Tuesday, 27 June 2017

පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues


හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත.

අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, අයිස් මිදෙන යුරෝපියානු, කැනේඩියානු සිසිර සෘතුවක් සේ සෘණ අන්තයටම නොගිය ද, මෙය අපේ ජීවිතවලට විවිධ අපහසුතා එකතු කරන කාලයකි.

පරිසරයේ සීතලත් සමග මට නම් සිදු වී ඇත්තේ, ජීවිතයට කම්මැලිකමක් එකතු වීමයි.

උදෑසන අවදිවන්නට කම්මැලි ය.

ඇඳෙන් බසින්නට කම්මැලි ය.

නාන කමරයේ වතුර මල යටට යන්නට කම්මැලි ය.

උණුසුම් ජල ධාරාව යටට වී ඉන්නට කම්මැලිකමක් නැතත්, ඉන් ඉවතට එන්නට කම්මැලි ය.

වැඩට යන්නට කම්මැලිය!

කොටින් ම, දැන් සති කිහිපයක සිට මා, කාර්යාලයට ළඟා වූයේ උදෑසන දහයේ හෝරාවටත් පසුව ය.

කාර්යාලයේ සිට ආපසු නිවස කරා පැමිණි පසුවත්, සිත ගත තාවකාලිකව පිනවීමට හැර වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට නොසිතේ.

මේ තත්වයට හේතුව අපේ නිවසේ උෂ්ණත්ව පාලක යන්ත්‍රයේ දෝෂයක් නම් නොවේ. සිසිරය නිසා, ස්වභාවිකව ම, ගතට සිතට වදින සාපයකි.

මේ තත්වයෙන් මිදීමට සිතී අද උදෑසනින් අවදි වී රැකියාව සඳහා පිටව යන්නට සිතුවෙමි.

එලාමය සැකසුවේ නැති වුව ද, සිතූ ආකාරයට පහයි හතළිස් පහට නෙත් හැරුණි. එහෙත්, ඇඳෙන් බැසීමට නම් නොසිතුණි.

ඊළඟට හෝරාව පිරික්සන විට විනාඩි පහළොවක් ගත වී තිබුණි.

යාන්තමින් ඇඳෙන් බැස නාන කාමරට ඇදුණේ හයයි කාලට ය. එය කළ හැකි වූයේ ද, විනාඩි පහෙන් පහට ඔරලෝසුව දෙස බලමින්, සිත දිරිමත් කර ගනිමින් ය.

අවසානයේ හතේ කෝච්චියට නැග මේ සටහන කෙටීම ඇරඹිය හැකි විය.

මේ සියල්ල කීවේ, "සතුටු සිතුවිලි" නම් අලුත් බ්ලොගයක් හඳුන්වා දීමටයි.

සතුටු සිතුවිලි :: http://sathutusithuvili.blogspot.com/

මෙය දිගු සටහන් පළවෙන බ්ලොගයක් නොවේ.

විවිධ පුද්ගලයින් විසින් පවසන ලද, අපේ කම්මැලි සිත් දිරිමත් කර ගන්නට උදව් වෙතැයි සිතන, කෙටි ප්‍රකාශන ඇතුළත් එකකි.

ඇරඹූ දින සිට දිනපතා එක් වැකියක් බැගින් සතුටු සිතුවිලි බ්ලොගයේ පළ වී ඇති අතර, එය දිගටම නිතිපතා යාවත්කාලීන වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

Sunday, 25 June 2017

සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu


අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට ප්‍රිය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුණේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කළේ අපූරු චමත්කාරයකි.

පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුනු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහළ පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.

ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. මා ප්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පළවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.

මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි. "අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පාසල් වාරයකට පන්තියට දුන් පොත් හතළිහකින් වරකට එක බැගින් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. පසුව මට "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳී තැපැල් මගින් පොත් ගෙන්වා ගැනීමට ද හැකි වීය. නමුත්, මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි.

මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු ඔක්තෝබරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි. මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නව දැලි හේනේ පිහිටා තිබූ අප පාසල් පොත් මිලට ගත් "මහජන පොත්හල" නමැති වැඳිරිය වහා සිහිවිය.

මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ගේ අනුග්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙක ම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පළමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මුදල් බලයෙන් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම මා සිතට වික්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" (The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe) කෘතියේ සිංහල පරිවර්තනය වූ "මැංචෝසන් චාරිකා" නමැති කෘතියයි.

කතාවේ අන්තර්ගතයට ම නිවැරදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ඩීී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.

මැංචෝසන් සාමි ගේ වික්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාසය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.

අද බ්ලොග්කරුවෙකු ලෙස මා නොකඩවා සිංහලෙන් ලියන්නේ "මැන්චෝසන් චාරිකා" කියවා එදා ලද වින්දනය නිසා යැයි මට සිතේ.

වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියේ දී මා ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.

මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ, ඊට අමතරව තවත් විවිධ ග්‍රන්ථ පනහකට අධික ප්‍රමාණයක් සිංහලෙන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ, පරිවර්තනය කළ ඩී බී කුරුප්පු ලේඛකයා පෙරේදා මෙල්බර්න් නගරයේ දී තම ජීවන චාරිකාව නිම කළේ ය.

මේ ලිපිය ඔහු ගේ නාමයට උපහාරයක් ම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe කෘතිය ඔබ ඉංග්ලිෂ් භාෂාවෙන් මෙතැනින් කියවීමට හැකිය. මෙහි එක පරිච්ඡේදයක් අපේ අටවෙනි ශ්‍රේනිය සඳහා වූ ඉංග්ලිෂ් පාඩම් පොතට ඇතුලත් කර තිබුණි!
https://www.gutenberg.org/files/3154/3154-h/3154-h.htm

(image: https://www.facebook.com/DB-Kuruppu-544346445758395/)

Friday, 23 June 2017

වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story


හැරිස් වීරවංශ මහතා නින්දෙන් අවදිවූයේ පපුව ප්‍රදේශයේ තරමක වේදනාවක් සමගිනි. ඒ වේදනාව සමගම, තමන්ට තරමක දාඩියක් ද දමා ඇති බව ඔහුට වැටහුණි.

"බුදු අම්මෝ, හාට් ඇටෑක් එකක් එන්න එනවා ද?"

තමාට වඩා වසර කිහිපයකින් වයසින් වැඩිමහලු සුමින්ද ජයකොඩි ද හදිසියේ මිය ගියේ හදවතේ රෝගී තත්වයක් නිසා ය. ඒවන විට සුමින්ද ජයකොඩි විශ්‍රාමගෙන දෙවසරක්වත් ගත වී නොතිබුණි. ඔහු පෙර දින රාත්‍රියේ රෝහලට ඇතුළත් කළ පුවත අසා, සේවය නිමවී සුමින්දව බැලීමට යන අතරතුර මරණය පිළිබඳ ආරංචිය ජංගම දුරකථනයට ලැබුණු හැටි පස් වසරකට පසුව වුවත් හැරිස් වීරවංශ මහතාට අද මෙන් මතක ය.

තමන් ගේ පපුව ද, මේ ආකරයෙන් මුල් වරට සලිත වුණේ එදා බව හැරිස් වීරවංශ මහතා විශ්වාස කරයි.

කෙසේ නමුත්, ඒ දිනවලට ම, මුලින් ටවුමේ ඩිස්පැන්සරියේ ඇම්බීබීඇස් දොස්තර ද, පසුව රෝහල අසල චැනලින් සෙන්ටර් එකෙන් නොම්බරයක් ගෙන කාඩියොලොජිස්ට් මහතා ද මුණ ගැසී, ලේ පරීක්‍ෂණයකින් ද, ව්‍යායාම මැෂිමක නැග කළ ඊ සී ජී පරීක්‍ෂණයකින් ද පසු අවවාද ලැබුණේ, සතියකට දෙතුන්වරක් ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමයක් කිරීමටත්, තෙල් කෑම සහ සීනි අඩු කිරීමටත් පමණි.

ගතවුණු වසර පහ මුළුල්ලේ් තමන්ට හැකි උපරිමයට ම ඒ අවවාද පිළිපදින්නට හැරිස් වීරවංශ මහතා උත්සාහ ගත්තේ ය. ඉඳහිට හෝ දවසක රාත්‍රී කෑමෙන් පසු සීනි සහිත දෙයක් කෑම, කාර්යාලයට දිවා ආකාරය ගෙන නොගිය දිනවල තෙල්, කිරි නොබලා හොඳ කෑමක් ගැනීම මිස, තමන් කළ වරදක් නැති බව ඔහු දනී.

හය මසකට පමණ වරක් ලේ පරීක්‍ෂා කර ගත යුතු බවට අවවාද ලැබුණ ද, අවසාන වරට තමන් එසේ කළේ අවුරුදු එකහමාරකට පමණ පෙර බව හැරිස් වීරවංශ මහතාට සිහිවිය.
කොලොස්ටරෝල් වැඩිවෙලාවත් ද මන්දා?

කෙසේ වෙතත් දැන් කළ යුත්තේ කුමක් ද?

සයනයේ වම් පස නිදා සිටිනා තම බිරිඳ පැට්‍රීෂියා ගේ රුව අඩ අඳුරේ වුව හැරිස් වීරවංශ මහතාට පෙනේ. ඇයට ඇහැරවා මේ ගැන කියනවා ද? නැති නම් උදෑසන පහන්වන තුරු සිටිනවා ද?

පපුවේ සිරවීමක් සෑදුණු විට අතීතයේ නම් කළේ සිද්ධාර්ථ නම් ආයුර්වේද තෛලය ගා හොඳින් පිරිමැදීම බව හැරිස් වීරවංශ මහතා කියවා ඇත. දැන් ඒ තෙල් කොහෙන් හොයන්න ද?

බටහිර වෙදකමේ, මේ සඳහා කුමක් හෝ පෙති වර්ගයක් ඇති බවත්, එය දිව යට තබා ගත යුතු බවත් ඔහු අසා ඇත. නමුත් තම වෛද්‍යවරයා එවැනි බෙහෙතක් ගැන ඉඟියක්වත් දී නොමැත.

