිතාන්‍යයේ රජු වූ හයවෙනි ජෝර්ජ් ය.

ඒ ලද නිදහස සැබෑ නිදහසක් වීමට නම්, යටත් විජිත යුගයේ නටඹුන් එකිනෙක ඉවත් කළ යුතු බව පැහැදිලි ය.

මෙය, 1952 දී බණ්ඩාරනායක ගේ මූලිකත්වයෙන් පිහිටවූ සිරිලංකා එක, 1956 දී ආණ්ඩුව පිහිටවූ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය,කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු සියලුම වාමාංශික පක්‍ෂ පමණක් නොව, යූඇම්පීය ද එකඟ වූ කාරණයකි.

වෙනස තිබුණේ ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ කාල සටහන පිළිබඳ ප්‍රශ්න පමණකි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සැකසී තිබුණේ රාජ්‍යය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය නිපදවීමටයි.

රටේ සියලු දෙනාටම ඉංගිලිසි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉංගිලිසි ජාතික පාලකයින්ට තිබුණේ නැත. මක් නිසාද යත් රාජ්‍ය පරිපාලනය සඳහා හෝ වෙළඳ අංශයේ කටයුතු සඳහා එතරම් ලිපිකරුවන් සංඛ්‍යාවක් අවශ්‍ය නොවුණු හෙයිනි.

ගමේ ගොඩේ රජයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කෙරුණේ ස්වභාෂා මාධ්‍යයෙනි. ඒවායෙන් ඉගෙන ගන්නා අය යොදා ගැනුණේ ද, ඒ සමාජයට අදාළ රාජකාරි කටයුතු, එනම් ස්වභාෂා පාසල් ගුරුවරුන්, දේශීය වෙදුන්, නොතාරිස්වරුන් යනාදීන් බිහි කිරීමටයි.

කතෝලික පල්ලි ආශ්‍රයෙන් කතෝලික පාසල් ද, ඇමරිකන් මිෂනාරිවරුන් ඇරඹූ ක්‍රිස්තියානි පාසල් ද, වෙනත් ක්‍රිස්තියානි ආගමික සම්බන්ධකම් ඇති පාසල් ද, ඒ අච්චුවේ ම යමින් තවත් ඇමරිකන් මූලිකත්වය තිබූ පරමවිඥානාර්ථ සමාගම විසින් අරඹා තිබූ ආනන්ද, මහින්ද, ධර්මරාජ වැනි බෞද්ධ මිෂනාරි පාසල් ද ලංකාවේ තිබුණි.

ඒ සියල්ල මුදල් අයකරන පාසල් ය. ඒ පාසල්වලට තම දරුවන් යැවිය හැකි වූයේ යමක් කමක් ඇති අයට පමණි. ටී.බී. ඉලංගරත්න ගේ තිලක, අඹ යහළුවෝ, තිස්ස අබේසේකර ගේ බ්‍රින්ගින් ටෝනි හෝම්, ගුණදාස අමරසේකර ගේ ගමනක කතා මාලාවේ කොලොප්පං, බේගල්, මුසාවාදා අඩු මුල් කොටස් වැනි කෘති කියවා ඇති අයට ඒ තත්වය වටහා ගත හැකි වෙනු ඇත.

විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ තිස්ස අබේසේකර තම ජීවිතය ඇසුරෙන් ලියා ඇති බ්‍රින්ගින් ටෝනි හෝම් නම් කෘතියේ පාසල් ගාස්තු ගෙවීමට නොහැකිව විදුහල්පති මුණ ගැසීමට යන සිදුවීමක විස්තරය කියවද්දී, ඔහු මේ ලියන්නේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය ගැන බව දන්නා නිසා, මේ විශාල වැරදීමක් නොවේදැයි මට මුලින් සිතුණු බවයි. පන්නිපිටියේ ධර්මපාලය එදා සමාගමකින් පාලනය වූ ගාස්තු අය කරන පාසලකි!

ඉංගිලිසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීමේ කටයුතු සිදුවූ ආණ්ඩුවේ පාසල් වී නම් ඒ සෙන්ට්‍රල් කොලේජස් හෙවත් මධ්‍ය විද්‍යාල පමණක් යැයි සිතමි. මීට අමතරව, ඉංගිලිසිය ඉගැන්වීමේ මාධ්‍යය කර ගත් තවත් මහා විද්‍යාල ද සුලු සංඛ්‍යාවක් තියෙන්නට ඇත. මා දන්නා පරිදි, ද්වීතියික අධ්‍යාපනය පමණක් ලබා දුන් මේ පාසල්වලට ඇතුළත් වීමට ඉඩ ලැබුණේ මා දන්නා තරමින් ඉගෙනීමට ඉහළින් සමත්කම් දැක්වූ සිසු සිසුවියන් ට පමණි.

