Friday 3 June 2016

සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා! - Oh, what a feeling!


දෙමව්පියන් ලංකාවේ සිටියදී, රටෙන් නික්ම ගොස් නොරටක ජීවත්වීම යනු තරමක දුක්බර තත්වයකි. දුරකථන යනු දුලබ සුඛෝපභෝගී මට්ටමේ පහසුකමක් වූ කාලයේ දෙරකට සිටින අය අතර සන්නිවේදනය බොහෝ දුරට ලිපි හුවමාරුවට සීමා විය.

වසර 2005 අගෝස්තුවේ දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මගේ බිරිඳ සහ මා විසින් හැකි සෑම විටෙක දුරකථනයෙන් දෙමව්පියන් හා කතා බහ කළෙමු, නැතහොත්, සොහොයුරන් ගේ කාර්යාලවලට කතා බර තොරතුරු දැන ගත්තෙමු. එකල පැවති දුරකථන ගාස්තුවල තත්වය කෙසේ ද යත්, මා මින් පෙර ලියා පල කළ ලිපියක සඳහන් කළ ආකාරයට, මාස විසි දෙකක් ඇතුළත අප මෙල්බර්න් සිට ලංකාවට කතා කිරීමට වැය කළ මුදල, ඒ කාලයේ ලංකාවට ගොස් ඒමට ගුවන් ටිකට් පතක් සඳහා වැයවුණු මුදලෙන් 85% ක් වී තිබුණි.

මා මුලින් ම ජංගම දුරකථනයක් මිලට ගන්නට සිතුවේ ද, සිඩ්නි නගරය බලා කළ සතියක චාරිකාවක් අතරතුර දෙමව්පියන් හා අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඇති වූ සැබෑ අවශ්‍යතාව නිසා මිස සෙල්ලම් බඩුවකට ඇති වූ ආශාවක් නිසා නොවේ.

එසේ නමුත්, ජංගම දුරකථනයකින් ලංකාවට ඇමතුම් ගැනීම යනු ඉතා විශාල පිරිවැයක් සහිත කටයුත්තක් විය.

අප මුලින් ඔප්ටස් සමාගම හරහා විනාඩියක් සඳහා ඩොලර් එකයි ශත අටක් ගෙවමින් ගත් ඇමතුම් පසුව වෙනත් සමාගම් හරහා ඊට වඩා අඩු මුදලට කිරීමට හැකි විය.

ඊළඟට පැමිණි කෝලින් කාඩ් ක්‍රමය යටතේ, මේ ගාස්තු ඉතා ශීඝ්‍ර ලෙස පහත බැස්සේ ය. එයට මූලික හේතුව ඉන්ටර්නෙට් හරහා දුරකථන පණිවිඩ යැවීමට හැකි වීමයි. ඒ සමගම අනූවේ දශකයේ මුල් භාගයේ සිට ඕස්ට්‍රේලියාවේ ආරම්භ කර තිබුණු දුරකථන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමා එය තරගකාරී කිරීමේ වැඩපිළිවෙළ ද මේ ගාස්තු අඩු වීමට හේතු විය.

අප අවසානයට භාවිතා කළ කෝලින් කාඩ්වලින් විනාඩියකට වැය වූයේ ඕස්ට්‍රේලියානු ශත දහයක් පහළොවක් අතර මුදලකි.

ජීවිතයේ මුල් වරට 1998 දී මිලට ගත් එරික්සන් කට්ටේ කාලය නිමවත්ම මම හුරුබුහුටි නෝකියාවකට ද, එතැනින් වඩාත් හුරුබුහුටි හෑන්ඩ්-මී-ඩවුන් නෝකියාවකට ද මාරු වීමි. මෙහි දී හෑන්ඩ්-මී-ඩවුන් යනුවෙන් අදහස් කෙරුණේ, ඒ නොකියාව මා බිරිඳ විසින් දෙවසරක් තිස්සේ භාවිතා කර පසු දුරකථන සමාගම සමග ගිවිසුම අවසාන වී තිබුණු නිසා ය.