හැරිස් වීරවංශ මහතා හිස මදක් කරකවා නිදන කාමරයේ එක් බිත්තියක එල්ලා ඇති හෝරා යන්ත්‍රය දෙස බැලුවේ ය.

"හතර හමාරයි!"

එළිය වැටෙන්නට තව පැයකටත් වඩා වේලාව තිබේ. එහෙත්, ඒ අලුත් දවසේ, අලුත් හිරු එළිය දකින්නට තමන්ට වාසනාව තියේ ද?

හැරිස් වීරවංශ මහතා කල්පනා කරන්නට පටන් ගත්තේ ය. හෙට උදේට තමා මියගොස් සිටියහොත් කුමක් වේද?

බිරිය තනිවෙනු ඇත. එහෙත් ඇයට විවාපත් දියණියගෙන් යම් කිසි හව්හරණයක් ලැබෙනු ඇත. ඊට අමතරව, තමන් ගේ අර්ථසාධක අරමුදලින් යෙදූ ස්ථාවර තැන්පතුවේ පොලිය ජීවත්වන තුරු ඇයට උපකාරී වෙනු ඇත.

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන පුත්‍රයාට ද තව එහි ගෙවන්නට ඇත්තේ මාස කිහිපයක් පමණි.

"පුතාටත් හොඳ ජොබ් එකක් ලැබේවි!"

පපුවේ හිරවීම තවමත් දැනෙයි. ඒ අතරම වැසිකිළියට යාමේ දැඩි අවශ්‍යතාවයක් ද එක්වරම ඇති විය.

සෙමෙන් සෙමෙන් ඇදෙන් නැගිටුණු හැරිස් වීරවංශ මහතා, රබර් සෙරෙප්පු කුට්ටම ද පයලාගෙන නාන කාමරය දෙසට ඇවිද යන්නට විය.

තමන් ඇඳෙන් නැගිටි සැණෙන් ම වාගේ එතෙක් තිබුණු පපුවේ හිරවීම තරමක් අඩු වී යනවා හැරිස් වීරවංශ මහතාට හැඟිණි. වැසිකිළි කෘත්‍යය අවසාන වන විට එය නැත්තටම නැතුව ගියා හා සමාන විය. අත් සෝදාගත් ඔහු, දත් මැද, වතුර උගුරු කිහිපයක් ද බී, නැවතත් කාමරයට පැමිණ ඇදේ හාන්සි විය.

පපුව හිරවීම යළිත් ආරම්භ වූ බව ඔහුට දැනුණි.

ඔහු කොට්ටය දිගු අතට හරවා, තවත් කොට්ටක් ද තබා තරමක් හිස එසවෙන ආකාරයට තම ඉරියව්ව වෙනස් කළේය.

එවර, තරමක පහසුවක් දැනුණි.

වැසිකිළියේ දී යාන්තමට මෙන් සිතට නැගුණු සිතුවිල්ල එයින් තහවුරු විය.

"ඊයේ කාපු දෙයක් වෙන්න ඇති. තාමත් උගුරට එනවා වගේ!"

තමන් සිටි ඉරියව්ව වෙනස් නොකරම හැරිස් වීරවංශ මහතා දෑස් පියා ගත්තේ ය.

උදෑසන ඔහුට අවදිවෙන විට හොඳින් හිරු පායා තිබුණි. පැට්‍රීෂියා වීරවංශ විසින් සාදා කාමරයට ගෙනැවිත් ඇඳ අසල කනප්පුවේ තබා තිබුණු තේ කෝප්පය සීතල වී ඇත.

තේ කෝප්පය අතට ගත් හැරිස් වීරවංශ මහතා, එහි බඳ දිගේ ඉහළට නගිමින් සිටි කුඩා කුහුඹුවෙකු තම ඇඟිල්ල නවා ඈතට විද දැම්මේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය ද, කලින් ලියා පළ කළ කෙටිකතා මෙන් ම, ඉතා හදිසියේ පැයක් වැනි කාලයක් තුළ ලියූවකි. ඉයන් ලින්තොට ගේ "සම්බෝල අභියෝගය" හිතන තරම් ලෙහෙසි නැති බව පෙනේ!


(image: http://www.dailymail.co.uk/health/article-2191667/Spouses-heart-attack-victims-prone-anxiety-depression-shock-similar-post-traumatic-stress-disorder.html)

Wednesday, 21 June 2017

පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny


රනුක ද, අක්කා ද වාඩි වී සිටියහ. ඒ මුහුණට මුහුණට ලා නොව, කුඩා ටීපෝවක් වටා තබා තිබුණු ඒ සුවපහසු පුටු හතරෙන් එක ළඟින් තිබූ පුටු දෙකක ය.

ඒ නිවසක විසිත්ත කාමරයක් නොවේ. අගනුවර රජයේ ආයතනයක අමුත්තන් පිළිගැනීමේ ශාලාව ය.

ඒ රනුක ගේ අක්කා නොවේ. ඇය රනුක ගේ පෙම්වතිය ගේ අක්කා ය.

"මං අක්කට ඔයා ගැන කිව්වා. එයාට ඕනැ ලු ඔයාව බලන්න" ශිරාණි එවූ ලිපියක කියා තිබුණි. "ඔයාට මං කියල තියෙනවා නේ එයා වැඩ කරන්නේ කොළඹයි කියලා. සතියේ දවසක ඔෆිස් එකට ගිහින් අක්කාව පොඩ්ඩක් හම්බ වෙන්න. සෙකුරිටි ගේට්ටුවෙන් එතැන ලොකු බිල්ඩිම ඇතුළට ගිහින් රිසෙප්ෂන් එකට අක්කා ගේ නම කියන්න. එතකොට එයා ඒවි."

ශිරාණි රනුක ප්‍රේමය ඒ දිනවල ගලා ගියේ මසකට හෝ දෙකකට වරක් වූ සුන්දර හමුවීමකින් ද, ඒ අතරේ සතියකට දෙවරක් පමණ හුවමාරු වූ පෙම් හසුන් ද හරහා ය.

ජීවිතයේ සැබෑ කතාව

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ

පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරලා
සිනා නැගිය හැක

ලොව සොඳුරුම දේ ආදරයයි!


ඒ රනුක ඒ දිනවල ලියූ කවියකි.

"ඉතිං මල්ලී, ඔයාට කොහොමද නංගීව මුණ ගැහුණේ?" අක්කා ඇසුවා ය.

"මෙන්න මෙහෙමයි වුණේ අක්කේ" රනුක පිළිතුරු දුන්නේ ය.

"මම එදා සෙනසුරාදා දවසේ ටවුමට බස් එකේ ගිහින් බැහැලා පේව්මන්ට් එක දිගේ උඩහට ඇවිද ගෙන ගියා. මං ඉස්සරහට එන දෙනෝ දාහක් සෙනග අතරේ මං ශිරාණියි එයාගේ යාලුවයි දෙන්නා එනවා දැක්කා. ශිරාණි මගේ මුණ ඉස්සරහට ම ආවාම මගේ හිත එකපාරටම මට කිව්වා මේ තමයි මට ගැලපෙන කෙනා කියලා."

"මං තත්පරයකින් දෙකකින් විතර ආපහු හැරිලා බස් හෝල්ට් එක දිහාවට ඇවිදින්න පටන් ගත්තා. මං දැක්කා ශිරාණි එතැන නවත්තලා තිබුණු බස් එකකට නගිනවා. මාත් ඒකට නැගලා, එයා ළඟින් වාඩි වෙලා, එයාට කතා කළා."

"එච්චරයි!"

අක්කා අති සුන්දර සිනහවක් පෑවා ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඉයන් ප්‍රනාන්දු ගේ "සම්බෝල කෙටිකතා අභියෝගයට" මුහුණ දෙන්නට වස්තු බීජ සොයමින් "ඩවුන් ද මෙමරි ලේන්" ගිය ගමනක දී හමුවූවකි. සම්බෝල නොකර, අච්චාරු නොදමා, හිතට ආ දේ කෙළින් ම ලියා දැමුවෙමි.

(image: https://au.pinterest.com/pin/104497653827246884/)

Monday, 19 June 2017

සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!


ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.

සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.

මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ කතාවකි.

අපේ කතා නායකතා තම ජීවිතයේ ප්‍රථම රැකියාව ඇරඹූ වයස අවුරුදු විසි තුනක පමණ තරුණයෙකි. සේවය අරඹා දෙවෙනි දිනයේ දී පමණ සම වයසේ යැයි හැඟී ගිය පියකරු තරුණියක් ඔහු නෙත ගැටුණේය. ඇය විශ්වවිද්‍යාලයක පාඨමාලවක් හදාරමින්, ඒ පාඨමාලාවට අදාළ පුහුණුවක් සඳහා මේ ආයතනයේ මාස කිහිපයක් ගත කරමින් සිටි යුවතියකි.

නිතර එකිනෙකා දුටුවේ වුව ද, ඔවුන් දෙදෙනාට කතා බහ කිරීමට වැඩි ඉඩකඩක් සේවා ස්ථානයේ දී, සේවා කාලය තුළ නොලැබුණි. කෙසේ වෙතත්, තරුණයා ඇය දුටු සැම මොහොතකම සසල සිතින් ඇය දෙස බලනු ඇය නොදකින්නට හේතුවක් නොතිබුණි.

කොටින් ම, "කුච්, කුච් හෝතා හේ" තත්වයක් ඇරඹී තිබුණි.

මාස කිහිපයක් ම ගත විය. සේවා ස්ථානයේ අන් මිතුරු මිතුරියන් සමග සිටි අවස්ථාවල, කෝල, මනලෝල බැල්මක්, වචනයක් දෙකක් හුවමාරු වූ නමුත්, සම්බෝල තියා ජම්බෝල ප්‍රවර්ගයේ කෙටිකතාවකටවත් සුදුසු කිසිවක් ඊට අමතරව සිදුවෙන බවක් නොපෙනුණි.

ඒ, ආයතනයේ අවුරුදු නිවාඩුවට පෙර දා සවස් යාමයයි.

