Monday 22 August 2016

සැප්තැම්බර් කිට්ටු කිට්ටු - It is that time of the year again


මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය, වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයින් ගේ දිනය වැනි බටහිර සංකල්පවලට විරුද්ධව පොර ටෝක් දෙන සුනිල් ආරියරත්නලා(*) වැනි පිරිස් පතුරවා හරින පසුගාමී මතවාදය නම්, අපි සැම දිනම අපේ මවට ආදරය කරමු, සැම දිනම අපේ පියාට ආදරය කරමු, සැම දිනම ලෝ වැසි සියලු දෙනාට ආදරය කරමු (ඒ විතරක් යැ, මෛත්‍රී ද කරමු!) එනිසා අපට ඔය බටහිරෙන් එන අර දිනය, මේ දිනය වැනි ආගන්තුක දේ එපෝ ය, යන්නයි.

නමුත් සැම දිනම නිදහසේ ඉන්නා අපට නිදහස් දිනයක් කුමට ද, සැම දිනම සිල් රැකගෙන ඉන්නා අපට පෝය දිනයක් කුමට ද යනුවෙන් පෙර කී තර්කය දිගු වෙනවා මා නම් දැක නැත.

මගේ මතය නම්, සැම දිනකම මවට සැබෑවටම ආදරය කරන, සැම දිනකම පියාට සැබෑවට ම ආදරය කරන, සැම දිනකම ලෝ වැසි සියලු දෙනාට ම සැබෑවටම ආදරය කරන, සැබෑවටම මෛත්‍රී කරන අයට, තවත් පිරිසක් ඒ ඒ ආදරය සුවිශේෂීව දැක්වීම සඳහා වෙන් වෙන් දින යොදා ගැනීම ගැන කිසිම රුදාවක් ඇති විය නොහැකි බවයි.

සාහිත්‍යයට ආදරය කිරීම ගැන ද කතාව එලෙස ම ය. මා කොස්සින්න ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලයේ ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ සාහිත්‍ය දිනයක් පැවැත්වුණු බවටත්, ඒ සඳහා පහේ පන්තියේ සිටි අප අතරින් රචනා ලිවීම සඳහා වූ තරගයට මා තේරී එයට සහභාගී වෙන්නට ගුරුවරුන් සමග ගම්පහ ගිය බවත් මගේ මතකයේ ඇත.

ඉන් පසුව නම්, ඒ ආකාරයේ සිංහල සාහිත්‍ය උත්සව පැවති බවක් මතකයට නොඑතත්, එකල නාට්‍යය තරග පැවති බවට නම් සාක්‍ෂි මා කලින් දිනයක ලියූ "ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..!" නම් ලිපියේ ලා සඳහන් කළෙමි.

කෙසේ වෙතත්, අද ලංකාවේ එක් සාහිත්‍ය දිනයක් නොව සාහිත්‍යය සඳහා පුරා මාසයක් ම ඇත.

සැප්තැම්බර් කිට්ටු, කිට්ටු යැයි සාහිත්‍ය මාසය එළැඹෙන බව කියමින් කොහෝ කුරුල්ලෙකු හඬ නගනු අද උදයේ මගේ සවනෙහි වැටුණි.

කොහෝ කුරුල්ලන් නාද කරන්නේ මාර්තුවේ එළැඹෙන වසන්තයේ දී බව මට නොකියන්න. ඒ උතුරු අර්ධ ගෝලයේ පිහිටි ලංකාවේ ය.

දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට වසන්තය එළැඹෙන්නේ සැප්තැම්බරයේ ය.

මෙවර බ්ලොග් වසන්තය ඇරඹීම සනිටුහන් කරමින් මා ලියූ ලිපියේ ද ඒ බව සඳහන් කළෙමි.

පැවති ශීත සිසිරය කෙමෙන් නිමවෙමින් පවතී. කප්පාදු කළ රෝස පඳුරු නව දළු මතු කරයි. උදෑසන හිරු පෑයීම ද කෙමෙන් කෙමෙන් සාමාන්‍ය වේලාවට පත්වෙමින් පවතී.

වසන්තය අත ළඟ ය.

සැප්තැම්බර් කිට්ටු කිට්ටු ය.