හොඳ තණකොළ සොයා විශ්ව විද්‍යාල සේවයෙන් ඉවත් වී ප්‍රාන්ත රජයේ ආණ්ඩුවේ රස්සාවකට පැනගත් පසු, මගේ කළමනාකරුවා භාවිතා කළ බ්ලැක්බෙරියට හිත ගිය නමුත්, එවැන්නක් රාජකාරී මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ලබා ගැනීම සාධාරණීකරණය කරන්නට මට නොහැකි විය.

"සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා" තත්වය එලැබුණේ ඊට කාලයකට පසු 2010 මාර්තුවේ දී ය!

මා සතු කර ගත්තේ බ්ලැක්බෙරියක හැඩරුව මෙන්ම ගතිගුණ ද, වැඩකිඩ ද තිබුණු නොකියා E-63 මොඩලයේ ජංගම දුරකථනයකි. ඒ එවකට හචිසන් සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ 3-මොබයිල් නම් සමාගමෙනි. ඒ සඳහා මට අත්පිට ගෙවිය යුතු වූයේ ඩොලර් 160 ක් පමණි. මගේ මාස විසි හතරේ කොන්ත්‍රාත්තු මුදල මසකට ඩොලර් 29 ක් විය.

මේ පොට්ටනියේ (හෙවත් පැකේජයේ) තිබුණු වැදගත් ම විශේෂාංගය වූයේ මට මසකට ලංකාවේ දුරකථනවලට ඩොලර් 150 ක් වටිනා ඇමතුම් ලබා ගැනීමට හැකි වීමයි!

මේ සමාගමේ ඇමතුම් ගාස්තු ඉතා ඉහළ වුවත්, සෑම ඇමතුමක් සඳහා ම සම්බන්ධ කිරීමේ ගාස්තුවක් අය කෙරුණත්, ඒ ඩොලර් 150 කෝටාවෙන් අපට ලංකාවට පැය දෙකක් පමණ වේලාවක් ඇමතිය හැකි විය. ඒ ඩොලර් දහයේ කෝලින් කාඩ් කෙ තුනක වටිනාකමයි.

මීට අමතරව, මට මසකට ගිගා බයිට් එකක දත්ත කෝටාවක් සහිත ජංගම මොඩමයක් හෙවත් ලංකාවේ භාෂාවෙන් කියනවා නම් ඩොංගලයක් ද ලැබුණි.

බිරිඳ සහ දියණිය ගේ දුරකථනද මේ 3-මොබයිල් සමාගමේ ජාලය භාවිතා කළ ඒවා වූ නිසා, පවුලේ ඇමතුම් සියල්ල නොමිලේ වීම බෝනසයක් විය.

සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා තත්වය වඩාත් ප්‍රසන්න වූ බව කිව හැකිය.

අද මෙන් ඇඟිල්ලෙන් ඇල්ලු විට ක්‍රියාත්මක වෙන ආකාරයේ ස්මාට්බවක් නොතිබුණද, ඊ-මේල්, වෙබ්, වීඩියෝ ඇමතුම් පහසුකම තිබුණු මගේ නොකියා E-63, එතෙක් මා භාවිතා කළ ජංගම දුරකථනය හා සසඳන විට, නන්ද කුමරා දිව්‍යලෝකයේ දී දුටු සුරඟනක සේ දිස්වුනි.

මසකට පමණ පසු 2010 අප්‍රියෙල් මාසයේ මැද දිනෙක, මගේ පියා අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කළ පුවත ලැබී, වහාම ලංකාව ඒමට කටයුතු කරන අතරතුර දී, සොහොයුරියක ගේ මිතුරෙකු සතු වූ, වීඩියෝ ඇමතුම් පහසුකම ඇති ජංගම දුරකථනක් රෝහලට යවා, වීඩියෝ ඇමතුමක් මගින් පියා දෑසින් දැක ගන්නට ලැබීම, මේ නොකියා E-63 දුරකථනයෙන් මා ලද ලොකුම ප්‍රයෝජනයයි.

