Wednesday 7 February 2018

කූඩැල්ලන් ද සතුන් ය නොහොත් "ෂත්තු සහෝදරයා ෂත්තු!" දේශපාලන මඩ කතාව - As I have heard


මේ පැරණි දේශපාලන මඩ කතාව මගේ සිහියට ආවේ, පසුගිය දිනක මා ලියා පළ කළ පාණාතිපාතා වේරමනියේ දී පුද්ගලිකව ඇතිවෙන විෂමතා පිළිබඳව වූ කතාංගද්වය සකසද්දී ය. දෙවෙනි කතාංගයේ මාතෘකාව ලෙස ද මම "ෂත්තු සහෝදරයා ෂත්තු" යන්න යොදා ගත්තෙමි.

පෙර කී කතාද්වයේ දී මූලිකවම කියවුණේ, කූඹීන්, මදුරුවන්, කැරපොත්තන් වැනි ගෘහස්ථ සතුන් පිළිබඳව ය. එසේ ගෘහස්ථ නොව නමුත්, විශේෂයෙන් ම තෙත් කලාපීය ප්‍රදේශවල ගෘහාශ්‍රිත ගොඩ-මඩ ප්‍රදේශවල දක්නට ලැබෙන කුඩා සතුන් විශේෂයන් වන්නේ කූඩැල්ලන් ය.

පොළොව මතුපිට, ගස්වැල් යනාදියේ ද ගැවසෙමින් වෙසෙන, එක්තරා පණුවන් විශේෂයක් යැයි මා සිතන, කූඩැල්ලන් ජීවත්වෙන්නේ අනෙකුත් සතුන්ගෙන් ලේ උරා බීමෙනි. පණුවෙකුගේ හැඩය ගත්තද, කූඩැල්ලන් එක් තැනක සිට ඉදිරියට ගමන් කරන්නේ තම මුළු ශරීරය ම එක් කොනකින් ඔසවා කඳ නවමින් ඒ අන්තය අනෙත් අන්තය දක්වා ඉදිරියට ගෙන, වහාම ඉදිරි අන්තය තවත් ඉදිරියට තබමින් ඉතා අපූරු ආකාරයකට ය.

අප විහිදා ලූ අතක දෙඇඟිලි අතර මිනුම හෙවත් වියතෙන් එක දිගට මැනීම කළහොත්, එය කූඩැල්ලෙකුගේ චලනය දක්වන ආසන්න නිරූපණයක් යැයි කිව හැකි ය.

මේ අපූරු චලනය නිසා ම කූඩැල්ලන් "මිනින්දෝරුවන්" ලෙස ද, කූඩලු ප්‍රදේශවල, ව්‍යවහාරයේ දී හැඳින්වේ!

මගේ මව් පාර්ශවයේ වැඩිහිටියන් විසූ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන නම් ගම්මානය කූඩැල්ලන්ගෙන් බහුල ප්‍රදේශයකි. ලංකාවේ වෙනත් විවිධ ප්‍රදේශවල ද මේ සත්ව ප්‍රභේදය ඉන්නා බව මා අසා ඇති නමුත් ඇත්තට ම මා කූඩැල්ලන් දැක ඇත්තේ ද කලවානේ දී පමණි. කලවාන පිළිබඳව යාංහැල්ලේ බ්ලොග් ලිපි රාශියක් ලියා ඇති සුරංග ද කූඩැල්ලන් ගැන වරක් දෙවරක් සඳහන් කර තිබුණි.