නිවාඩුවට පෙර අවසන් කිරීමට යුවතියට සුවිශේෂී කාර්යක් පැවරී තිබුණු නිසා, ඇය සවස් යාමය තෙක් ම ආයතනයේ රැඳී සිටිනු තරුණයා දුටුවේ ය.

මද වේලාවකින් ඇය පැමිණ ඔහුගෙන් මෙලෙස ඇසුවා ය.

"රනුක, මට අද රෑ අට විතර වෙනකම් මෙතැන ඉන්න වෙනවා. ඔයා ඕෆ් වෙන්නේත් ඒ වෙලාවට නම්, මා එක්ක බෝඩිම ළඟට යන්න එන්න පුළුවන් ද? ඒ පාර ටිකක් කරුවලයි, පාරේ ලයිට් නෑ."

තරුණයා ගේ බෝඩිම පිහිටියේ ද, ඒ පැත්තේ ම, නමුත් වෙනත් අතුරු මාර්ගයකයි.

"හා හොඳයි, මං එන්නම්!" ඔහු යාන්තම් කියා ගත්තේ ය.

රාත්‍රී අටට පමණ සේවා ස්ථානයෙන් පිටත් වූ ඔවුන් දෙදෙනා, කතා බසයෙන් ම, මහා මාර්ගය තරණය කොට, කන්ද උඩට දිවෙන මාර්ගයේ මද දුරක් ගොස්, එතැනින් යුවතියගේ බෝඩිම දෙසට දිවෙන ගුරු පාරට පිවිසුනහ.

"කාලෝ අයං තේ!"

ඒ, මේ සැදැහැවත්, දැහැමි, බෝ පැළයක් බඳු, තරුණයා ගේ සිත ඔහුට කොඳුරා කියූ දහම් පදයකි.

"සංජි"

"ඇයි රනුක?"

"මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි.

සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එලෙසින් ම, ඒ සවස් යාමයේ දී අසාවි යැයි සංජි ද අපේක්‍ෂා කළා විය හැක.

"රනුක, මං හෙට ගෙදර යනවා, ආපහු එන්නේ සතියකින් විතර අලුත් අවුරුද්දේ. ඒ ආවට පස්සේ අපි කතා කරමු!" ඇය කලින් සූදානම් වී සිටියාක් සේ කීවා ය.

"එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මං ප්‍රාර්ථනය කරන්නම්!" රනුක වහා පිළිතුරු දුන්නේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

(image: https://thumb9.shutterstock.com/display_pic_with_logo/165386934/611563286/stock-photo-heart-shape-made-of-nails-for-father-s-day-anniversary-or-valentine-611563286.jpg)

Saturday, 17 June 2017

තනේ වැනේ සහ තවත් කෙටි කවි - Short and sweet


වත්මන් යුගයේ සම්මත සිංහල සඳැස් කවිය යනු එළිසමය සහ එළිවැට සහිත පද හතරකින් සමන්විත වූවකි. ඒ එක් එක් පදයේ දිග (හෙවත් මාත්‍රා ප්‍රමාණය) අනුව කවියේ විරිත, සමුද්‍රඝෝෂ, මහ පියුම් යනාදී වශයෙන් වර්ගීකරණයක් ද කෙරේ.

එසේ නම්, මේ සම්මත සිංහල කවි ආකෘතියෙන් ලියවෙන කවි අතර, කෙටිම කවිය වන්නේ එක පදයකට එක වචනයක් පමණක් ඇති කවියකි.

මා මීට දශක කිහිපයකට පෙර එවැනි ඉතා කෙටි කවියක් සඟරාවක පළ වී තිබෙනු මම දුටුවෙමි. සාහිත්‍ය සභාවක දී, කාන්තාවක් විසින් එක වචනයේ පද ඇති සිව් පද කවියක් කියන්න යැයි කළ අභියෝගයකට පිළිතුරු ලෙස කියවුණි යැයි පැවසෙන ඒ කවිය මෙසේ ය.
අනේ
පනේ
තනේ
වැනේ

නොවැටහෙන අය සඳහා ඒ කවියෙන් දැක්වෙන අදහස මෙසේ දක්වමි.
අහෝ මාගේ ප්‍රාණයවන් කාන්තාව, ඔබේ පියයුරු දෙපසට හෙලවෙන හැටි මට පෙනේ.
සමහර තැනක මෙය, තනේ වැනේ නොව, තනේ පෙනේ ලෙස ද ලියවී තිබෙනු මා දැක ඇත. ඒ වෙනසත් සමගම මේ කවියෙන් දැක්වෙන අදහස මෙලෙස වෙනස් වේ.
අහෝ මාගේ ප්‍රාණයවන් කාන්තාව, ඔබේ පියයුරු මට දර්ශනය වේ.
මා කුඩා කාලයේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ දී ඒ පාසල අසල නිවසක විසූ වෙලුං නම් මිනිසෙකු පිළිබඳව අපේ පන්තියේ සිටි කොලුවෙකු කියූ කවියක් මෙසේ ය.
වෙළුම්
පැටලුම්
ලෙහුම්
ඇඹරුම්

මේ තනි පදයේ කවි පිළිබඳ මට සිහිවූයේ, සිංහල බ්ලොග් අවකාශයේ සම්මත සිංහල සඳැස් කවියෙන් ප්‍රතිචාර දක්වන, "දුමී" නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන දුමින්ද අබේසේකර ගේ කවි නිර්මාණ දුටු විට ය.

දුමින්ද අබේසේකර තම "දුමී" බ්ලොග් අඩවියේ පළ කර තිබුණු එක වචනයේ පද සහිත කවි කිහිපයක් සහ ඒවාට පිළිතුරු ලෙස මා පබැඳූ පිළිතුරු කවි කිහිපයක් ද පහත දක්වමි.

මෑතක දී දුමින්ද අබේසේකර පළ කර තිබූ නිර්මාණයක් මෙසේ විය. ඔහු මෙම නිර්මාණය පද අටකින් දක්වා තිබුණ ද, මම සම්මතයට අනුව එය පද හතරකින් පෙන්වමි.
හොර මැර
නරවර
සුර පුර
දොර දුර

මෙහි මට වැටහුණු අර්ථය "හොරකම්, මැරකම් කරනා රජ, තොපට දිව්‍ය ලෝකයේ ද්වාරය නම් (ඉතා) දුර වේ!" වැන්නකි.

මා ලියූ පිළිතුරු කවිය මෙලස විය.
ගොරතර
කරදර
සැර වැර
හැර වර

එහි අදහස වනුයේ මහා ඝ්‍රෝර වූ කරදර ද, සැරවැර කිරීම් ද හැර දමා (මෙහි) එනු යන්නයි.

මෙය කුඩා වෙනසකින් පහත ආකාරයට වඩාත් අර්ථවත් කර ගත හැකි ය.
ගොරතර
කරදර
හැර වර
සුර පුර!

එහි අදහස වනුයේ මහා ඝ්‍රෝර වූ කරදර හැර දමා සුරපුර වෙන එනු යන්නයි.

මේ දුමින්ද අබේසේකර විසින් දෙල් පිළිබඳව රචනා කරන ලද පෙර ආකාරයේ කවියකි.
කැලේ කොළේ
දෙලේ බලේ
මලේ තොලේ
පැලේ බොලේ

මට වැටහුණු ආකාරයට, මෙහි අදහස වන්නේ, කැලෑ වනාන්තර ප්‍රදේශවල වැවෙණා දෙල් (මේ රට දෙල් නොව වල් දෙල් විය යුතුයි!) කෙතරම් සැර ද යත්, අසන්න මලණුවනි, ඒවා කෑ විට තොල් පැලේ යන්නයි.

ඒ ආකෘතියට අනුව මම පහත කෙටි කවිය පද බැන්දෙමි.
ඇළේ දොළේ
රැළේ බලේ
කැලේ වැලේ
නොවේ මලේ

නිශ්චිත තේරුමක් සහිතව ලියූවක් නොවූවද, අවශ්‍ය නම් එහි අරුත "ඇළක, දොළක නැගෙන රැළිවල බලය කැලයක වැවෙන වැලක නැත!" ලෙස දැක්විය හැකි ය.

මේ දුමින්ද අබේසේකර ලියූ තවත් කවියකි.
විතේ මතේ ඇතේ
මතේ ගතේ එතේ
අතේ සතේ නැතේ
පුතේ සෙතේ නැතේ

මත්පැන් බීමේ ආදිනව කියවෙන ඒ කවියට පිළිතුරක් ලෙස මම පහත කවිය පබැඳුවෙමි.
බත පත ඇත
මත විත නැත
ගත වෙව්ලත
සිත ලත වෙත

එයින් කියවෙන්නේ මත්පැනට ඇබ්බැහි වූවෙකු මත්පැන් නොමැතිව ආහාර ගැනීමට ගොස් නොහැකිව ලතවෙන ආකාරයයි.

මේ කෙටි කවි විරිත අනුව යමින් දිගු කලකට ඉහත මා විරහ වේදනාවෙන් යුතුව ලියූ කෙටි කවියකි.
සිතුම් බොඳවිය
පැතුම් සුන්විය
සුසුම් හිමිවිය
පියුම් පරවිය

සාමාන්‍යයෙන් කවියක් ලිවීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේ හෙයින්, මේ ආකාරයේ විශේෂ ආකෘතිවලට අනුකූලවන අන්දමින් කවි ලිවීම ඉතා දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත!

-රසිකොලොජිස්ට්

(image: https://allpoetry.com/poem/12032305-A-Rainy-Night-by-Mel-Patterson)

Thursday, 15 June 2017

පරිධියේ ජීවිතේ - At the edge


කරුණාකර මේ මාතෘකාව වරදවා වටහාගන්න එපා!

මේ කියන්නට යන්නේ ලකාන් හෝ ෂිෂැක් හෝ ජිජැක් හෝ ඩෙරීඩා හෝ කියූ පරිධියක් ගැන හෝ ඒ ආකාරයේ පරිධියක සිට කේන්ද්‍රය දෙස බැලීමක් ගැන හෝ නොවේ. මා ඒ පඬියන් ගේ නම් අසා දැක තියෙනවා මිස, ඔවුන් කියූ ලියූ කිසිවක් අසා, දැක, කියවා නැත.