රටේ බහුතරයේ අවශ්‍යතාවය මත රාජ්‍ය භාෂාව ස්වභාෂා බවට පත් කරන්නට බණ්ඩාරනායක ගේ රජය ක්‍රියා කළ අතර, ඒ අනුව, රටේ අධ්‍යාපනය ද ස්වභාෂාවෙන් ලබා දෙන්නට තීරණය කෙරුණි.

ඉංගිලිසි ඉගෙනීම නැවැත්වීමක් හෝ ඉංගිලිසිය මුළුමනින්ම ඉවත් කර දැමීමක් මින් කිසිසේත් ම අදහස් වුණේ යැයි මම නොසිතමි.

කෙසේ වෙතත්, ඒ සමගම ලංකාවේ සමාජ දේශපාලන විප්ලවයක් ඇතිවිය. මාර්ටින් වික්‍රමසිංහ එදා ඒ වෙනස හැඳින්වූයේ බමුණු කුලයේ බිඳ වැටීම ලෙසයි.

රාජ්‍ය භාෂාව ඉංගිලිසියෙන් වෙනස් වීම ගැන අද දුක් වෙන්නන්, එසේ කරන්නේ, ඉංගිලිසියම දිගටම රාජ්‍ය භාෂාව ලෙස තිබුණා නම්, ඔවුන්ට ද ඒ බමුණු කුලයේ සාමාජිකයින්ව රටේ අන් අය අභිබවා වරප්‍රසාද භුක්ති විඳින්නට ඉඩ තිබුණා නොවේදෝ යන හැඟීම නිසා ය යන්න මගේ අදහසයි.

බමුණු කුලය බිඳ වැටීමෙන් පසු වූ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුවුණු වඩාත් ප්‍රගතිශීලි වෙනස වූයේ, ගම්බඳ දුප්පත් පවුල්වල දරුවන්ට පවා, සිංහලෙන්, දෙමළෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ක්‍ෂේත්‍රවලට පිවිසෙන්නට ඉඩ ලැබීමයි.

-රසිකොලොජිස්ට්

සැ/යු:
බණ්ඩාරනායක රජය විසින් රාජ්‍ය භාෂාව වෙනස් කිරීමේ දී උද්ගත වූ අමතර ප්‍රශ්නයක් වන සිංහල භාෂාව සහ දෙමළ භාෂාව පිළිබඳ කාරණය මෙහිදී මා හිතාමතාම සඳහන් නොකළේ එය මෙහි එන මූලික සාකච්ඡාව තරමක් පථයෙන් පිට යවන්නක් බැවිනි.

මේ ගැන බණ්ඩාරනායක බීබීසිය සමග කරන සාකච්ඡාවකින් කොටසක් මෙන්න.


(image: http://www.boi.lk/)

Sunday 6 March 2016

අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!


ලංකාවේ ප්‍රමුඛ දේශපාලන බ්ලොග්කරුවෙකු වෙන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා යනු කවුද කියා නොදන්නා අයෙකු මේ ලිපිය කියවන්නන් අතර නැති බව මට සැක නැතුව කිව හැක.

කොටින්ම ඉඳහිට පමණක් රසිකොලොජි බ්ලොගය කියවන මගේ මව පවා දැන් පැරාව හඳුනයි. ඒ නම් පැරා ගේ බ්ලොග්කරනය නිසා නොව, මගෙන් ආරංචිය ලැබ ඇය පසුගිය දිනයක හවස් වරුවේ පියෝ ටීවී සේවය හරහා පැරා රඟ පෑ ආයුබෝවන් - සුබ දවසක් එපිසෝඩය නැරඹූ නිසාවෙනි.

http://www.rupavahini.lk/magazine-programmes/ayubowan-subha-dawasak/10267-2016-03-02.html