මා වසර දෙකකුත් මාස හතක් තිස්සේ භාවිතා කළ ඒ නොකියාව 2012 සැප්තැම්බරයේ සිට තවමත් ලංකාවේ සුරක්‍ෂිතව ඇත.

නොකියා මොඩලය නිවැරදිව කුමක්දැයි නිශ්විතව දැන ගන්නට මා අද උදෑසනම මල්ලිකා පුංචි අම්මාට ඇමතුමක් දුන්නේ ඒ ජංගම දුරකථනයට ම ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.dailymobile.net/2008/11/30/nokia-e63-pictures-and-camera-samples/)

11 comments:

  1. Ela ela.

    Well done mate ! Cheers !

    ReplyDelete
    Replies
  2. අදාල නැතිවුනත්,
    දුරකතන ගාස්තුවල තියන මෙව්ව එක නැතිවුනේ තාක්ෂණයත් එක්කමයි. දැං ඔය වයිබර් ස්කයිප් වගේ දේවල් නොතිබුනා නම් තාමත් හූල්ලන්නයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අදාලයි.

      නමුත් වයිබර්, ස්කයිප් එන්න කාළෙකට කලින් 2000 දි විතර තමයි VoIP කෝල්ස් දෙන්න පටන් ගත්තේ කෝලින් කාඩ් කොම්පැනිවලින්.

      /* ඊළඟට පැමිණි කෝලින් කාඩ් ක්‍රමය යටතේ, මේ ගාස්තු ඉතා ශීඝ්‍ර ලෙස පහත බැස්සේ ය. එයට මූලික හේතුව ඉන්ටර්නෙට් හරහා දුරකථන පණිවිඩ යැවීමට හැකි වීමයි. */

      Delete
    2. 2004 දී ශ්‍රී ලංකාවේ මා සේවයකළ ආයතනයට VoIP දුරකතනයක් ගෙන කැනඩාවට කතා කිරීම අපුරු අද්දැකීමක් උනා

      Delete
  3. කොහොම හරි බ්ලැක් බෙරි වගේ එකක් අරන් ඒකෙන් ලොකුම ප්‍රයෝජනේකුත් අරන් තියෙන්නෙ.
    ඉතිං තවත් දුර යනවද මේ කතාව.

    ReplyDelete
    Replies
    1. මේ කොටස 2010 මාර්තුවේ සිට 2012 සැප්තැම්බරය දක්වා කතාවයි. ඔක්තෝබරයේ දී අලුත් පරිච්ඡේදයක් එකතු වේ. ඊලඟට වුණු සංසිද්ධිය කලින් කියා ඇත.

      අවසානයට කිව යුත්තේ නවතම පරිච්ඡේදයයි.

      Delete
  4. E 63( Symbian OS 9.2, Series 60 v3.1 UI)අද වෙනකොට ඇන්ඩ්රොයිඩ්, ඇපල් ios නිසා වඳවෙලා ගියත් සිම්බියන් තමයි ලෝකේ ප්‍රථම ස්මාට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වගේම අදටත් හොඳම os එකක් කියලා බොහෝදෙනෙක් පිලිගන්න os එක. අඩුම රැම් භාවිතාව, බැටරි ආයු කාලය, අඩුම දත්ත භාවිතාව,තව තියනවා, මං හරි නේද?

    ReplyDelete
    Replies
    1. නමුත් ජනතා කැමැත්ත ලැබුණේ ඇන්ඩ්‍රොයිඩ්වලටයි

      Delete
  5. ඔව් ඒක ඇත්ත, එහෙම වෙන්න හේතුව සිම්බියන් ෆෝන්වල අධික මිල වගේම ඇන්ඩ්රොයිඩ් වල අවමමිල පරාසය.

    ReplyDelete
  6. අපි msn messenger වලින් පටන්ගෙන සෑහෙන දුරක් ඇවිල්ලා දැන්.. වයිබර්, ස්කයිප් වලින් ලෝකේ පුරා කතා කරද්දී, අපේ වැඩ පොලේ , වාට්ටුව ,කිලිනික් සහ ශල්‍යාගාරය අතර ගණුදෙනු සිදුවන්නේ වට්ස් ඇප් වලින් ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.