මා මේ කියන්නේ ලංකාවේ ගම්මානයක පරිධියේ ජීවත්වීම ගැනයි.

අප කුඩා කාලයේ ජීවත් වුනු තාත්තා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ගම්මානයේ ය. එහි ද, ඈත බටහිර අන්තයේ ය.

මා පසුව දැනගත් පරිදි, මේ කියන කාලය වෙන විටත් අපේ ආච්චී ගේ නිවස සහ වතුපිටි තිබුණු මේ ප්‍රදේශය ලඩ්කාණ්ඩුවෙන් කටුවාලමුල්ල ලෙස නම් කර ගැසට් කර තිබුණ ද, එය කිසිසේත් ම ප්‍රායෝගිකව නම් භාවිතා නොවුණි. අපි කැපුවත් පර, කැපුවත් දෙණි, පරකන්දෙණියන් ම වීමු.

සාමාන්‍යයෙන් ගමක ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැළකිය හැක්කේ පාසල, පන්සල, කඩ මණ්ඩිය යනාදිය පිහිටා ඇති ස්ථානයයි. සුදෝ-සුදු කවි කතාවේ විස්තර වුණු කටුරොද ගම්මානයේ කඩ මණ්ඩිය ගම කෙලවර පිහිටා තිබුණ ද, සාමාන්‍යයෙන් ගමක කඩ මණ්ඩිය ස්වභාවිකව ගොඩ නැංවෙන්නේ පාරවල් දෙකක් එක්වෙන හෝ කැපෙන ස්ථානයක වීම නිසා, එය ගමේ ගුරුත්ව කේන්ද්‍රය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය.

පරකන්දෙණිය ගමේ බටහිර කොනේ ජීවත් වූ අප සිටියේ, ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉතා දුරිනි. ඇත්තටම කියනවානම් අප සිටියේ පරකන්දෙණිය ගමේ පරිධියේ ය.

මගේ ඥාතියෙකු මෙන් ම, එකම පන්තියේ සගයෙකු ද වූ ආනන්ද ජයතිලකලා ගේ නිවස පිහිටා තිබුණේ අපේ වත්තට අල්ලපු වත්තේ ය. ඔවුන් අයත් වූයේ කොස්සින්න නම් ගම්මානයට ය.

ඒ අනුව ආනන්ද ජයතිලකලාත් සිටියේ කොස්සින්න ගම්මානයේ පරිධියේ වුව ද, වාසනාවකට මෙන් කොස්සින්න ගම්මානයේ ගුරුත්ව කේන්ද්‍රය හෙවත් පන්සල, කඩ වීදිය සහ පාසල පිහිටා තිබුණේ අපේ නිවෙස්වල සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකිනි.

එනිසා කොස්සින්න වාසී විතානගේ ආනන්ද ජයතිලක මෙන් ම පරකන්දෙනිය වාසී රසික සූරියආරච්චි වූ මම ද, හෝඩියේ පන්තිය හෙවත් පළමුවෙනි ශ්‍රේනියේ ශිෂ්‍යයින් ලෙස පාසල් අධ්‍යාපනය ඇරඹුවේ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ය.

එසේම, මාස් පතා පසලොස්වක පෝයට ද, වාර්ෂික බණ මඩු කාලයට දිනපතා ම වාගේ ද, අම්මා සමග (තාත්තා මා දන්නා කාලයේ පන්සල් ගියේ නැත!) අප ගියේ කොස්සින්න යටවත්ත පුරාණ රජමහා විහාරට ය. ආනන්ද ජයතිලකලා නම්, අපට වඩා වැඩි වැඩිවාර ගණනක් පන්සල් ගිය හ. ඔහු ගේ උපන්දිනය දා ද පන්සලේ පින්කමක් පැවැත්වුණු බව මගේ මතකය යි.

ගනේමුල්ල සහ කඩවත අතර ධාවනය කෙරුණු 218 බස් රථය ද, අප සමහර විට හැඳින්වූයේ කොස්සින්න බස් එක ලෙස යි. එය පරකන්දෙණිය හරහා ද ගිය බව මෙන් ම, නිල වශයෙන් හැඳින්වුනේ පරකන්දෙණිය බසය නමින් බව ද අප අමතක කෙරුවෙමු.

කොටින් ම, ගතින් පරකන්දෙණියේ සිටියද, මම ප්‍රායෝගිකව කොස්සින්නේ කොලුවෙකු වූයෙමි.

කෙසේ වෙතත්, මට තරමක හෝ දුකක් ඇතිවුණේ, පරකන්දෙණියේ අයෙකු වූ මට පරකන්දෙණිය සමග කිසිදු ප්‍රායෝගික සම්බන්ධතාවක් නොතිබීම ගැනයි. පරකන්දෙණිය පන්සලට මා එක් දිනක් හෝ ගොස් නැත. මායාදුන්නේ නමින් කණිෂ්ඨ විද්‍යාලයක් ද, මහා විද්‍යාලයක් ද පරකන්දෙණිය ගමේ තිබුණු නමුත්, ඒ පාසල්වලට යන කිසිවෙකු ගැන මම දැන නොසිටියෙමි. සීයා ගේ නෑදෑයින් සිටිය ද මා පරකන්දෙණිය ගමේ ඒ ප්‍රදේශයට ගොස් ඇත්තේ එකම එක ඇට්-හෝම් උත්සවයකට සහභාගී වීමට පමණි.

ගමේ වෙනස සමගම ආ තවත් වෙනස්කම් ද තිබුණි.

අප හතරවෙනි ශ්‍රේනියේ ඉගෙන ගන්නා කාලයේ, සිංහල පාඩමේ දී අපට අභ්‍යාසයක් ලෙස ලිපියක් ලියන්නට පැවරුණි. ලිපිය ආරම්භ කළ යුතුව තිබුණේ ලියන්නා ගේ ලිපිනයෙනි.

මා අසල සිටි ආනන්ද ජයතිලක තම ලිපිය අරඹමින් ලිපිනය ලෙස:
220,
කොස්සින්න
ගණේමුල්ල
කියා ලිව්වේ ය. මෙහි ගණේමුල්ල යනු ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටා තිබුණු ස්ථානයයි.

අපේ මහගෙදර උළුවස්සේ අලවා තිබුණු සංගණන ලේබලය නිසා නිවසේ අංකය 101 යැයි මම දැන සිටියෙමි.

මම මගේ ලිපිය අරඹමින්:
101
පරකන්දෙණිය
ගණේමුල්ල
කියා ලිව්වෙමි.

"රසිකලා ගේ ගෙදර තියෙන පරකන්දෙණියට තැපැල් එන්නේ ගණේමුල්ලේ ඉඳලා නොවෙයි ඉඹුල්ගොඩ තැපැල් කන්තෝරුවෙනුයි!" ආනන්ද මට කීවේ ය.

මේ ඉඹුල්ගොඩ යනු කොළඹ නුවර පාරේ පිහිටා ඇති කඩ මණ්ඩියයි. කොටුවේ සිට දුවන 138 බස් රථවල පසු කාලයක ගමනාන්තය වූයේ මේ ස්ථානයයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.wired.com/2008/12/abstract-dlc-re/)

Tuesday, 13 June 2017

පසුගිය දශකය තුළ මගේ වැටුප වෙනස් වූ අන්දම - Sky is perhaps not the limit?


කාන්තාවකගෙන් වයස කීයද කියා අසන්නට ද, පිරිමියෙකුගෙන් වැටුප කීයද කියා අසන්නට ද එපා යැයි කියමනක් ඇත.

නමුත්, රජයේ සේවයේ යෙදෙන අය ගේ වැටුප් විස්තර නම් රහස් නොවේ. උදාහරණයක් ලෙස, ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අයත් ආයතනයක සේවය කරන මගේ වැටුප නම්, අන්තර්ජාලයේ තරමක සෝදිසියකින් සොයා ගත හැක.

එතෙක් කල් මා කළ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය රැකියාවට ආයුබෝවන් කියා, පර්මනන්ට් හෙඩ් ඩැමේජයක් (PhD) වෙනුවෙන් ලියමින් සිට අමතක වෙමින් තිබුණු තීසියය ද අලුයම කෙළ පිඬක් මෙන් ඉවත හෙළා අමතක කර, මා රජයේ සේවයේ බිස්නස් ඇනලිස්ට් තනතුරකට පැන ගත්තේ මීට වසර දහයකට පෙර ය.

ඇත්තට ම කියනවා නම්, මා එලෙස රැකියාව මාරු කළේ ජීවිතයේ වෙනසක් අවශ්‍ය වූ නිසා ම හෝ නොකෙරෙන පීඑච්ඩී එකකින් ගැලවීමට අවශ්‍ය වූ නිසා ම හෝ පමණක් නොවේ. ඒ රැකියා වෙනස නිසා මගේ වැටුප ද සෑහෙන තරමකින් (>25%) වැඩි වූ නිසා ය.

මා රජයේ සේවය ඇරඹූ කාලයේ තනතුරට හිමි වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව, සේවක - සේවා යෝජක කේවල් කිරීමේ ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව 4% කින් ද වැටුප් වැඩි විය.

ඒ රැකියාවේ වසර දෙක හමාරක් පමණ ගත කළ පසු මම, අපේ ආයතනයේ ම වෙනත් අංශයක, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙස සේවය ඇරඹුවෙමි. ඉන් වසරකට පමණ පසු මා දැනට නිරත බිස්නස් සිස්ටම්ස් මැනේජර් තනතුර සඳහා පත්වීමි.

වැදගත් කරුණක් කිව යුතු ය.

මේ කිසි තනතුරක්, කාලයත් සමග ඉබේ කඩා වැටුණු ඒවා නොවේ. නිසි ලෙස සැකසූ අයැදුම්පත් යොමු කිරීම, සම්මුඛ පරීක්‍ෂණ ඇතුළත් දීර්ඝ තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මා දිනාගත් තනතුරු ය.

