Tuesday 30 May 2017

නෙලා ගන්න බෑ නම් මක්කෙයි කොරන්නේ? - Unequal distribution of factors of production


සුනිල් ආරියරත්න ලියා නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" නම් ගීතය, මා දන්නා ආකාරයට කාරණා තුනක් නිසා, විචාරක අවධානයට ලක් වූවකි.

එයින් මුල් කාරණය නම්, මා ඊයේ ලියා පළ කළ "මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත" නම් සටහනේ සඳහන් වුනු පරිදි, සිංහල සාහිත්‍යයේ දී අප මල් උපමා කරන්නේ කාන්තාවන්ට නිසාත්, මල් නෙලීම යනුවෙන් අදහස් වෙන්නේ කාන්තාවක ගේ ආදරය ලබා ගැනීම පිළිබඳව නිසාත්, නන්දා මාලනී නමැති කාන්තාව මල් නෙලන්නට බැරියෝ කියා දුක් ගීයක් ගැයීමේ තිබෙන යම් නුහුරු බවක් නිසා ඇති වූ මේ ගීතය ලෙස්බියන් සමකාමී ආදරයක් පිළිබඳව ගැයෙන්නක් ද යන අදහසයි.

මගේ අදහස වන්නේ එය එසේ නොව, පිරිමියෙකු පිරිමි සිතකින් ලියූ ගීයක් කාන්තාවක් ගායනා කිරීම නිසා සිදු වූ අවුලක් බවයි. වෙනත් වචනවලින් කියතොත්, ඒ ගීය පද රචක සුනිල් ආරියරත්න ම ගායනා කළා නම්, කිසි අවුලක් නොදැනෙනු ඇත.

දෙවෙනි කාරණය වන්නේ "නෙලා ගන්න බෑ" ගීතය පිළිබඳව මීට සහමුළින් ම වෙනස් වූ විචාරයක් කළ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු වූ ද, සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ද, සුචරිත ගම්ලත් විසින් ඉදිරිපත් කළ අදහසයි. ඔහු ඒ විචාරය ඉදිරිපත් කරනු මා ඇසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂයෙකු ලෙස දිවි ගෙවූ සමයේ එක්තරා සෙනසුරදාවක අප සහභාගී වූ සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී ය.

පසුව කචල් වී ගියත්, එකල සුසංයෝගයකැයි කියවුනු සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙදෙනා සම්බන්ධ ගී නිර්මාණ සිංහල රසිකයින් අතර, විශේෂයෙන් ම තරුණ පිරිස් අතර, ජනප්‍රිය වීම ඇරඹුණු ඒ කාලයේ දී මේ සම්මන්ත්‍රණය සංවිධානය වී තිබුණේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ (Arts Faculty) ය. ඒ සඳහා සම්පත් දායකත්වය සැපයූවේ, එවකට විශ්වවිද්‍යාලය සේවය අහිමි වී සිටි පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස විශ්‍රාම ලැබූ සුචරිත ගම්ලත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මයිකල් ෆ්‍රනාන්දු සහ එම පීඨයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු වූ අත්තනායක හේරත් යන තිදෙනා ය.

මෙහි දී, මයිකල් ප්‍රනාන්දු සහ සුචරිත ගම්ලත් අතර සිදු වූ වචන හුවමාරුවක් මිසක, මයිකල් ප්‍රනාන්දු විසින් පවසන ලද කිසිදු කාරණාවක් මගේ මතකයේ රැඳුණේ නැත.

අත්තනායක හේරත් පැවසූ කරුණුවලින් මගේ මතකයේ රැඳුණු එක ම, එක් අතකට පිස්සු පීකුදු, කරුණ වූයේ මෙයයි.

නන්දා මාලනී ගැයූ අම්මාවරුණේ ගීතයට (එය රචනා කර තිබුණේ සුනිල් ආරියරත්න නොව ධර්මසිරි ගමගේ ය) සංගීතය සැපයීම සඳහා ජල තරංග නම් වාද්‍ය භාණ්ඩය භාවිතා කර ඇත. පෘථිවියේ ජීවය ඇරඹුණේ ජලයේ නිසා, සියලු සත්වයින් ගේ ම අම්මා ලෙස සැළකිය හැකි ජලය ආශ්‍රයෙන් බිහිවෙන ජල තරංග වාදනය, අම්මාවරුණේ ගීතයට යොදා ගැනීම සුවිශේෂී කාරණාවකි!

ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වීම නිසා මට අසන්නට ලැබුණු ජීවිතයට ම අමතක නොවන කාරණය වූයේ, සුචරිත ගම්ලත් විසින් "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතයේ පදමාලාව දරුණු ලෙස විවේචනයට භාජනය කරමින් කළ වෙනත් ආකාරයක අරුත් දැක්වීමයි.
නෙලා ගන්න බෑ
මගේ අත දිග නෑ
අනේ ඒත් තව මල් පිපියං
කෝටි ගණං තව මල් පිපියං

මට විතරද මල් පිපෙන්නෙ
මං විතරද මල් කඩන්නෙ
අනුං ඇවිත් මල් නෙළුවා වේ
මලේ සුවඳ මට දැණුනා වේ

අතින් නෙලන මල් පිපෙන්නෙ
පෙර පිණටයි මට හිතෙන්නෙ
මුළු ලොවට ම මල් පිපුණා වේ
එ මල් දකින ඇස් ලැබුණා වේ
සුචරිත ගම්ලත් අරුත් දැක් වූ ආකාරයට, මෙහි දී මල් යනුවෙන් අදහස් වෙන්නේ ධනයයි, මල් නෙලීම යනු ධනවාදී ආර්ථිකයේ දී ඒ ඵල නෙලා ගැනීමයි. සම්පත් බෙදී ඇති විෂම ආකාරය නිසා, ඒ මල් නෙලීම කළ හැක්කේ ධනපතියන්ට ම පමණි. නිර්ධනයින්ට ඒ මල් නෙලීමට අත දිග නැත!

ඒ හේතුව නිසා, එලෙස ධනපතියන්ට තව තවත් මල් නෙලා ගැනීමට ඉඩ ලැබේවා කියා ප්‍රාර්ථනය කරන මේ සුනිල් ආරියරත්න ලියූ, නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය අන්ත ප්‍රතිගාමී එකකි!

-රසිකොලොජිස්ට්

"නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය පිළිබඳව අපේ අවධානයට ලක් වූ කාරණා තුනක් ඇතැයි මම මේ සටහන ආරම්භයේ දී සඳහන් කළෙමි.

එයින් මේ සටහනට අදාලත්වයෙන් අඩු ම (තෙවන) කාරණය නම්, මේ ගීතයේ තනුව පදනම් කරගෙන, මේ පදමාලාව යම් ආකාරයකට වෙනස් කරමින්, බැඳුණු කුණුහරුප ගීතයයි.

(image: https://anticap.wordpress.com/2015/11/01/wage-labor-and-capital-revisited/)

12 comments:

  1. Xකාගන්න බෑ
    මගේ Xක දිග නෑ
    අනේ ඒත් තව Xතු පිපියන්
    කෝටිගනන් තව Xතු පිපියන්
    ......

    ReplyDelete
  2. 'මක්කෙයි කොරන්නේ' මේ විදියට කියන්නෙ දකුනෙ බාසාව අනුකරනය කරන අය​. දකුනෙ මිනිහෙක් ඕක කියන්නෙ මක්කයි මිසක් මක්කෙයි නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මක්කෙයි යන්න දකුණේ අනුකරණයක් තමයි.
      https://rasikalogy.blogspot.com/2016/11/roots.html

      කොරන්නේ කීම ජේආර් ගේ ඇක්සන්ට් එක අනුකරණයක්.

      Delete
  3. සුචරිත ගම්ලත්ට පෞද්ගලිකව මන් කැමති නෑ.

    ReplyDelete
  4. මල් නම් ධනයයි......
    තලියෙත් කිඹුල්ලු දකිනවා කියන්නෙ ඕකට තමා.

    ReplyDelete
    Replies
    1. ඒක පොර ගේ මාර්ක්ස්වාදී සාහිත්‍ය විචාරයයි.

      Delete
  5. මගේ අදහස සුචරිත ගම්ලත් කියන්නේ මං පොර හැඟීමෙන් හිස උදුම්මවාගත් පුද්ගලයෙක්. මෙවැනි උගතුන්ගෙන් සමාජයට වෙන යහපතට වඩා අයහපත වැඩියි. මෙවැනි නිර්දය විවේචකයින් නිසා අංකුර ලේඛකයින්, කවීන් කී දෙනෙක් සමාජයට නැති වෙන්න ඇතිද.

    ReplyDelete
    Replies
    1. ඔහු සිංහල භාෂාව පිළිබඳ අතිශය උගතෙක්. මං හිතන්නේ නෑ ඔහු හිස උදුම්මවාගත් පුද්ගලයෙක් ය කියා. නමුත් විකොස කාලේ ඔහු දේශපාලන කරුණු ගැන අන් අයට කිසිදු සමාවක් දුන්නේ නෑ!

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අසැබියැයැ සම්මත චවනයක් අඩංගු වූ නිර්නාමිකයෙකු ගේ ප්‍රතිචාරයක් සංස්කරණය කර පළ කරමි.
      ---------------------------------------

      ලංකාවේ වමේ උං කොච්චර කුහකද කියන එක තමා කියන්න තියෙන්නේ. තමන්ට නැති දේ අනුන්ට තියෙනකොට මුන් කරන්නේ මහන්සිවෙලා ඒ දේ හදා ගන්න් එක නෙවෙයිත අර තියෙන එකාට ඊරිසියාවේන උෘව නැති කරන්න හදන එක. ඕකෙම එක පැත්තක් තමහි නවක වදය කියන්නෙත්.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.