සැප්තැම්බරය සඳහා මගේ එකම අධිෂ්ඨානය නම්, ලංකාවේ සිටි ජනවාරියේ ද, අප්‍රියෙල් මාසයේ දී ද ගෙනා පොත් කිලෝ ගණනින් කිහිපයක් හෝ කියවීම ය. අඩු වශයෙන් අපේ සහෝදර බ්ලොග්කරුවන් ගේ පොත් ගොඩවත් කියවිය යුතුය.

හැපි සෙප්ටෙම්බර් ගයිස්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සුනිල් ආරියරත්න ගැන සඳහන් කළේ ඔහු ලියූ "වැලන්ටයින්" ගීතය නිසා ය. මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය පිළිබඳ ඔහු ගේ අදහස නොදනිමි.

"වැලන්ටයින්" ගීතය නම්, මා කැමති ගී දහසයට තබා, කැමති ගීත දහසටවත් ඇතුළත් නොවෙනු ඇත!

25 comments:

  1. ඔබ සැප්තැම්බර් මාසයේ පොත් ප්‍රදර්ශනයට යන්නේ නම් කරුණාකර පහත සඳහන් ජාතිකවාදී ලේඛකයින්ගේ පොත් පමණක් තෝරා මිළට ගෙන රට දැය වැඩ කරනු ඇතැයි සිතමු.

    ජාතිකවාදී රට දැය සමය හිතැති ලේඛක ලැයිස්තුව:

    1. දේශප්‍රේමී අනගාරික ධර්මපාල ජා. තුමා
    2. කුමාරතුංග මුනිදාස ජා. පඬිවරයානෝ
    3. ටිබැට් ජාතික එස්. මහින්ද ජා. හිමි
    4. ආචාර්ය නලින් ද සිල්වා ජා. මහතා
    5. ආචාර්ය ගුණදාස අමරසේකර ජා. මහතා
    6. ආචාර්ය සී. ඒ චන්ද්‍රප්‍රේම ජා. මහතා
    7. ආචාර්ය චන්න ජයසුමන ජා. මහතා
    8. ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ජා. මහතා

    ඉහත ලේඛකයින්ගේ පොත් බොහොමයක් විසිදුණු ප්‍රකාශයින්ගේ කුටියෙන් ඉතාම සාධාරණ මිළ ගණන් වලට ලබා ගත හැකි බවද දන්වමු.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. සමාවන්න. ජාතිකවාදී මාලින්ද සෙනෙවිරත්න මහතා මඟ හැරී තිබේ. පර බසින් ලිව්වත් එතුමාද ඉතාම ජාතිකවාදී ලේඛකයෙකි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. එතකොට මැවිසුරු චම්පික පා. රණවක පා. ම. ගේ පොත්?

      Delete
    3. මාලින්ද මහතා දැන් මධ්‍යස්ථ මතධාරියෙක් නෙව - අර රැවුල තියන නායකය ඉන්න කාලේ තමයි එතුමා ජාතිකවාදියෙක් වුනේ - නමුත් එතුමා සැබෑ ජාතිකවාදියෙක් නොවන බව ජාතික චින්තකයයන් (බුකියේ) පවසනු දුටුවා

      Delete
  2. මේ පාරත් දෙන්නේ කයි පද මද....?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. රසිකොලොජිය අරඹා මේ එළැඹෙන්නේ දෙවෙනි සැප්තැම්බරයයි. ගිය වසරේ දී සාහිත්‍ය මාසය වෙනුවෙන් මා ලියා පළ කළ ලිපි මෙන්න!

      1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart

      2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books

      3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life

      4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!

      5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!

      6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

      7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia

      8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya

      9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ

      .

      Delete
  3. ඔය වගේ සාහිත්‍ය මාසය පුරාම කකා හිටපු මගේ යාලුවෙක් පහේ පන්තියෙදි මලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. වැරදි අකුරක් කැවෙන්න ඇති.

      Delete
    2. හෙහ් හෙ ප්‍රසන්න. සමහර විට 'ණ' වගේ අකුරක් වෙන්න ඇති. ඕක උගුරේ හිර වුණාම මල සේක තමයි.

      Delete
    3. යාලුවන් මැරෙන ඇනෝ කවුද කියා හෙළිදරව් වුණා වගෙයි!

      Delete
  4. //කොහෝ කුරුල්ලන් නාද කරන්නේ මාර්තුවේ එළැඹෙන වසන්තයේ දී බව මට නොකියන්න.// කවුද එහෙම කියන්නෙ. මේ පැත්තෙනං අවුරුද්ද පුරාම කොහාල කෑගහනව.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හැමදාම අවුරුදු ය කියන එක නේ!

