Wednesday 31 January 2018

පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why!


මේ සිදුවීම සහ තවත් එකිනෙක ඈඳුණු සිදුවීම් කිහිපයක් ම පෙරේදා හවස් වරුවේ මගේ මතකයේ ඉහළ ස්ථරයට පැමිණ හක්කලං කරන්නට පටන් ගත්තේ ය. පසුදා මා දුටුවේ මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු සටහනකි.

අමතක වී ගොස් තිබුණු රසිකොලොජි බ්ලොගය නැවත එළිපහළි කර, මේ මතක සටහන් දෙක තුන වහවහා ලියා දමන්නට සිත්වුණේ ඒ නිසා ය.

අප මෙල්බර්න් නුවරට සංක්‍රමණය කර ජීවත්වීම ඇරඹූ මුල් කාලයේ පදිංචිව සිටියේ කානර්ගී නම් තදාසන්න ප්‍රදේශයේ තට්ටු නිවාසක ය. නිවාස අටකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි, අපේ කාමර දෙකේ නිවාසයට යටින් පිහිටි නිවසේ ජීවත් වූයේ සුදෝ සුදු කොණ්ඩයකින් යුත් මහලු කාන්තාවකි. අගේ නම ඇනට් වැන්නක් බව මගේ මැකී යන මතකයේ තවමත් රැඳී ඇත.

ඉඳහිට සති අන්තයේ දිනක දී, ටැක්සියකින් පැමිණ ඇය හමුවන මිතුරෙකු හැරෙන්නට ඇය විසුවේ තනිවම ය. සතියට වරක් දෙකක් නිවස අසල ප්‍රදේශයේ දී ඇය හමුවන විට මද සිනහවක් පා, හලෝ යැයි කීම හැර අප අතර වෙනත් ගනුදෙනුවක් නොතිබුණි.

එක් දිනක් සවස්වරුවේ ළදැරික වූ මගේ දියණිය හා මා නිවසේ සිටින අතර නිවසේ ඉදිරි දොරට තට්ටු කරන හඬක් ඇසුණි.

දොර හැර බැලූ විට මා දුටුවේ තරමක් බියපත් වූ මුහුණින් යුතු ඇනට් ය.

"මට උදව්වක් කරන්න හැකිද?" ඇය ඇසුවා ය. "මගේ ගෙදරට මකුළුවෙක් ඇවිත්. පොඩ්ඩක් පහළට එන්න ප්ලීස්."

බිරිඳ ඒ වන විට නිවසට පැමිණ සිටියේ නැති නිසා මම කුඩා දියණිය ද සමග පහළ තට්ටුවේ ඇනට් ගේ නිවසට ගියෙමි.

ඕස්ටේ‍ර්ලියාවේ දරුණු විසකුරු මකුළුවන් ඇති බව මා අසා තිබුණි. නමුත් ඇනට්ගේ නිවසට වැද සිටියේ ද, මා "වධකයා සහ උගේ බිරිඳ" කතාවේ ලියූ ආකාරයේ ම විෂ රහිත සාමාන්‍යයෙන් ගෘහස්ථව වෙසෙන මකුළුවෙකි.

"මට දෙන්න ෂොපින් බෑග් එකක්!" යැයි ඉල්ලා සිලි-සිලි බැගයක් ලබා ගත් මම, එය මගේ අතේ රුවා, මකුළුවා අල්ලා බෑගය නොපිට පෙරලූවෙමි.

මකුළුවා බැගය තුළ කොටුවිය.

"ඔන්න වැඩේ ඉවරයි. මේකාව මං එළියේ තියෙන කුණු බාල්දියට දාන්නම්!" මම කීවෙමි.

ත්‍රාසයෙන් වෙලෙමින් මගේ වීර ක්‍රියාව දෙස බලා සිටි ඇනට් ආච්චී අවසානයේ දී කෘතවේදී බැල්මක් මා වෙත හෙළා කීවේ "මං හිතුවේ ඔබ ඒකාව චප්ප කරලා දාවිය කියලායි" යැයි කීවා ය.

කුකුල් මස්, හරක් මස්, මාළු අනුභව කරතත්, මකුළුවෙකු වැනි කුඩා සතෙකු වුව මරා දමන්නට අසීරු ඇයි දැයි මට එදා සිතුණි.

එදා නොව පෙරේදා ද සිතුණි. ඒ කතාව ඊළඟට ලියමි.

මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් තම ෆෙස්බුක් පිටුවේ ලියා තිබුණේ ද, මේ කාරණය ගැනම ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ මිතුරා ගැන සඳහනේ දී ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් යැයි නොකියා අයිඑම්එස් සත්‍යප්‍රසාද් යැයි කියා ලීව්වා නම්, මකුළුවන් කෙසේ වෙතත් 2014 දෙසැම්බරයේ දී මෙන් "මනපහතයෙකු" හෝ කිහිප දෙනෙකු හෝ නම් හඳුනාගන්නට ද ඉඩ තිබුණි!

(image: )