ෆේස්බුක් නොහොත් ෆේස්බුක් ජාලය හරහා දේශපාලනය කිරීම ගැන කතා කිරීමට පැරාව කැඳවා තිබීම ගැන මට ඇති වූයේ මුලින් ඇතිවූයේ තරමක විමතියකි. එයට හේතුව, වසර 2009 සිට නොකඩවා පවත්වාගෙන යන W3Lanka බ්ලොගයට සහ ලංකා පොලිටි, මතුගම වැනි අවශේෂ බ්ලොගයන්ට අමතරව, තමන් මෙතෙක් දැරූ රජයේ උප ගුරු තනතුරෙන් ඉවත් වී දැන් එක්සත් ජාතීන් ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක සේවය කරමින් http://kiyanna.lk/ බ්ලොගය හරහා පූර්ණකාලීනව බ්ලොග්කරනයේ යෙදෙන පැරා යනු ේස්බුක් ජාලයේ දී නිතර මුණ ගැසෙන චරිතයක් වුවද, එහිදී ෆේස්බුක් දේශපාලනය යැයි සුවිශේෂීව හඳුනා ගත හැකි අමුතු චර්යාවක් මා ඔහුගෙන් දැක නො තිබුණු නිසාවෙනි.

තමන් ගේ බ්ලොග් ලිපිවල සබැඳි, අන්තර්ගතයන් තවත් දේශපාලනික වැදගත්කමක් ඇති දේ ෆේස්බුක් ජාලයට මුදාහැරීම සහ ඒ හා සම්බන්ධව ප්‍රතිචාර දක්වනවාට අමතරව, වෙනත් දේශපාලන සංවාදයක පැරා නිරත වී සිටිනු මා නම් දැක නැත. කොටින්ම, මා ද ඉඳහිට සාකච්ඡාවලට එහෙන් මෙහෙන් සම්බන්ධ වෙන තුලාව, අම්බලම, ඔක්කොම ඇඩ්ඩිං වැනි ෆෙස්බුක් කණ්ඩායම්වල පවා පැරා ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි මම නො සිතමි.

සමහර විට ඊට වඩා උත්තර සංවාද කෙරෙන, මා නොදන්නා, ෆේස්බුක් වේදිකා තියෙනවා විය හැක.

තමා ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතන්නට යන බව පවසමින් පැරා විසින් ෆේස්බුක් ජාලයේ තබා තිබූ සටහනට ප්‍රතිචාර ලෙස "මං හිතන්නේ පැරා මෙතැනදී නිරීක්‍ෂකයෙකු සහ විශ්ලේෂකයෙකු පමණයි. ෆෙස්බුක් දේශපාලනය කියන්නේ බ්ලොග් ලින්ක්/කෙන්ටෙන්ට් ෂෙයා කරන එක නොවෙයි නේ" මා ලියූවේ ඒ නිසා ය.

එදින සවස නිවසට විත් අන්තර්ජාලය හරහා ඒ වැඩසටහන නරඹන විට තේරුම් ගියේ, පොට වරද්දාගෙන ඇත්තේ, කිසිසේත් ම පැරා නොව, මේ වැඩසටහනේ නිෂ්පාදකවරු බවයි.

පැරාව එදා ජාතික රූපවාහිනියට කැඳවා තිබුණේ් ඔහු ගේ W3Lanka බ්ලොගය සහ පොදුවේ සිංහල බ්ලොග්කරනය ගැන සාකච්ඡාවකට යි. එතැනදී සිදුවුණේත් එයයි. ෆෙස්බුක් නම හෝ යොදා ගැනුණේ ඒ රූපවාහිනී වැඩසටහන ගැන කෙරුණු සඳහන්වල දී පමණ ය. මට පෙනුණු ආකාරයට නම් වැඩසටහන මෙහෙයවු තැතැනත්තා ෆෙස්බුක් සහ බ්ලොග් අතර වෙනස එසේත් නැතිනම් ෆේස්බුක් ගිණුමක සහ බ්ලොග් අඩවියක වෙනස හෝ නිවැරදිව නොදන්නා අයෙකි.

බොහෝ විට එය වැරදි නිගමයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ වැඩසටහන නැරඹූ සාමාන්‍ය අයෙකුට ඒ කාරණා ගැන අවබෝධයක් ලැබුණේ යැයි කිසිසේත්ම කිව නොහැක.

කොටින් ම මගේ මව වැනි අයෙකු සිතනවා ඇත්තේ, අජිත් පැරකුම් ජයසිංහ නමැත්තෙකු W3Lanka නමින් ෆෙස්බුක්හි යෝජිත ඉට්කා ගිවිසුම පිළිබඳව පසසමින් ලිපි ලියන බවත්, රසික හරිශ්වන්ද්‍ර සූරියආරච්චි නම් අයෙකු ඒ කර්තව්‍යය ලඝු කොට සලකමින් ප්‍රතිචාරයක් යොදා ඇති බවත් ය.

