Thursday 1 February 2018

ෂතෙක්, සහෝදරයා ෂතෙක් - සතුන් මැරීම ගැන තවත් කතා : An ant in the loo


"පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා" ගැන ඊයේ මා ලියා පළකළ සටහනේ නිමිත්ත වූයේ හිතා මතා සතෙකු මැරීමට මා ඇතුළු බොහෝ දෙනෙකුගේ ඇති අකැමැත්තයි.

මෙය පින් සහ පව් නම් සංකල්ප සමඟ පමණක් සම්බන්ධ තත්වයක් නොවේ.

ඒ බව පැහැදිලිවන්නේ සතාගේ ප්‍රමාණය විශාල වීමත් සමගම ඒ අකැමැත්ත වැඩිවීම නිසා ය. හරියටම කියනවා නම්, හොරකම් දුෂණ වංචා කළ සමාජයේ පොඩි ස්ථරවල මිනිසුන් සටස්-පටස් ගා අත් දඩංගුවට පත් වී හිරේ විලංගුවේ වැටෙද්දී, ඊට වඩා සිය දහස් ගුණයක් හොරකම් කර ඇතැයි චෝදනා ඇති ලොකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කිරීමක් පවා සිදුවීම ඉතා කලාතුරකින් සිදුවීම හා සමාන ය.

ජවිපෙ හිතවාදී ජනප්‍රිය ගායක ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඔහුගේ පෙර ආත්මයේ දී ම, "අයි ඩොන්ට් නෝ වයි?" කියා ගැයූවේ මේ කතාවයි.

මේ මා මේ වසරේ ජනවාරි පළමුවෙනි දා ලද අත්දැකීමකි.

එදා පෝය දිනයකි.

මා ඒ බව දැන ගත්තේ එදින දිවා භෝජනය සඳහා මිතුරෙකුගෙන් නිවසට පැමිණීම පිණිස ලැබුණු ආරාධනයක් නිසා, ඔහුට ත්‍යාගයක් ලෙස ගෙන යන්නට වයින් බෝතලයක් ගන්නට කඩයකට ගොඩ වැදුණු වේලාවේ ය.

නමුත්, වාසනාවකට මෙන් මා මිතුරා ළඟ ලෝකල් කෙසේ වෙතත් ෆොරීන් බඩු තිබුණි.

සුමට මිදියුෂ පානයෙන් සැනසෙමින් සිටින අල්ල පනල්ලේ අංක එකේ ශරීරකෘත්‍යය සඳහා මට වැසිකිළියට යාමට සිදුවිය.

අදාළ පරිදි ස්ථාන ගත වී කලිසමේ සිපරය පහළට අදිනවාත් සමගම මා දුටුවේ කොමඩයේ වතුර මත දඟලන දිමියෙකු ප්‍රමාණයේ කෘමි සතෙකි.

මා ඌ මත සුලු දියර හැලුවේ නම් ඌ දියේ ගිලෙන්නට ඉඩ ඇත.

ඒ නැතත්, කෘත්‍යය අවසානයේ මා කොමඩ්ඩුව ෆ්ලෂ්කරනා විට දිමියා වෝර්ටෙක්සුව දිගේ පහළට ඇදී ගොස් තුසිත දිව්‍යලෝකයේ යන්නට ඉඩ ඇත.

ඉතින් මා කළේ, කැතයි කියා නොසිතා, පහතට නැවී ඇඟිල්ලකින් කුහුඹුවාව රැගෙන ඒ නාන කාමරයේ වෙනත් කොනකට විසිකර දැමීමයි.

එය පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

නමුත් මිතුරු සමාගම අවසානයේ නිවසට පැමිණ රාත්‍රිය ගෙවන අතරතුර කණ ළඟ වීණා වාදනය කරන්නට ආ ඩෙංගිවාහකයින් කිහිප දෙනෙකුව ම චටස්-පටස් හඬින් තලා දමන්නට මට කිසිදු පැකිළීමක් ඇති නොවුණි.

එය ද පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

ඇත්තටම, කලකට පසු යාන්තම් ඒ ආකාරයෙන් හෝ සත්ව ඝාතනයක් කර ගන්නට මට ඉඩ ලැබුණේ සති දෙකක නිවාඩුවකට ලංකාවට පැමිණීම නිසා නොවේ දෝ කියා මට එවෙලේ සිහිපත් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ෂතෙක්, සහෝදරයා ෂතෙක්" - ඒ කතාව දන්නා අය සිටී ද?
https://rasikalogy.blogspot.com/2018/02/as-i-have-heard.html


9 comments:

  1. කූඹියෙක් වතුරක වැටිල ඉන්නකොට අයින් කරන එකයි, මදුරුවන්ට ෂොට් එක දෙන එකයි මාත් කරල තියෙනව. මම හිතන්නෙ ඒක මිනිස් සිතේ ඒ වෙලාවට පහල වෙන සිතුවිලි අනුව සිද්ධ වෙන දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම කරලා තියෙනවා.මට හිතෙන්නෙත් එහෙමයි.

      Delete
  2. සත්තු මරණවට වඩා මං අකමැති මරණකොට අනවශ්‍ය වේදනා දෙන එකට. ඒක තාක්ෂණයේ අඩු පාඩු, නොසැලකිලිමත්බව, කෲරබව හෝ ආගමික වතාවත් නිසා වෙනවා.

    ReplyDelete
  3. මිනිස්සු මරන එක නවත්තමු. කායිකව හෝ මානසිකව..

    සත්තු මිනිස්සුන්ව මරනවා. මිනිස්සු සතුන් මරනවා. මේක සර්කල් එකක්. මිනිස්සු මිනිස්සුන්ව මරන එක නවත්තගන්න පුලුවන් නම්, ඒක වඩාත් ප්‍රායෝගිකයි. අනිත් සියල්ල බණ සහ ටෝක්.

    ReplyDelete
  4. Hello Rasika,

    It seems you are much familiar with selecting wine. If possible would you please let us know how do you select a wine to buy? for example year? food that you going to eat ? etc.

    Thanks.

    ReplyDelete
    Replies
    1. http://www.foodandwine.com/articles/seven-rules-for-perfect-pairing

      Delete
  5. අදත් හරිම අනුවේදනීය කතාවක් !!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.