මගේ වැටුප සම්බන්ධයෙන් ගතහොත්, පසුගිය වසර කිහිපය ඇතුළත සිදුවූ වෙනස්කම් දෙකකි.

මුලින් ම, පැවති කම්කරු රජය වෙනුවට දැන් පවතින කන්සර්වේටිව් රජය පැමිණීමත් සමගම සේවකයින් ගේ කේවල් කිරීමේ බලය අඩු වී ගොස් අපේ වාර්ෂික වැටුප් වැඩවීම 4% සිට 2.5% දක්වා අඩුවිය.

දෙවෙනුව, මා එකම රැකියාවේ වසර තුනකට වඩා රුඳුණු නිසා, තනතුරට හිමි වැටුප් වර්ධක ලැබී අවසාන විය. එනිසා මුල් කාලයේ වසරකට දෙවරක් ලැබුණු වැටුප් වැඩිවීම් වෙනුවට දැන් ලැබෙන්නේ වසර මැද ලැබෙන 2.5% පමණි!

දැන් මා සක්‍රීයව වෙනත් රැකියාවක් සොයන නිසා, පසුගිය වසර දහය තුළ මගේ වැටුප වැඩිවුණු ආකාරය විශ්ලේෂණය කර බැලීමට නොබෝදා මට සිත්විය.

පහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ඒ විශ්ලේෂණය යි.


ඒ අනුව, රජයේ සේවය අරඹන්නට පෙර මා විශ්වවිද්‍යාල සේවයේ දී ලැබූ වැටුපට මෙන් දෙගුණයකටත් වඩා මා වැටුප් ලබන බවත්, එසේ ම රජයේ සේවයේ ද, ලැබූ වෙනත් තනතුරු සහ වාර්ෂික වැටුප් වැඩිවීම් නිසා, වසර දහයක් ඇතුළත 80% කින් පමණ වැටුප් වැඩි වී ඇති බවත් පෙනේ.

මේ සටහන ආරම්භයේ දී මා කාන්තාවන් ගේ වයස ගැන ද, පිරිමින් ගේ වැටුප ගැන ද, සඳහන් කළෙමි. වයස වැඩිවීම ගැන ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව කිසිවෙකු ගේ කැමැත්තත් නැත. එසේ වුව ද, වැටුප තව තවත් වැඩිවීම ගැන නම් අප කිසිවෙකු ගේ අකමැත්තක් ඇති යැයි නොසිතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.lovethispic.com/image/46574/always-be-positive)

Sunday, 11 June 2017

ජොබ් කරන අයට අවවාදයක් හෙවත් කුරුවල්වීම - Rolling stones and moss


රැකියාවක ඇති වැදගත්කම දන්නේ විරැකියාවෙන් පෙළෙන අයයි. සමහර විට සති කිහිපයක් නොව, මාස ගණනාවක් ම, වසර කිහිපයක් ම, විරැකියාවෙන් දුක් විඳින්නට අප සමහරුන්ට සිදුවේ.

මා ද, ජීවිතයේ දෙතුන් වරක් ඒ කට්ට කා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර, මගේ ස්වයං චරිතාපදානයේ කොටස් ලෙස, කෙමෙන් කෙමෙන් ලියවෙනු ඇත.

කෙසේ හෝ දුක් විඳ, රුකියාවක් සොයා ගත් පසු, අර මුලින් කෑ කට්ට පිළිබඳ මතකය කෙමෙන් කෙමෙන් තුනී වී යන්නට පටන් ගනී.

නමුත් චක්කරේ ආපසු කැරකෙන්නට පුළුවන.

චක්කංව වහතෝ පදං!

මේ සටහනේ මාතෘකාවේ දැක්වෙන පරිදි ජොබ් කරන අයට මා දෙන අවවාදය මෙයයි.
එකම රැකියාවේ, එකම කාර්යය කරමින්, අවුරුදු තුනකට වඩා ඉන්න එපා!
හැකි විගස වෙනත් රැකියාවකට යන්න.

ආණ්ඩුවේ රැකියා කරන අය සම්බන්ධයෙන් කියනවා නම්, අඩු වශයෙන් තමන් දැනට කරන රැකියාවට හිමි වාර්ෂික වැටුප් වර්ධක සියල්ල ලැබී අවසාන වූවාට පසු ඒ රැකියාවෙන් තව දුරටත් රැඳී නොසිට වෙනත් රැකියාවක් සොයා ගන්න.

පුද්ගලික අංශයේ සේවය කරන අයට නම්, මා දන්නා පරිදි, නිත්‍ය වාර්ෂික වැටුප් වර්ධක නැති නිසා, අවුරුදු තුනේ සීමාව උපයෝගී කර ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ අවවාදය මා ඔබට දෙන්නේ දශක කිහිපයක අත්දැකීම් ඇසුරෙන් හොඳින් වටහා ගෙන බව සැබෑවක් නමුත්, නීරෝගී බවේ වැදගත්කම ගැන අපට වැටහෙන්නේ රෝගී වූ විට පමණක් සේ ම, මගේ මේ අවවාදය මට ම වැටහුණේ තරමක් කල් ඉකුත් වූ පසුව ය. එනම්, මට මෙය වැටහුණේ මා දැනට කරන රැකියාවේ සිව් වසරකටත් වඩා ගෙවූ පසු ය.

මෙහි දී, වෙනත් රැකියාවක් සෙවීම යන්නෙන් මා අදහසක් කරන්නේ තමන් සේවය කරන ආයතනයෙන් අස්වී යාම ම නොවේ. ඒ ආයතනයේ ම වුව ද, වෙනත් කාර්යයන් කිරීමයි.

මේ ආකාරයේ වෙනස්කම් නිකම්ම ඇති නොවේ. ඒ සඳහා උත්සාහය, අධිෂ්ඨානය මෙන් ම, තමන් ගේ කුසළතා වර්ධනය කර ගැනීම ද, කුසලතා පරාසය පුළුල් කර ගැනීමට ද අපට අවශ්‍ය වෙනු ඇත.

එනිසා, එවැනි වෑයමක් දැරීම කිසිසේත් ම අපතේ යන්නක් නොව අපේ වෘත්තීමය දියුණුවක් ලෙස සැලකිය හැකිය.

එකම රැකියාවේ වසර දෙක තුනක් ගත කරන විට, අපට අනවශ්‍ය සුරක්‍ෂිතබවක් දැනෙන්නට පටන් ගනියි. ඒ සමගම, අප නොදැනුවත්ව ම අපේ කටයුතු අකාර්යක්‍ෂම වීම ඇරඹේ.

මම මෙය කුරුවල්වීම ලෙස හඳුන්වමි.

තවත් කලක් ගතවෙන විට සිදුවන්නේ අප වෙනස් කම් නුරුස්සන, කල් පැන ගිය, යාන්ත්‍රික රොබෝලා බවට පත් වීමයි.

පුද්ගලිකව මා ගැන පවසනවා නම්, මේ වසරේ ජූනි විසි අට වෙනිදාට මා මේ දැන් කරන රැකියාව අරඹා වසර හතක් සම්පූර්ණ වේ.

ඊට කලින් මා මේ ආයතනයේ ම වෙනත් රැකියාවක වසරක් පමණ සේවය කළෙමි. ඊටත් කලින් මා මේ ආයතනයේ සේවය සඳහා එකතු වූ තනතුරේ වසර දෙක හමාරක් පමණ සේවය කළෙමි.

කල්පනා කර බැලූ විට, මා මීට පෙර, ලංකාවේ ද, ඕස්ටේ‍ර්ලියාවේ ද, එකම ස්ථානයක එකම රැකියාවක් වසර තුනකට වඩා එක දිගට කර නැත. අතර මගදී කුමක් හෝ සාර්ථක වෙනසක් සිදු වී රැකියාව ඒකාකාරීවීම හෙවත් කුරුවල්වීම නැවතී තිබේ.

මා පෙර සඳහන් කළ ආකාරයට, මේ රැකියාවේ අවශ්‍ය කාලයට වඩා දිගු කලක් මා රැඳී ඇති බව මට ම වැටහුණේ මින් දෙවසරකට පමණ ඉහත දී ය.

එතැන් සිට වුව ද මා සෙවූයේ සෑම අතින් ම දැන් මා කරන රැකියාවට වඩා හැම අතින් ම ඉහළ රැකියාවකි. එය ද දුරාවාරයේ ය. ඒ අතර, වසරකට පෙර ඇරඹුණු ආයතනයේ ප්‍රතිව්‍යුහකරණය වැඩ පිළිවෙළක් නිසා, එලෙස කළ වෙනත් රැකියා සෙවීම ද මම මදකට නතර කර දමා සිටියෙමි.

කෙසේ නමුත්, දැන් මේ තත්වය වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.

මට ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ලියා, සංස්කරණය කර පළ කිරීමට නියමිත ගොනුවේ බහා දින හිහිපයකට පසුව, පසුගිය ඉරිදා රාත්‍රියේ දී, වෙනත් රැකියාවකට අයැදුම් පතක් යොමු කළෙමි! මේ සති අන්තයේ ද තවත් අයැදුම් පතක් සැකසීමට සිතා සිටිමි.

රැකියා කරන ඔබ ද, කුරුවල්නොවී සිටීමට උත්සාහ ගන්නා මෙන් ආදරයෙන් ඉල්ලමි.

(image: http://lastrada.blogspot.com.au/2011/04/rolling-stone-gathers-no-moss-anzio.html)

Friday, 9 June 2017

මයුරි ගේ "ආගම් මාරුව" - This is an old story


මෙය පැරණි කතාවකි.

වසර කිහිපයකට පෙර තමා එතෙක් ඇදහූ හෝ නොඇදහූ ආගම මාරු කර වෙනත් ආගමක් ඇදහීම අරඹන මිනිසුන් පිළිබඳ ලොකු කතාවක් ඇති වී තිබුණා ඔබට මතක ඇතැයි සිතමි.

ආගම යනු උපතින් අපට ලැබෙන රට, ජාතිය, ජාන, ලෙඩ රෝග වැනි දෙයක් නොවේ. උප්පැන්න සහතිකයේ ආගමක් ගැන සඳහනක් නැත්තේ ද ඒ නිසා ය.