කලවාන ගම්මානය පිහිටි කලවාන ආසනයේ ඒ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී වූයේ වෘත්තියෙන් නීතිඥයෙකු යැයි මගේ මතකයේ ඇති සරත් මුත්තෙට්ටුවේගම ය. මොස්කව් අනුබද්ධ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ ඔහු විවාහ වී සිටියේ ද මනෝරි නම් නීතිඥවරියක සමගිනි. ඇගේ පියා වූයේ කලෙක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන විරුද්ධවාදී පක්‍ෂය වූ, පසුව එකම නගුලේ බැඳී එකට සභාගයේ උලාකන පක්‍ෂයක් වූ, උපතින් ට්‍රොස්ට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයේ එවකට ප්‍රධාන නායකයෙකු ද, පසු කලෙක ප්‍රධානියා ද ලෙස කටයුතු කළ කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා නම් වංගෙඩිය මිනී මැරුම මෙන් ම, ගොයම් කොළයට මුවා වීම වැනි කූප්‍රකට නඩු තීන්දුවල පාර්ශවකරුවෙකු ද වූ නීතිඥයා ය.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා ගේ ආසනය වූයේ W3Lanka බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහලාගේ ගම් ප්‍රදේශයේ අගලවත්ත නම් කලවාන ආසනයට අල්ලපු ආසනයයි.

දැන් මෙන්න මඩ කතාව.

දිනක් මනෝරි සහ සරත් මුත්තෙට්ටුවේගම කලවාන ආසනයේ යම් ගම් ප්‍රදේශයක දේශපාලන කටයුත්තක යෙදී සිටිමින් ඉන්නා අතරේ කොහේ දෝ යන අසංවර ධනපති කූඩැල්ලෙකු ඇගේ ඇඟට ගොඩ වී ඇත.

ඒ දැක කලබල වූ මනෝරි ගේ මුවින් පිට වී ඇත්තේ මා මේ බ්ලොගයේ පෙර ලිපියේ දී ද, මේ ලිපියේ දී ද භාවිතා කළ "ෂත්තු සහෝදරයා ෂත්තු!" යන්නයි!

ඒ මඩපාර මෙය කියවන අයට අමුතුවෙන් තෝරා දෙන්නට අවශ්‍ය නැතැයි සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා අසා ඇති මේ කතාවේ තවත් වර නැගුමක මේ "ෂත්තු සහෝදරයා ෂත්තු" යැයි මනෝරී පැවසූයේ තම පියා අමතා බව කියවේ.

ඒ පෙරට වඩා දරුණු මට්ටමේ මඩ ගැසීමද අමුතුවෙන් තෝරා දිය යුතු නැත.

(image: https://prezi.com/o-wnybvwveyq/russian-revolution/)

10 comments:

  1. 'ඒ දැක කලබල වූ මනෝරි ගේ මුවින් පිට වී ඇත්තේ මා මේ බ්ලොගයේ පෙර ලිපියේ දී ද, මේ ලිපියේ දී ද භාවිතා කළ "ෂත්තු සහෝදරයා ෂත්තු!" යන්නයි!

    ඒ මඩපාර මෙය කියවන අයට අමුතුවෙන් තෝරා දෙන්නට අවශ්‍ය නැතැයි සිතමි!'

    ටියුබ් ලයිට් මට විතරද මේ කතන්දරේ ගැන?

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් වීම පුදුමයක්.

      මෙතැන ලොකු දෙයක් නෑ.

      ලංකාවේ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින, බිම් මට්ටමේ දේශපාලනයේ නිරතවන, සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ දෙකට සම්බන්ධ කාන්තාවක ගමේ ගොඩේ බහුල සතෙකු වෙන කූඩැල්ලෙකු අඳුනන්නේ නෑ ය කියා ඇත්තටම කීවා නම් එය කෙතරම් අභාග්‍යයක් ද?

      එය සැබෑවක් නොවේ නම් එය හොඳ මඩක් නොවේ ද?

      Delete
    2. 'ෂත්තු සහෝදරයා ෂත්තු!"' කිවේ ඇයි කියන එක ගැටලුව. 'සත්තු සහෝදරයා සත්තු' කීවා නම් හරිනේ. සත්තු නොකියා ෂත්තු කිවේ ඇයි?

      මම ආයේ බැලුවා මේ කියන කාන්තාව මුස්ලිම් කෙනෙක්ද කියලා. නම තියෙන්නේ මනෝරි කියලනි. සිංහල කෙනෙක් වෙන්න ඇති. ඉතින් සිංහල අය සත්තු කියලනි කියන්නේ. ඒකයි ටියුබ් ලයිට් උනේ කතාව.