සිංහල බ්ලොග් දේශපාලනය පිළිබඳ තම අදහස් දක්වමින් අජිත් පැරකුම් ජයසිංහ අද සහභාගී වුණු රූපවාහිනී සාකච්ඡාවේ දී දැක්වූ වැදහත් කරුණුවලින් මා සිත් ගත් එක කරුණක් නම් සිංහල බ්ලොග්කරුවන් විසින් සිංහල අන්තර්ගතයන් අන්තර්ජාලයට එක් කරමින් මේ කරන්නේ දේශප්‍රේමී (ඇත්තමට භාෂාප්‍රේමී) ක්‍ර්‍රියාවක් ය යන්නයි.

එදා වැඩ සටනහේ දී පැවසුණු පරිදි, මෑතක දී සිට තම වෘත්තිය ලෙස බ්ලොග්කරනයේ යෙදෙන මා මිතුරු අජිත් පැරකුම් ජයසිංහට ඒ සම්බන්ධයෙන් සුබ පතන්නට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ඇත්තටම 2009 දෙසැම්බරයේ තරම් ඈත කාලයකදී ද, මගේ වෘත්තිය ලෙස බ්ලොගර් යනුවෙන් මා ගුවන් තොටුපළ ගොඩ බසින් පත්‍ර්‍රිකාවල සඳහන් කර ඇති වුව ද, එය හුදෙක් විහිළුවක් පමණි.

වෘත්තිමය බ්ලොග්කරුවෙකු යනු, වැටුප් ලබන රාජකාරිය ලෙස යම් ආයතනයක් හෝ සංවිධානයක් වෙනුවෙන් බ්ලොග් ලියන්නෙකු නොව තමන් ගේ බ්ලොග් ලිපි හරහා ස්වාධීනව මුදල් උපයාගන්නෙකු බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒ ආකාරයේ මුදල් උපයා ගැනීමට සෘජු වෙළඳ දැන්වීම්, වෙළඳ භාණ්ඩ ගැන ලිවීම් වැනි එතරම් පිරිසිදු නොවන කර්තව්‍යයන් හි නිරත වීමට සිදුවෙන බව නොරහසකි.

වැදගත් ආයතනයක වැදගත් අරමුණු වෙනුවෙන් ලිපි ලිවීම ඊට වඩා දාහෙන් සම්පතක් බව කිව යුතුය.

ඔහොම යං පැරා, ඔහොම යං!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ දිනවල ගුවන් තොටුපළ ගොඩ බැසීමේ පත්‍රිකාවල මා වෘත්තිය ලෙස බ්ලොගර් යැයි සඳහන් කළ ද දැන් නම් බොහෝ විට ලියන්නේ MYOB කියාය.

මේ MYOB මුලකුරුවලින් කියවෙන්නේ Mind Your Own Business යන්නයි. නමුත් MYOB නමින් ගණකාධිකාරී වෘත්තියේ පොත් තැබීමේ කාර්යය සඳහා භාවිතා වෙන මෘදුකාංගයක් ද ඇති නිසා හොඳ වෙලාවට එය ද්විත්ව අදහසක් දෙන යෙදුමකි.

(image: http://www.w3lanka.com/2016/03/blog-post_2.html)

Thursday 3 March 2016

බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English


සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද, සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බැණ වදින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංගිලිසිය දෝරේ ගලමින් තිබුණු බවයි. හැම ළමයෙකුට ම ඉංගිලිසියෙන් ඉගෙන ගන්නට හෝ අඩු වශයෙන් ඉංගිලිසි ඉගෙන ගන්නට හෝ පහසුකම් තිබුණු බවයි.

නමුත් මා මගේ පියාගෙන් අසා දැනගෙන ඇති ආකාරයට ඔහු පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංගිලිසියෙන් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වී ඇත්තේ සිංහල භාෂාවයි.

ගුණදාස අමරසේකර ලියූ ගමනක නවකතා මාලාවේ කොලොප්පං අඩු මුල් කොටස් කියවීමේ දී නගරයේ කොලීජියකට ඇතුළු වී මුල සිටම ඉංගිලිසි ඉගෙනීම යනු සල්ලිය බාගේ තරමක් හෝ ඇති පවුලක දරුවන්ට පමණක් තිබුණු වරප්‍රසාදයක් බව පැහැදිලි වෙනු ඇත.