ආගම යනු අප අඳින සරමක් හෝ කලිසමක් වැනි දෙයකි. තමන් කැමති දෙයක් ඇඳීමට, සරමෙන් කලිසමට මාරු වීමට සහ කලිසමෙන් සරමට වැසීමට නිදහස තිබිය යුතු ය. එය මූලික ප්‍රජා අයිතියකි.

ආගම් මාරු කිරීමට විරුද්ධව නීති ගේනවා යැයි කියා පාර්ලිමේන්තු ගිය උන්දලා ද, පසුව ඒ කතා අමතක කර දැමුවේ ඒ නිසා ය.

මීට දස වසරකටත් වඩා ඉහත ඒ සමයේ දී, අපට මිතුරු නිවසක පැවති සුහද සාදයකට සහභාගී වීමට සිදුවිය.

පිරිමින් පිරිස මද පමණින් දෂ්ඨ කරමින් සිටිය දී, "අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්!" වර්ගයේ කාන්තාවන් පිරිසක් විසිත්ත කාමරයේ අසුන්වලට බර දී ලොකු කතා බහක නිරතවෙමින් සිටියහ.

"ඉතිං අනේ එයා දැන් මුළුමනින් ම ක්‍රිස්තියානි ආගමට හැරිල නෙ!" ඒ මහා විස්සෝපයකින් යුතුව කතා කරමින් සිටියේ මයුරී ය. "මේ සේරම පටන් අරගෙන තියෙන්නෙ එයා දවසක් ෂොපින් යනකොට අඳුනන්නෙවත් නැති එක්කෙනෙක් එක්ක කතා කරලා යි. ඊට පස්සෙ දෙන්නා කතාවට වැටිලා. පස්සේ ගෙදරත් ඇවිල්ලා දෙගොල්ලෝ හොඳම හිතවත් වෙලා. අන්තිමේ දී, දැන් ආගමත් මාරු කරල. හිතන්න පුළුවන් ද අනේ?"

එතැන සිටි අනෙක් කාන්තාවන් කිහිප දෙනා ද හූමිටි තබමින් මයුරිට සවන්දෙමින් සිටියහ.

"මාත් අහල තියෙනවා ඔය විදියෙම ආගම මාරු කරපු කතාවක්” එතැන නැවතුණු මම කියූවෙමි.

කාන්තා පිරිස ගේ අවධානය මට යොමුවිය.

"ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල".

"ඉතිං?"

"ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුනන හැම දෙනාම ඒ ආගමට හැරිලයි".

"ආනේ!" මයුරි ඇස් දෙක ද විශාල කොට ඉතා පුදුමයෙන් යුතුව කීවා ය "කවුද අනේ ඔය තිස්ස කියන්නේ? කොහේ කෙනෙක්ද ඔය ඔයා ගේ යාළුවා? පේරාදෙණියෙ කෙනෙක් ද?"

"මේ මගෙ යාළුවෙක් නං නෙමේ, මේක මාත් තුන් හතර පාරක් ම අහල තියෙන හරි පරණ කතාවක්".

"මං නං ඔය කතාව ඇහුවෙම මේ අදයි".

"වෙන්න බෑ, ඇයි ඔයා තුනේ පන්තියෙදි බුද්ධාගම පාඩම ඉගෙන ගත්තෙ නැද්ද?"

"රසික, ඔය අඹ කතාව හැර වෙනත් අඹ කතා තියෙනවා ද?" කරුණු වටහා ගත් වෙනත් අයෙක් සිනාව අතරින් ම පවසනවා මට ඇසුණි.

-රසිකොලොජිස්ට්

(image: http://wallpaperswide.com/buddha_buddhism_blue_calm_digital_art-wallpapers.html)

Wednesday, 7 June 2017

රසික සූරියආරච්චි යනු කවුද? - Who is Rasika Suraweeraarachchi


"මචං, මයි කොන්ග්‍රැජුලේෂන්ස් ෆෝ යුවර් එවෝඩ්ස් ඇට් ද ටෙලිඩ්‍රාමා ෆෙස්ටිවල්. දැට් වෝස් එ නයිස් සෝන්ග් රසික, ඇන්ඩ් එ නයිස් ටෙලෙඩ්‍රාමා ඈස් වෙල්.

බට්, ඉට් ඊස් සොරි ටු සී දැට් සම් ඔෆ් දීස් නිවුස් පේපර්ස් හෑව් ස්පෙල්ට් යුවර් ෆැමිලි නේම් ඉන්කරෙක්ට්ලි!"

ලංකාවේ වෙසෙන මගේ විශ්වවිද්‍යාල සගයෙකුගෙන් මීට වසර හයකට පමණ පෙර මට ලැබුණු ඊ-මේල් පණිවිඩයක අන්තර්ගතය දළ වශයෙන් එසේ විය.

මොන ටෙලි ඩ්‍රාමා එකක් ද?

මොන සින්දුවක් ද?

මොන සම්මානයක් ද?

මා කිසිසේත් සම්බන්ධ නැති ක්‍ෂේත්‍රයක නිර්මාණකරණය වෙනුවෙන් ලංකාවේ පවත්වා ඇති සම්මාන උළෙලක දී පිරිනැමුණු සම්මානයක් මට ලැබී ඇති යැයි මෙලෙස සුභ පතන්නේ ඇයි?

කොතැනක හෝ අවුලක් සිදු වී ඇත.

මේ කුමක් නිසාදැයි සිතා ගත නොහැකිව සිටින විට මට තවත් සුභ පැතුම් පණිවිඩ කිහිපයක් ම ලැබුණි. දිනකට පමණ පසු, අන්තර්ජාලිත පුවත්පත් කියවද්දී මට මෙහි දී සිදු වී ඇති අවුල ලිහා ගැනීමට හැකි විය.

"රසික සුරවීරආරච්චි" නම් අයෙකු ටෙලි නාට්‍ය පිටපතක් ලියා ඇති අතර, ලංකාවේ පැවති සම්මාන උළෙලක දී, ඒ නාට්‍ය පිටපත සඳහා ද, ටෙලි නාට්‍යයේ අඩංගු වූ ගීයක් සඳහා ද ඔහුට වසරේ හොඳම ටෙලිනාට්‍ය පිටපත සහ ගී පදමාලාව සඳහා පිරිනමන සම්මාන ද්වය ම ලැබී ඇත.

එය ඇතැම් මාධ්‍ය විසින් නිවරැදිව වාර්තා කර තිබුණද, මා ද දුටු අයුරින්, මාධ්‍ය කිහිපයක "සුරවීරආරච්චි" යන පෙළපත් නම වෙනුවට සඳහන් වී තිබුණේ "සූරියආරච්චි" කියා ය.







විශ්වවිද්‍යාල සමයේ දී ඉංජිනේරු පීඨ කලාකවයේ මා කුකවි පළ කළ බව ද, ඉන් පසුව 2005 දී පෙම් ගී නමින් ගී පදමාලා ඇතුළත් බ්ලොග් අඩවියක් ඇරඹූ බව ද දන්නා මගේ මිතුරා, මා ලංකාවෙන් පිටත විසුවත්, රසික සූරියආරච්චි යන නම සම්මාන ලයිස්තුවේ දුටු විට, මා ලංකාවේ ටෙලිනාට්‍යයකට පිටපතක් හෝ ගීතයක් රචනා කරන්නට ඇතැයි විශ්වාස කිරීම පුදුමයක් නොවේ.

එසේ වෙතත්, හාස්‍යජනක කාරණය වූයේ, නම වරද්දා නොගෙන නිසි අයුරින් "සුරවීරආරච්චි" ලෙස සඳහන් කළ මාධ්‍යයන්ට මගේ මිතුරා කළ චෝදනාවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ සූරියආරච්චි පෙළපත් නම ගැන ය. මුල් නම රසික පිළිබඳව වූ අවුලක් ගැන මා කලකට පෙර ලියා පළ කළ මේ කතාව ද කියවන්න.

මයි ඩාලින් රසිකා - Rasika, my darling!
https://rasikalogy.blogspot.com/2016/11/rasika-my-darling.html


(images: https://www.facebook.com/rasika.suraweeraarachchi, sundaytimes.lk, sarasaviya.lk, dailynews.lk)

Monday, 5 June 2017

475. ආපහු කසාදයක් කර ගැනීම වැරදි ද? - No one can accuse me of bigamy!


සාමාන්‍ය නීතිය යටතේ එක් වරක් විවාහ වී ඇති අයෙකුට ඒ විවාහයෙන් ඉවත් නොවී නැවත විවාහ විය නොහැක. එසේ දෙවන විවාහයක බැඳීම හෙවත් බිගමි යන්න සැලකෙන්නේ බරපතල වරදක් ලෙසයි.

එසේ නොවන අවස්ථාවල පවා, උදාහරණයක් ලෙස, වැන්දඹු පිරිමියෙකු වූ වික්ටර් රත්නායක පසුගිය දා විවාහයක් කර ගත් විට කොයි තරම් හා හෝවක් ඇති වුණි ද?

කෙසේ වෙතත්, පැවති විවාහය එසේ ම තිබිය දී, මම යළිත් විවාහයක් කර ගැනීමට, මුදු මාරු කර, ගිවිස ගත්තෙමි.

එකට එක කරන්නට සිතා දෝ, මගේ බිරිඳ ද එසේ ම කළා ය.

නමුත්, අප දෙදෙනාට විවාහ නීතිය කඩ කිරීමේ චෝදනාව නම් එල්ල නොවෙනු ඇත.

ඒ මක් නිසා ද යත්, මුදු මාරු කර ගෙන, මා අලුතෙන් විවාහ ගිවිස ගත්තේ මගේ ම ආදරණීය බිරිඳ සමග නිසාත්, ඇය විවාහ ගිවිස ගත්තේ මා සමග නිසාත් ය.