      Delete
    3. මේ ටියුබ් ලයිට් කතාවක් නොවේ. සිංහල කියවා තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි මට පේන්නේ.

      1. ලංකා සමසමාජ පක්‍ෂයේ හිටපු නායක කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වාගේ දුව මුස්ලිම් වෙන්නේ කොහොම ද?

      2. මේක මඩ කතාවක් බව උඩින් ම ලියා තියෙනවා නේ. ෂත්තු කියා කියන්නේ ඇයට සිංහල බේ බේ බව හැඟවීමටයි.

      දැන් අහන්න එපා සිංහල බේ බේ කියන්නේ මොකක්ද කියලා!

      Delete
    4. ඇත්තටම එයාට සිංහල කතා කරන්න ටිකක් අමාරුයි තමා. පහුගිය කාලෙ සංහිඳියාව පිළිබඳ ජාතික වැඩසටහන පැවැත්වුණේ මෙයාගෙ ප්‍රධානත්වයත් ඇතිව තමයි. මෙයාට සිංහල බෑ විතරක් නෙවෙයි, සිංහලයින්ට මෙයාගෙන් වැඩකුත් නෑ වගෙයි එතෙන්දි පෙනුනේ.

      Delete
  2. ට්‍රොට්ස්කියි ස්ටාලින් නුයි අදාල වුනේ කොහොමද කියල බැලුවේ ?

    ReplyDelete
    Replies
    1. /* කලවාන ගම්මානය පිහිටි කලවාන ආසනයේ ඒ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී වූයේ වෘත්තියෙන් නීතිඥයෙකු යැයි මගේ මතකයේ ඇති සරත් මුත්තෙට්ටුවේගම ය. මොස්කව් අනුබද්ධ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ ඔහු විවාහ වී සිටියේ ද මනෝරි නම් නීතිඥවරියක සමගිනි. ඇගේ පියා වූයේ කලෙක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන විරුද්ධවාදී පක්‍ෂය වූ, පසුව එකම නගුලේ බැඳී එකට සභාගයේ උලාකන පක්‍ෂයක් වූ, උපතින් ට්‍රොස්ට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයේ එවකට ප්‍රධාන නායකයෙකු ද, පසු කලෙක ප්‍රධානියා ද ලෙස කටයුතු කළ කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා නම් වංගෙඩිය මිනී මැරුම මෙන් ම, ගොයම් කොළයට මුවා වීම වැනි කූප්‍රකට නඩු තීන්දුවල පාර්ශවකරුවෙකු ද වූ නීතිඥයා ය. */

      Delete
  3. මහින්ද පතිරණලා ගෙන් ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණයි.

    - වෛද්‍ය රුවන් එම් ජයතුංග transyl2014.blogspot.com

    කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ශ්‍රීලන්කන් ගුවන් සේවය මහින්ද රාජපක්ෂ යුගයේ කළමනාකරණය කළ ආකාරය පිළිබඳව දක්වා ඇති අදහස මුග්ධ මෙන්ම අතිශය හාස්‍යජනකය. පතිරණ මහතා ආශ්‍රයෙන් වෛද්‍ය රුවන් ජයතුංග මහතා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව දරන අදහසේ බොහෝ සත්‍යතා ඇති නමුත් විශ්ව විද්‍යාල වර්ගීකරණය මත පදනම්ව කෙරෙන විග්‍රහයේ දී ඔහු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබිණි.

    මේ කමෙන්ටුව සඳහා මා පාදක කරගනුයේ www.4icu.org හි දත්තයන්ය.

    ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල 16 ක් ඇති අතර ඉන් දේශීය වර්ගීකරණය (island ranking) අතර ප්‍රථම ස්ථානය හිමිකරගන්නේ වසර 1921 දී ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාලයයි (University of Colombo). ගෝලීය වර්ගීකරණයේදී (global ranking) එයට 1596 වන ස්ථානය හිමිය. ශ්‍රී ලංකාව තුළ ඇති විශ්ව විද්‍යාල අතරින් දේශීය වර්ගීකරණය යටතේ අවසාන එනම් 16 වන ස්ථානය හිමිකර ගන්නේ වසර 1996 දී ආරම්භ කළ අනුරාධපුරයේ භික්ෂු විශ්ව විද්‍යාලයයි. එය ගෝලීය වර්ගීකරණයේදී 7620 වන ස්ථානය හිමිකර ගනී.

    එසේම අපි වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ අවධානයට ලක්වූ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කුමන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවාද යන්න මා නොදන්නා නමුත් දැනට ඔහු සේවය කරන වසර 1995 දී ආරම්භ කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයට දේශීය සහ ගෝලීය වර්ගීකරණයන් යටතේ ලැබෙන ස්ථානයන් විමසා බලමු. දේශීයව එය විශ්ව විද්‍යාල 16 ක් අතරින් 13 වන ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව එයට හිමිවන ස්ථානය වෛද්‍ය රුවන් ජයතුංග මහතා සඳහන් කරන පරිදි 5993 නොව මා පරිශීලනය කළ මූලාශ්‍රය අනුව වඩාත් පහල අගයක් වන 6393 ය.

    වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1950 දී ආරම්භ කරන ලද ඉතියෝපියාවේ Addis Ababa විශ්ව විද්‍යාලය ඉතියෝපියාවේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව 1837 වන ස්ථානය හිමිකර ගනී. එසේම වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1922 දී ආරම්භ කළ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලය දේශීයව ප්‍රථම ස්ථානයත් ගෝලීයව 2182 වන ස්ථානයත් හිමිකර ගනී.

    දැන් අපි යුක්රේනයේ විශ්ව විද්‍යාලයන්හි තත්වය විමසා බලමු. එහි විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා වසර 1898 දී ආරම්භ කළ National Technical University of Ukraine Kyiv Polytechnic Institute ගෝලීය වර්ගීකරනයේදී 1747 වන ස්ථානය හිමිකර ගනී.
    අවසානයේ මා අවධානය යොමු කරනුයේ වෛද්‍ය ජයතුංග මහතා අධ්‍යාපනය ලද වසර 1922 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University දේශීය සහ ගෝලීයව වර්ගීකරණයට ලක්ව ඇති ආකාරය පිලිබඳවය. එම විශ්ව විද්‍යාලය යුක්රේනයේ විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් 63 වන ස්ථානය හිමිකර ගන්නා අතර ගෝලීයව එයට හිමි ස්ථානය 6734 ය.

    මෙම සටහනෙහි අරමුණ වෛද්‍ය ජයතුංග මහතා, කිසිදු විශ්ව විද්‍යාලයක් හෝ රටක් අපහාසයට ලක් කිරීම නොව දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය, නිගමනයන්ට එළඹීම සහ ඒ මත තර්ක ඉදිරිපත් කිරීම යන කාරණයන් හිදී හැඟුම්බරව කටයුතු කිරීමට වඩා උපායශීලීත්වය අගනා බව තරමක් කටුක ආකාරයෙන් සිහිපත් කරවීමටය.

    අවශ්‍යනම් සංවාදයට එළඹෙමු.

    ReplyDelete
    Replies
    1. @ Gadfly the Smallest9 February 2018 at 01:11මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

      Delete
  4. හොඳම උපාහසය වන්නේ ඇගේ පියා වූයේ කලෙක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන විරුද්ධවාදී පක්‍ෂය වූ, පසුව එකම නගුලේ බැඳී එකට සභාගයේ උලාකන පක්‍ෂයක් වූ, උපතින් ට්‍රොස්ට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයේ කියන එකයි. උන්ට එකතු වෙන්න බැරිව නිර්ධන පන්තිය එකතු කරන්නේ කොහොමද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.