Sunday 31 December 2017

වාචාල බණ - Yet another year ends......


මා මේ දිනවල නිවාඩු සමය ගත කරන ලංකාවේ නිවසේ දින කිහිපයකට පෙර සාංගීක දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි.

තමන් සතු අතිරික්ත දේ අනුන් ගේ යහපත පිණිස දීම හොඳ කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. කිසිදු තර්කානුකූල පැහැදිලි කිරීමක් මා මේ වන තුරු අසා නැතත්, මේ දන්දීම් අතරින් සාංගීක දාන වඩාත් උතුම් බව බෞද්ධයින් ගේ පිළිගැනීමයි.

එදා සාංගීක දානයේ මුල් කොටසේ දී, නිවස පසුපස කාමරයට වී එකත්පස්ව මගේ පාඩුවේ සිටීමට හැකි වුවත් දානය අවසානයේ දී පැන් වැඩීමක් තිබුණු නිසා මට ඒ ප්‍රදේශයට යාමට සිදුවිය. එනිසා ම, ඒ අවස්ථාවේ දී දෙසන්නට යෙදුණා වූ, බුද්ධපුත්‍ර වචන ද මගේ සවනත ගැටුණි.

සුඛා සද්ධම්ම දේශනා නොවේ දෝ යැයි සිතමින් මම එහි තවදුරටත් රැඳී සිටියෙමි.

"අද දවසේ ඉපදෙන දරුවෙකු ගේ පරමායුෂ අවුරුදු කීයක් දැයි දන්නවා ද?" තම ධර්ම අනුශාසනාව අරඹමින් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑ වැදෑරූ දෑ ය.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත්, ඒ ප්‍රශ්නයට පිළිතුරක් මා අවසාන වරට බුද්ධාගම විෂයයක් ලෙස උගත් නමවෙනි ශ්‍රේණියේ දී හෝ ඉගෙන ගෙන නොතිබුණු බැවින් මම ද නිහඬව සිටියෙමි.

සමහරවිට මේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ මේ දිනවල සිනුවරට වඩිමින් සිටින උඩඊරියගම ධම්මජීව වැනි හිටපු ඇග්‍රෝ, වලස්මුල්ලේ අභය වැනි හිටපු ඉංජෝ විසින් විද්‍යාත්මකව පහදා දෙනවා යැයි කියවෙන, මා තවමත් නොදන්නා, අභිධර්මයේ යැයි මම මොහොතකට සිතුවෙමි.

මගේ ඒ සිතුවිල්ල ගැන මට ම ලැජ්ජාවක් ඇතිකරමින් මොහොතකින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට ලබා දෙන ඉඟියක් ලෙස ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ වැදෑරුවේ මෙලෙස ය.

"ඊයේ දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහත්මයාගේ වැඩසටහන නැරඹුවා නම් ඒ ප්‍රශ්නයට පිළිතුර දැන ගන්න තිබුණා."

මේ මොන මෑණියන්ගේ වස්ත්‍රයක් ද කියා සිතමින් ම මම සැදැහැවත්ව සවන යොමා සිටියෙමි.

"ඒ වැඩසටහනට සහභාගී වුණු විශේෂඥ වෛදවරයෙකු ප්‍රකාශ කළා මිනිසා ගේ පරමායුෂ ක්‍රමයෙන් අඩුවෙන බව. ඊළඟ පරම්පරාවේ ඉපදෙන ළමයින් ජීවත් වෙන්නේ අවුරුදු තිස් පහක් පමණයි! ඒ වැඩ සටහන නරඹන වෙලේ මට සිහිවුණා බුද්ධ වචනයේත් සඳහන් වෙන බව මිනිසාගේ පරමායුෂ අවුරුදු 120 ක් ව තිබී ක්‍රමයෙන් අඩු වුණු බව. දැන් ළඟඳී ම ඒ වයස අවුරුදු තිස් පහක් වෙන බවයි ඒ විශේෂඥ වෛදවරයා ප්‍රකාශ කළේ."

මට තව දුරටත් මුවින් නොබැණ සිටීමට නොහැකිවිය.

"ඒ විදියට අවුරුදු තිස් පහක් පරමායුෂ තියෙන පරම්පරාව එන්නේ කොයි කාලෙ ද ඇත්තටම?" මම විමසුවෙමි.

සමහරවිට අපේ ජීවිත කාලය තුළ නොවෙන්න පුළුවන් අද ඉපදෙන දරුවන් යැයි වදාළ තම මුල් වදන් දෙවන වරටත් වෙනස් කරමින් ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ පැවසූ දෑය.