මගේ පියා ගේ කාලයේ ඒ ගම්බද වර්නකියුලර් ඉගෙනීම අවසානයේ දී ලබාගත හැකි වූ ඉහළම රැකියාව වූයේ එක්කෝ උප ගුරු තනතුරකි, නැතිනම් පසුව වෙනත් අධ්‍යාපනයක් ලබා ආයුර්වේද වෙදකමකි. එසේත් නැතිනම් නොතාරිස් තනතුරකි. ගම් මුලාදෑනි තනතුර පැවතියේ පරම්පරා උරුමයක් ලෙසයි.

ඒ අනුව යමින් සිංහලෙන් ගමේ අධ්‍යාපනය ලබා, පාසල් ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹුවද, ස්වෝත්සාහයෙන් ඉංගිලිසිය ඉගෙන මගේ පියා අධ්‍යාපනයෙන් ඉහළට ගිය ආකාරය වෙනම ම ලියා තැබිය යුතු කතාවකි.

මගේ මව ගේ කාලය වන විට, ලංකාවේ ස්ථාන අතළොස්සක සෙන්ට්‍රල් කොලීජි හෙවත් මධ්‍ය විද්‍යාල ගොඩ නැගී ඒවායේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද හයවෙනි ශ්‍රේණියේ සිට හෝ ඉගෙනීමට ඉඩ ලැබී තිබුණි.

කලවාන පාසලේ ඉගෙන ගනිමින් සිටි ඇගේ දෙමව්පියන් විසින් ඉංගිලිසියෙන් ඉගෙන ගැනීම සඳහා මගේ මව රත්නපුර ජේසු දරුවා ගේ කන්‍යාරාමයට ඇතුළත් කළ විට ඇයව පන්ති දෙකක් පහළට දමා ඇත්තේ එතෙක් ගමේ පාසලේ දී ඇය ලබා තිබුණු ඉංගිලිසි දැනුමට සාපේක්‍ෂවයි. කෙසේ නමුත්, යාන්තම් තෙමසක් ගත වූ පසු, ආර්ථික ප්‍රශ්න සහ නවාතැන් ප්‍රශ්න යනාදී විවිධ හේතු නිසා ඇයට එතැනින් ආපසු ගමට ඒමට සිදුවී ඇත.

පසුව අටවැන්නේ විභාගය ඉහළින් සමත්ව ඇයට ඉංගිලිසියෙන් ඉගෙනීම සඳහා කරවිට මධ්‍ය විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ ලැබී ඇත. නමුත්, එහි දී ද තම ඉංගිරිසි දැනුම තවත් අඩු බව වැටහුණු නිසා අවසානයේ දී සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොස්වත්තේ විද්‍යාලයට පල්ලම් බැසීමට ඇයට සිදුව ඇති අතර ඇගේ ඉංගිලිසියෙන් ඉගෙනීම ඒ අනුව අඩාල වී ඇත.

මගේ මව සිංහල මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 1957 දී, එනම්, සිංහල රාජ්‍ය භාෂාව වෙන්නට දෙවසරකට පමණ කලින් ය. එසේම, ඒ රජයේ සියලු පාසල්වල ස්වභාෂා මාධයෙන් ඉගැන්වීම අරඹන්නට පස් වසරකට පමණ පෙර කාලයයි.

බණ්ඩාරනායක රජය සමයේ දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ තිබුණේ යැයි මට නම් කිසිසේත්ම නො සිතේ.

ඒ සමගම පැවසිය යුතු මේ පිළිබඳ මගේ මතය වෙන්නේ, අප වරද්දා ගත්තේ ඉංගිලිසියෙන් ඉගෙනීම සහ ඉංගිලිසි භාෂාව විෂයයක් ලෙසින් ඉගෙනීම වෙන් කර හඳුනා නොගැනීම නිසා බවයි.

ඉංගිලිසි මාධයෙන් ඉගෙනීමේ සිට සිංහල මාධ්‍යයට මාරු වීම යනු, විෂයයක් ලෙස ඉංගිලිසි භාෂාව ඉගෙනීමට අත් හැරීමට හේතුවක් නොවේ.

නමුත්, මගේ මවගෙන් පසු පරම්පරාවල ඇත්තන් බහුතරයක් කර ඇත්තේ ද එයම ය.

අපේ විශ්ව විද්‍යාල කාලයේ ද පළමු වසර ශිෂ්‍යයින්, ඉතාමත් ලෙහෙසියෙන් මග හැරියේ ඉංගිරිසි පන්තියයි.