      Delete
  5. මගේ සැප්තැම්බර් බලාපොරොත්තුව නම් මගේ පොත් එකතුව තවත් තර කර ගැනීමයි.,

    ReplyDelete
    Replies
    1. සැප්තැම්බරයේ ඇතිවෙන සාහිත්‍ය උනන්දුව ඉතා හොඳයි, නමුත් පොත්වල මිල නම් ලොකු වෙනසක් නෑ. හැඟ ප්‍රකාශකයාම, හැඟදාම, තමන්ගේ කඩේ දී වට්ටම් දෙනවා. එහෙම දෙන්න හිතාගෙන තමයි මිල නියම කරන්නේ!

      Delete
  6. පොත පත කියවීමට ඇති කාලවේලාව ඉතාම සීමිත නිසා මෙවරත් මිලදී ගැනීමට සිතුවේ ප්‍රාථමික අධ්‍යාපනික පොත් කිහිපයක් හා හිතට අල්ලල ගියොත් සම්මාන දිනූ නවකතාව හා බාගේන් බුක්ෂොප් එකෙන් සෙකන්ඩ් හෑන්ඩ් ඉංගිරිසි නවකතා කිහිපයක් පමණයි - ඒ හැරුණු විට ජෝන් ඩේවි ලංකාව ගැන ලියූ පොතත් සොයාගන්න ඕන

    ReplyDelete
    Replies
    1. සැප්තැම්බරයේ පොත්වල මිල නම් ලොකු වෙනසක් නෑ.

      හැම ප්‍රකාශකයාම, හැඟදාම, තමන්ගේ කඩේ දී වට්ටම් දෙනවා. එහෙම දෙන්න හිතාගෙන තමයි මිල නියම කරන්නේ!

      විදෙස් ප්‍රකාශකයින් නම් හැමදාම කොළඹ දී නෑ නේ!

      Delete
  7. [img]https://4.bp.blogspot.com/-nHRRt_Er1mM/V7nb_9oPZpI/AAAAAAAAPFQ/5neCwcD3N9YnkL6uo862rLq75WCn1xsFwCLcB/s320/13962580_527291544130059_8774925092504064113_n.jpg[/img]

    ReplyDelete
  8. ගිය පාර ගත්ත සමහර පොත් තියෙනවා තාම කියවන්න බැරි උන.. :)

    ReplyDelete
    Replies
    1. ඒ දවස ඒවි.

      මං 2009 ගත්තු පොතුත් තාම තියෙනවා. ඊළගම 2012 පොත් ප්‍රදර්ශනයෙන් ගත්තු පොත්, 2014 දී, 20115 දෙසැමබරයේ, 2016 මාර්තුවේ ගත්තු පොත් කිලෝ පිටින් තාම කබඩ්වල!

      මැරෙන්න කලින් කියවමු!

      Delete
    2. මැරෙන්න කලින් කියවන්න මගේ ලගත් කලින් ගත්තු පොත් තියෙනවා.හොඳ විවේකයක් නැතුව පොතක් කියවන්න හිතක් නැහැනේ.

      Delete
  9. අපි හැමෝගෙම බලාපොරොත්තුව,
    "එන සැප්තැම්බරේ මගේ පොත් කොලෙක්ෂන් එක තව කිලෝ කීපෙකින් වැඩි කරගන්න ඕනා"

    කිලෝ ගානින් පොත් කියෝන රටක අපි ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කිලෝ කතාව මට නම් අදාලයි.

      මොකද ලංකාවෙන් අරගෙන කටුනායකින් බෑග් ගෙනියන්නේ කිලෝ ගාන මැනලා නේ!

      මැනලද පුතේ පොත් දුන්නේ මා නුඹට!

      Delete
  10. මම පොත් විසිගණනක් ගෙන්නුවා ගිය මාසේ, දැනටමත් තව ඉතුරු වෙලා තියෙන්නේ පොත් 2- 3 කියවන්න, ඔබ කියවන්නේ නැත්නම් ඔය රූපේ තියන පොත් ගොඩ මට දුන්නා නම් මම 1 සතියෙන් කියවලා ඉවර කරනවා..

    ReplyDelete
    Replies
    1. පොත් කියවන්න දෙන්නම්. මා ළඟ තවත් පොත් සිය් ගණනක් තියෙනවා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.