කෙසේ වුවත්, මේ දෙවෙනි විවාහ ගිවිස ගැනීමේ එක් අතුරු ප්‍රතිඵලයක් වූයේ, අප්‍රියෙල් 17 දින සිට ජූනි පළමුවෙනිදා දක්වා, නොනවත්වා, මුලින් බ්ලොග් වසන්තය නිසාත්, එය අවසාන වීමෙන් පසුවත්, දිනපතා සටහන් පළ කරමින් පවත්වාගෙන ගිය රසිකොලොජියට පොඩි විවේකයක් දෙන්නට සිදුවීම යි.

දින හතරක නිවාඩුවෙන් පසු යළි අද පටන් "රසිකොලොජිය" යාවත්කාලීන කිරීම ඇරඹුණ ද, ඉදිරියේ දී මා සටහන් පළ කරන්නට අදහස් කරන්නේ මේ වසරේ මුල් මාස තුනහමාරක පමණ කාලයේ දී කළාක් මෙන් දින දෙක තුනකටවරක් පමණි.

පසුගිය ඒක පුද්ගල බ්ලොග් මැරතන් සමයේ දී, "රසිකොලොජිය" නිරතුරු කියවා, ප්‍රතිචාර දක්වා, දිනකට පිවිසුම් වාර 1,500 පමණ සටහන් කළ (බොට්ලා ඇතුලු) සියලු දෙනාට ම මගේ ස්තුතිය හිමි වේ.

ඔබටත් වාසනාවන්ත නැවත විවාහයක් සහ මධු සමයක් වේවා යැයි ඉත සිතින් පතමි!



-රසිකොලොජිස්ට්

ප/ලි
ඉහළින් ම ඇති පින්තූරයේ ඉන්නේ එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් යුවළයි.

(image: http://www.telegraph.co.uk/culture/tvandradio/bbc/10190932/Richard-Burton-and-Elizabeth-Taylor-the-deadly-love-that-never-died.html)

Thursday, 1 June 2017

"සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?


"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන වචනය මා මුලින් ම ඇසුවේ තායිලන්තයේ බැංකොක් නගරාශ්‍රිතව පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ (AIT) ඉගෙනීම ඇරඹූ සමයේ දී ය. සිංහලෙන් ඒ සඳහා "ආපදා පෙර සූදානම" යන්න යෙදිය හැකි ය.

එකල පශ්චාත් උපාධි ආයතනයක් වූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" නමින් සුවිශේෂී මධ්‍යස්ථානයක් විය. එක්සත් ජාතීන් ගේ සංගමයේ වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස පිහිටුවා තිබුණු මේ මධ්‍යස්ථානය මගින් සිදු කළ මූලික ම කර්තව්‍යයක් වූයේ ආසියාකරයේ රාජ්‍ය නිලධාරීන් සඳහා මේ විෂය සම්බන්ධයෙන් සති අටක කෙටි පාඨමාලා පැවැත්වීමයි. ඒ පාඨමාලා සඳහා ලංකාවෙන් ද, දිසාපතිලා, උප දිසාපතිලා, ලේකම්ලා සහ වෙනත් නිලධාරීන් සහභාගී වූ බව කියවිණි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" හෙවත් "ආපදා පෙර සූදානම" යන්න එතෙක් මා අසා නොතිබුණු, එසේ ම, අමුතු ආකාරයක යෙදුමක් වූ බැවින් මම එයින් අදහස් කෙරෙන්නේ කුමක්දැයි මදක් සොයා බැලුවෙමි.

මට වැටහුණු ආකාරයට, "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන්නෙන් අදහස් කෙරෙනුයේ ආපදාවකට සාර්ථකව මුහුණ දීම සඳහා, කල් වේලා ඇතුව, මනා සේ සූදානම් වීමයි. එමගින් අපේක්‍ෂා කෙරෙන්නේ ආපදාවේ අනිසි ඵල ලෙස අනතුරු ඇතිවීම හැකි උපරිම දුරකට වලක්වා ගැනීම සහ එවැනි අනතුරු නිසා සිදුවන හානිය හැකි උපරිම දුරට අඩු කර ගැනීමයි.

ආපදාවකින් අනතුරු, ජීවිත හානි, දේපල හානි සිදු වූ පසු ඒ තත්වය කළමනාකරණය කිරීම "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" විෂයයට අදාළ, නමුත්, වෙනස් වැඩ කොටසකි. "ඩිසාස්ටර් මැනේජ්මන්ට්" හෙවත් ආපදා කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ ඒ විෂයයයි.

ගංවතුර, සුනාමි, ගිනිකඳු, නායයාම්, භූමි කම්පා, ලැව් ගිනි යනාදී ආපදා තත්වයන් උදා කරන ස්වාභාවික ව්‍යවසන ඇති බව අපි දනිමු. එසේ ම, දුම්රිය, ගුවන්යානා අනතුරු, ගිනි තැබීම්, ගිනි ගැනීම් යනාදී අවාසනාවන්ත සිදුවීම් ද, ආපදා තත්වයන් උදා කරයි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" ක්‍රමවේදයෙන් අදහස් කෙරෙන්නේ එසේ ස්වභාවික හෝ මිනිසුන් විසින් ඇති කරන ලද විපත් මගින් අනතුරුදායක තත්වයන් ඇති වීමේ හැකියාව අවම කර ගැනීමයි. එසේ ම, නොවැළැක්විය හැකි අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපල හානි සහ ජන ජීවිතය අවුල්වීම අඩු කර ගැනීමයි.

වැස්ස අපට නැවතිය නොහැක. අවම කළ නොහැක. කෙටි කාලයක් තුල විශාල වැස්සක් විශාල ප්‍රදේශයකට ඇද හැලුණු විට, ඒ වතුර සාමාන්‍ය ස්වභාවික සහ කෘතිම ජල ප්‍රවාහන පද්ධති පරයා පිටාර ගැලීම ද අපට වැලැක්විය නොහැක. මක් නිසා ද යත්, සෑම පද්ධතියක් ම, උපරිම ධාරිතාවය සහිතව සකසා තැබීම ආර්ථිකවශයෙන් ඵලදායී නොවන ඊටත් වඩා බොහෝ විට ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තක් වන නිසා ය.

එසේ නම්, අපට කළ හැක්කේ කුමක් ද?

වර්ෂාව වැටුණු පළියට ම, අප එයට තෙමිය යුතු නැත. එසේ ම, වැරදීමකින් හෝ වැස්සට තෙමුණු පළියට හෙම්බිරිස්සාව හදා ගත යුතු ද නැත. එසේ ම, හැදුණු හෙම්බිරිස්සාව, පසුව නිව්මෝනියාවට පෙරළා ගත යුතු ද නැත. නිව්මෝනියාව සැදුණ ද ඒ හේතුවෙන් මිය යා යුතු ද නැත.

ඒ සැම එකකින් ම වැලකී සිටීමට ක්‍රම තිබේ. එසේ ම, අනිසි ප්‍රතිඵල අවම කර ගැනීමට ද ක්‍රම තිබේ. අප කළ යුත්තේ ඒවා සොයා බලා, සැළසුම් කර, සූුදානම් ශරීරේ තත්වය උදා කර ගැනීමයි.

එසේම, අනෝරා වැසි වැටුණු පමණින්, ගංවතුර පිටාර ගැලූ පමණින්, කඳු නාය ගිය පමණින් මිනිස් ජීවිත නැති විය යුතු නැත. නිවාස විනාස විය යුතු නැත. ජන ජීවිතය මෙතරම් අඩාල විය යුතු නැත. ඒ සියලු දේ බොහෝ දුරට හෝ වලක්වා ගැනීමට මෙන් ම, සිදුවන ජීවිත හානි සහ දේපල හානි අවම කර ගැනීමට ද ක්‍රම ඇත.

මේ අනුව, ආපදාවක් ඇති වුණු පසු එයින් වැනසෙන අවුල්වෙන සියළු දේ යථාතත්වයට පත් කිරීම සඳහා මනා ආපදා කළමනාකරණය අවශ්‍ය වුව ද, ඊට වඩා වැදගත් වන්නේ, ආපදා පෙර සූදානම බව පැහැදිළි ය.

හරියටම කිවහොත්, ලෙඩ සෑඳී, වැඩ අවුල් වී, ප්‍රතිකාර ගැනීමට පෙර, ලෙඩ නොසෑදෙන පරිදි සෞඛ්‍ය සම්පන්නව සිටීම වැනි ය.

අවාසනාවන්ත තත්වය නම්, ආපදා පෙර සූදානම පිළිබඳව හොඳින් දන්නා අය කිහිප දෙනෙකු හෝ ලංකාවේ සිටිති. තම අමාත්‍යාංශය විසින් ස්වභාවික ආපදාවල දී සිදුවන ජීවිත හානි, යටිතල පහසුකම්වලට සිදුවන හානි සහ ආර්ථියට සිදුවන හානි අවම කර ගැනීමේ වැඩ පිළිවෙලක් පෙළ ගස්වා ඇති බව ආපදා කළමනාකරණ ඇමති, මේ ව්‍යවසනය සිදුවීමට පෙර, අන්තර්ජාතික සමුළුවක දී පුරසාරම් දොඩා ඇති බව ද කියවේ.

නමුත් ප්‍රායෝගිකව ඒ කිසිවක සාර්ථකත්වයක් අපට දක්නට ලැබුණේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිබඳව පුද්ගලික මට්ටමෙන් වැදගත් විය හැකි සටහන් කිහිපයක් පහත අඩවියේ ඇත.
http://fluxdesignlabs.com/infographics/disaster/

(image: http://www.uctv.tv/series/Disaster-Preparedness-The-Impact-of-Dealing-with-the-Unexpected-822)

Wednesday, 31 May 2017

ගංවතුරේ හොඳ පැත්තක් - Excellent by products of flood disaster


"හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබේ!" යැයි කියමනක් ඇත. ඉන් අදහස් කෙරෙන්නේ, කෙතරම් නරක දෙයකින් වුව, යම් ආකාරයක හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකි බවයි.