-රසිකොලොජිස්ට්

(image: BBC video)

Tuesday 1 March 2016

සිඩ්නි තදාසන්නයේ විදුලි දුම්රිය මැදිරියක දී කළ පොඩි අත්හදා බැලීමකි - Experimental Poetry from North Sydney


පසුගිය සතියේ දවසක සේවය නිමා කර උතුරු සිඩ්නි දුම්රිය ස්ථානයට පැමිණ හයයි පහේ කෝච්චිය එනතුරු සිටි වෙලේ පොඩි කවි සිතුවිල්ලක් සිතට නැගුණි.

එය මෙසේ ය.
සිඩ්නි නගරයේ සිට බටහිර බලා දවෙන තදාසන්න දුම්රියක ගමන් කරන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු මගියෙකුට යාබද අසුනක වාඩි වී සිටින ඉන්දියානු ජාතිකයෙකු ගේ දුරකතනයේ වාදනය වෙන පැරණි හින්දි ගීයක තනුව ඇසේ. එය ශ්‍රී ලාංකිකයාට සිහිපත් කරන්නේ තමා ගැටවර වියේ දී අසා තිබුණු සිංහල විරහ ගීයකි. ඒ හරහා ඔහු "ඩවුන් ද මෙමෙරි ලේන්" ගමනක නිරත වෙයි.
එදා පැයක දුම්රිය ගමනේ දී නිදා වැටුණු වේලාවල දී හැර අන් සෑම මොහොතකදී ම පාහේ මා කළේ ඒ සිතුවිල්ල කවියට නැගීමයි.

පසුදා, උදේ කාර්යාලය බලා යන ගමනේ කොටසක දී ද, ලියවුණු දේ තරමක් සංස්කරණය කළෙමි. ඉන් පසු ඒ ලියවිල්ල හමස් පෙට්ටියේ තැන්පත් විය.

ඊයේ හවස යළිත් ඒ කවිය ඇස ගැටුණු විට, මට යම් විකාර සිතුවිල්ලක් ඇති වුණි. එය නම්, පැරණි විරහ ගී කිහිපයක පද මගේ කවියට මුසු කිරීමයි!

මේ ඒ අනුව "රී-මික්ස්" කළ මගේ කවියයි.

කාලෙකට පස්සේ-

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඬෙව්වද?
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්වද?
අවසාන වතාවට
ඇසුණු දිනය ද අමතක
පැරණි ඉමිහිරි ගීයක්
කොහේදෝ සිට කෙඳිරුනා
දුරක අහසේ පාවෙන
සුදු වලාකුළු කැටියක්
මැදිරි කවුළුව අතරින්
දසන් විහිදා හිනැහුනා
කොහේ සිට මෙහි ආවෙද
හිතා ගන්නට නොම හැකි
නිල් පාට මල් පෙත්තක්
දොර අසල බිම වැතිරුණා
ගොඩක් කලකට පස්සේ
මගේ සිත එක් කෙළවරක
ඔබ ගැන ම පබැදී
මියුරු කවියක් මතුවුණා!
සිහින දෙව්දුවේ, ඔබට තුන්ලොවේ
එකම නමයි මා දන්නේ, ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ, ඒ නම ආදරේ
ගෙවී ගිය ඒ වසන්තය
සුවඳ වියැකුණු කුසුමකි
යළිත් කිසිදා නොම එන
සිහිනයකි, පෙණ බුබුලකි
හදේ ගොළුවුණු පැතුමන්
නිරතුරුව ළතැවිල්ලකි
නැගෙන මේ කවි සිතුවිලි
විටෙක මද සැනසිල්ලකි
ඔබ තරමට මා නැළවූ, ඔබ තරමට මා හැඬ වූ
වෙන කෙනෙක් නොමැත දියතේ
හස හැඟුම් පෙළට පණ දී, ජීවන නාලිය පරිදී
පෙර වෙලී සිටිය සුරතේ
සිතූමතේ ඇදී ගිය
විසල් දුම්රිය බඳ
කෙමෙන් වේගය අඩු කළා
ගමන අවසන ළඟයි
කහ පැහැති අකුරු පෙළ
යළිත් මට ඉඟි කළා
දුක් මල්ල උරහිසේ
දෙපස රිදුම ද වැඩි කළා
තවත් දිනයක අගට
ජීවිතය පැමිණ ඇත
සිත සනිටුහන් කළා!
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්


-රසිකොලොජිස්ට්

(Image: http://www.androidauthority.com/how-to-create-free-ringtones-for-your-android-phone-using-youtube-videos-34848/)