කිසිම පදනමක් නැති බව පෙනෙන මෙහෙම කතා කියන කොට ඒ සියලු අතුරු කතා මුලින් කියන්න ඕනෑ නේදැයි මා අසා සිටියත් එයින් නොසැලුණු ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ තවදුරටත් තම කෙප්පංග ජාතකය ම තවත් විනාඩි කිහිපයක් නාස්ති කරමින් වදාළ දෑය.

මගේ අභද්‍ර වචන පිළිබඳව එහි සිටි වැඩිහිටි අවිද්‍යාවේ සර්ධාවෙන් වෙලී සිටින ඥාතී වර්ගයාට මළ පැනීමට ඉඩ තිබුණු නිසා, මා වැඩිදුර කතාවට නොපැටලවී සිටියෙමි.

වෙනත් අවස්ථාවක දී නම්, මා ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑගෙන් අසන්නට ඉඩ ඇති ප්‍රශ්න යුගල මෙසේ ය.
  1. සංඝයාගේ යුතුකම වන්නේ ගිහියන් දෙන දානය පිළිගෙන ඔවුන්ට බුද්ධ වචනය දෙසීම නොවේ ද?
  2. එසේ නොමැතිව දහදුරා රූපවාහිනී නාලිකාවල වාචාල නිවේදකයින් මෙහෙයවන වෙළඳ වැඩසටහන්වල කියවෙන ප්‍රකාශ එහි පසුබිම හෝ අදාළ වෙනත් තොරතුරු නොමැතිව ධර්මදේශනා ලෙස දේශනා කරන්නේ ඇයි?
කෙසේ වෙතත් වසර අවසානයට පෙර තවත් ලිපියක් රසිකොලොජියට එකතු කිරීමට මට අවස්ථාව සඃසා දීම ගැන ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මම ස්තුතිවන්ත වෙමි.

ඒ කරගත් පිනෙන් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මොහදුර දුරු කර ඥානාලෝකය පහළ කර ගැනීමට ඉඩ ලැබේවා යැයි ද වැඩි දුරටත් පතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
එදා ඒ දෙරණ නාලිකා සාකච්ඡාවේ දී චතුර අල්විස් සමග කතා කළ වෛද්‍යකාරයා පවසා ඇත්තේ පරිසර දුෂණය නිසා මිනිස් ආයුෂ අඩුවෙනවාය වැනි කතාවක් බව පසුව නිල නොවන ආකාරයකින් දැන ගතිමි.

29 comments:

  1. චතුර අල්විස් ගේ ට්‍රැවල් විත් චතුර එපිසෝඩ් සේරමල්ල ඩවුන්ලෝඩ් කරගෙන මේ දවස් වල දරුවක්ට බලන්න දුන්නා.

    මිසදිටු රසිකට සුනවේ... හැක්

    ReplyDelete
  2. තව තවත් ඔය ජාතියේ බණ දෙසන්න උන්නාන්සේට හේතු වාසනා ලැබේවා..
    චතුර සරණන් ගච්චාමි...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්න බෑ, මුන්නැහැගේ බණ තැලීමක් ගැන නම් ආරංචියක් නෑ!

      Delete
  3. දානෙ කාල ඔහොම මඤ්ඤං කතා කියන අය ඉන්නව. මොනව උනත් එතන තව කට දාන්න ගියානං රසිකට වෙනම දානයක් ලැබෙන්න තිබ්බ. හැක්..

    රසිකටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. නව වසරේ මාසයක්ම විතර ගිහින් හමාරයි දන්නෙම නැතුව!

      Delete
  4. //දහදුරා රූපවාහිනී නාලිකාවල වාචාල නිවේදකයින්//

    මෙහෙම අය හරි ගොඩයි දැන්.

    රසිකට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති වැනි අයගේ තිබුණු මුඛරිකම වෙනුවට වාචාලකම ඇති අයට තමයි දැන් තැන, නේද?

      Delete
  5. වරක්, හාමුදුරු නමක්, ෆේස්බුක් එකේ දකින දෑ අනුශාසනාවේ ප්‍රකාශ කළා.

    ReplyDelete
    Replies
    1. ඇයි මේක අමතක ද?
      මේ කිරිබත්ගොඩ වහන්දෑ ලෝක විනාශය ගැන දෙසපු දෙසිල්ලක්.
      https://youtu.be/MID5tIm-dic?t=172

      ;-)

      Delete
  6. ඊළඟ පාර බණට චතුරව වැඩම වන්න. ලේසියි පහසුයි.

    ReplyDelete
    Replies
    1. චතුරගෙන් අපට චතුර ලෙස වදාරන චතුරාර්ය සත්‍යයම අසා දැන ගන්න ලැබේවි නේද?

      Delete
  7. නූගත් භික්‍ෂූන් ගෙන් බණ අසන සිංහල බුදුනුවා ; so sad

    ReplyDelete
    Replies
    1. මේ කිරිබත්ගොඩ වහන්දෑ ලෝක විනාශය ගැන දෙසපු දෙසිල්ලක්.
      https://youtu.be/MID5tIm-dic?t=172

      Delete
  8. සුබ නව වසරක්!

    ReplyDelete
  9. අහෝ චතුර...කතන්ඳ්‍රකරුවාට සුබ නව වසරක් ම වේවා.

    ReplyDelete
  10. අහෝ රසික 2017 දීත් නොදිටි මොක්පුර! :))))

    දානේ දෙනවනම් ඔය බණ කට පියාගෙන අහන්න බලාගෙන දෙන්න ඕනි..

    2018 දී දිනේවා!

    ReplyDelete
  11. +++++++
    Wish you the very best for 2018

    ReplyDelete
  12. බයකිරීමෙන් බණ දෙසීම!

    මේ වගේ කතාවක් ඔපීසියට ආපු නලින්ද සිල්වගෙ ගෝල දොස්තරෙක් කිව්ව. මෙහෙමයි කතාව.....

    "දැං බලන්න අපේ රටේ මිනිස්සු ඉස්සර අවුරුදු සීයක් විතර ජීවත් වුනා..... අපේ සීයලා ආච්චිලා එහෙම..... ඒත් දැං බලන්න පනහෙං මැරෙනව! මීට අවුරුදු පනහකට සීයකට එහා ඉතාලියෙ මනුස්සයෙකුගෙ වයස පනහක් විතර.... දැං එහේ අය ඊට වැඩිය වයස වැඩි කරගනිද්දි අපි අඩු කරගෙන"

    මෙතන එයා ගේන පොයින්ට් එක තමයි 1930 විතර ඉතාලියෙ ආයු අපේක්ෂාව ගන්නව. ඒක කම්පෙයා කරනව ලංකාවෙ පරණ මිනිස්සු හිටිය කියන සීයෙ වයසත් එක්ක. දැං මිනිස්සු (යම් ප්‍රමාණයක් මැරෙන බව ඇත්ත) පනහෙන් මැරෙනව කියලත් දැං ඉතාලියෙ එවුන් අසූවකට කිට්ටුව ජීවත් වෙනව කියලත් ගන්නව. කොහොමද ටිකිරි මොලේ!

    ReplyDelete
    Replies
    1. එන්න එන්නම මිනිසුන්ගේ පරමායුෂ වැඩිවෙලා තියෙන බවයි සත්‍යය.

      අපේ සීයලාගේ කාලේ හිටියා නම්, මං යකා ගහලා මැරිලා අවුරුදු දොළහක්!
      https://rasikalogy.blogspot.com.au/2016/02/decade-old-memory.html

      Delete
  13. කාලීන ධර දේශනා පවත්වන්න ගියාම ඕවගේ අමරුවල හාමුදුරුවෝ වැටෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ධම්මපදයෙන් කවියක් කීවා නම් ඉවරයි නේ!

      Delete
  14. චතුර අල්විස් කියන්නේ චතුර සේනාරත්නගේ ම අවතාරයක්

    ReplyDelete
  15. එක දවසක් හාමුදුරුකෙනෙක් අහපු ප්‍රශ්නෙකට උත්තර දීලා (උත්තරේ හාමුදුරුවන්ට හරියට ඇහිල නැතිවද කොහෙද), PR හම්බ වෙලත් තමං මහණ වුනු එක ගැන ධර්ම දේශනාවක් කලා... ඊට පස්සෙ ලඟකදි බණ අහන්න එන්න කියලා කාගෙන්වත් ආරාධනාවක් හම්බ උනෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔය ලංකාරාමේ සාදුත් නිතරම සමච්චල් කතා කියන බවයි ආරංචිය. මං නං වැඩිය බණ අහන්න සෙට් වෙන්නේ නැති නිසා ඇහිලා නෑ.

      වසර පහකට පමණ පෙර එක් සිල් දවසක එක් කාන්තාවකට "නිකං කෙකර නොගහා වාඩි වෙන්න" කී දෙසා වදාල බව එය ඇසුණු මගේ බිරිඳ කීවා. ඇය ඉන්පසු පන්සල් ගියේ නෑ මට මතක හැටියට.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.