"පර්සි මහෙන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියොත් හොඳය!" කියා 2015 අප්‍රියෙල් මාසයේ දී ම, එනම් ජනාධිපති ඡන්දයෙන් ඔහු පැරදී පලා ගොස් මාස තුනක් ගත වෙන්නටත් පෙර, සටහනක් ලියා පළ කළේ ද, මේ කරුණ ම, එනම් කළු වලාවේ ඇති රිදී රේඛාව මා දුටු, නිසා ය.

සිය ගණනක් ජීවිත අකාලයේ නැතිවීම පිළිබඳවත්, දේපල හානි නිසා ජීවත්වෙන අයට සිදුවෙන පාඩු සහ අපහසුතා ගැනත් දුක් වෙන අතරතුර, මා මේ ගංවතුර ව්‍යවසනය නිසා ඇති වී තිබෙන යහපත් අතුරුඵල ලෙස දකින්නේ මේවා ය.

1. කේන්දරකාර හොරුන් ගේ පුකත්වය හෙළිදරව් වීම


2. මිත්‍යාදෘෂ්ඨික දෙයියන් අදහන බයියන් ගේ ඉච්ඡාභංගත්වයට සිනාවිමට හැකිවීම


3. දේශපාලුවන් ගේ සැබෑ ජනතාවට සේවය කිරීමේ අභිලාෂය හෙළිදරව් වීම


එක් පින්තූරයකින් වචන දහසක් පැවසෙයි යන්න සත්‍යයක් නිසා, වැඩිදුර නොලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අවාසනාවට මෙන්, මීට වසර දෙක හමාරකට පෙර මා සිඩ්නි නගරයේ දී දුටුවේ මීට වඩා වෙනස් තත්වයකි. එනම්, අනතුරු අතරේ තවදුරටත් දෙයියංට ස්තුති කිරීමයි!
https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html


(images: facebook, Mirror, Divaina and http://www-evasion.imag.fr/~Fabrice.Neyret/gallery/color_and_light/silverlining/catalog.html)

Tuesday, 30 May 2017

නෙලා ගන්න බෑ නම් මක්කෙයි කොරන්නේ? - Unequal distribution of factors of production


සුනිල් ආරියරත්න ලියා නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" නම් ගීතය, මා දන්නා ආකාරයට කාරණා තුනක් නිසා, විචාරක අවධානයට ලක් වූවකි.

එයින් මුල් කාරණය නම්, මා ඊයේ ලියා පළ කළ "මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත" නම් සටහනේ සඳහන් වුනු පරිදි, සිංහල සාහිත්‍යයේ දී අප මල් උපමා කරන්නේ කාන්තාවන්ට නිසාත්, මල් නෙලීම යනුවෙන් අදහස් වෙන්නේ කාන්තාවක ගේ ආදරය ලබා ගැනීම පිළිබඳව නිසාත්, නන්දා මාලනී නමැති කාන්තාව මල් නෙලන්නට බැරියෝ කියා දුක් ගීයක් ගැයීමේ තිබෙන යම් නුහුරු බවක් නිසා ඇති වූ මේ ගීතය ලෙස්බියන් සමකාමී ආදරයක් පිළිබඳව ගැයෙන්නක් ද යන අදහසයි.

මගේ අදහස වන්නේ එය එසේ නොව, පිරිමියෙකු පිරිමි සිතකින් ලියූ ගීයක් කාන්තාවක් ගායනා කිරීම නිසා සිදු වූ අවුලක් බවයි. වෙනත් වචනවලින් කියතොත්, ඒ ගීය පද රචක සුනිල් ආරියරත්න ම ගායනා කළා නම්, කිසි අවුලක් නොදැනෙනු ඇත.

දෙවෙනි කාරණය වන්නේ "නෙලා ගන්න බෑ" ගීතය පිළිබඳව මීට සහමුළින් ම වෙනස් වූ විචාරයක් කළ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු වූ ද, සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ද, සුචරිත ගම්ලත් විසින් ඉදිරිපත් කළ අදහසයි. ඔහු ඒ විචාරය ඉදිරිපත් කරනු මා ඇසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂයෙකු ලෙස දිවි ගෙවූ සමයේ එක්තරා සෙනසුරදාවක අප සහභාගී වූ සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී ය.

පසුව කචල් වී ගියත්, එකල සුසංයෝගයකැයි කියවුනු සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙදෙනා සම්බන්ධ ගී නිර්මාණ සිංහල රසිකයින් අතර, විශේෂයෙන් ම තරුණ පිරිස් අතර, ජනප්‍රිය වීම ඇරඹුණු ඒ කාලයේ දී මේ සම්මන්ත්‍රණය සංවිධානය වී තිබුණේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ (Arts Faculty) ය. ඒ සඳහා සම්පත් දායකත්වය සැපයූවේ, එවකට විශ්වවිද්‍යාලය සේවය අහිමි වී සිටි පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස විශ්‍රාම ලැබූ සුචරිත ගම්ලත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මයිකල් ෆ්‍රනාන්දු සහ එම පීඨයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු වූ අත්තනායක හේරත් යන තිදෙනා ය.

මෙහි දී, මයිකල් ප්‍රනාන්දු සහ සුචරිත ගම්ලත් අතර සිදු වූ වචන හුවමාරුවක් මිසක, මයිකල් ප්‍රනාන්දු විසින් පවසන ලද කිසිදු කාරණාවක් මගේ මතකයේ රැඳුණේ නැත.

අත්තනායක හේරත් පැවසූ කරුණුවලින් මගේ මතකයේ රැඳුණු එක ම, එක් අතකට පිස්සු පීකුදු, කරුණ වූයේ මෙයයි.

නන්දා මාලනී ගැයූ අම්මාවරුණේ ගීතයට (එය රචනා කර තිබුණේ සුනිල් ආරියරත්න නොව ධර්මසිරි ගමගේ ය) සංගීතය සැපයීම සඳහා ජල තරංග නම් වාද්‍ය භාණ්ඩය භාවිතා කර ඇත. පෘථිවියේ ජීවය ඇරඹුණේ ජලයේ නිසා, සියලු සත්වයින් ගේ ම අම්මා ලෙස සැළකිය හැකි ජලය ආශ්‍රයෙන් බිහිවෙන ජල තරංග වාදනය, අම්මාවරුණේ ගීතයට යොදා ගැනීම සුවිශේෂී කාරණාවකි!

ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වීම නිසා මට අසන්නට ලැබුණු ජීවිතයට ම අමතක නොවන කාරණය වූයේ, සුචරිත ගම්ලත් විසින් "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතයේ පදමාලාව දරුණු ලෙස විවේචනයට භාජනය කරමින් කළ වෙනත් ආකාරයක අරුත් දැක්වීමයි.
නෙලා ගන්න බෑ
මගේ අත දිග නෑ
අනේ ඒත් තව මල් පිපියං
කෝටි ගණං තව මල් පිපියං

මට විතරද මල් පිපෙන්නෙ
මං විතරද මල් කඩන්නෙ
අනුං ඇවිත් මල් නෙළුවා වේ
මලේ සුවඳ මට දැණුනා වේ

අතින් නෙලන මල් පිපෙන්නෙ
පෙර පිණටයි මට හිතෙන්නෙ
මුළු ලොවට ම මල් පිපුණා වේ
එ මල් දකින ඇස් ලැබුණා වේ
සුචරිත ගම්ලත් අරුත් දැක් වූ ආකාරයට, මෙහි දී මල් යනුවෙන් අදහස් වෙන්නේ ධනයයි, මල් නෙලීම යනු ධනවාදී ආර්ථිකයේ දී ඒ ඵල නෙලා ගැනීමයි. සම්පත් බෙදී ඇති විෂම ආකාරය නිසා, ඒ මල් නෙලීම කළ හැක්කේ ධනපතියන්ට ම පමණි. නිර්ධනයින්ට ඒ මල් නෙලීමට අත දිග නැත!

ඒ හේතුව නිසා, එලෙස ධනපතියන්ට තව තවත් මල් නෙලා ගැනීමට ඉඩ ලැබේවා කියා ප්‍රාර්ථනය කරන මේ සුනිල් ආරියරත්න ලියූ, නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය අන්ත ප්‍රතිගාමී එකකි!

-රසිකොලොජිස්ට්

"නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය පිළිබඳව අපේ අවධානයට ලක් වූ කාරණා තුනක් ඇතැයි මම මේ සටහන ආරම්භයේ දී සඳහන් කළෙමි.

එයින් මේ සටහනට අදාලත්වයෙන් අඩු ම (තෙවන) කාරණය නම්, මේ ගීතයේ තනුව පදනම් කරගෙන, මේ පදමාලාව යම් ආකාරයකට වෙනස් කරමින්, බැඳුණු කුණුහරුප ගීතයයි.

(image: https://anticap.wordpress.com/2015/11/01/wage-labor-and-capital-revisited/)

Monday, 29 May 2017

මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත - Confused?


දේශපාලුවෙකු ගැන ලියවුණු පොතක් සඳහා "සුවඳ හමන මලක්" යැයි නම යොදා තිබුණ ද, මල් යන්න කාව්‍යමය ලියවිලිවල දී නම් සැමවිට ම පාහේ යොදා ගන්නේ කාන්තාව පිළිබඳ වර්ණනා කිරීම සඳහා උපමාවක් ලෙස ය.
සොඳුරු වුවනත ඔබේ සුපිපි මල් කැකුළක් ය
සිතට සොම්නස සඳන මිහිරිතම හැඟුමක් ය
යනුවෙන් මා අවුරුදු දහ අටේ දී සිතින් පෙම් කළ යුවතියක් පිළිබඳ පබැඳුණු කවියක ලියවුණු බව මට සිහිවේ.

අවාසනාවකට මෙන් මට අද අමතක කාරණය නම්, එලෙස මලකට උපමා කෙරුණේ අර දේවිනිය ද, නැතිනම් ආනන්දනිය ද, නැතිනම් විශාකාවිය ද එසේත් නොමැති නම් යසෝදරාවිය ද යන්නයි. මල යන සාමාන්‍ය වචනය නොමැතිව සුවිශේෂී මල්වර්ගයක් උපමාවට ගත්තේ නම්, උදාහරණ ලෙස, පිළිවෙලින්, නිදිකුම්බා, රෝස, උඩවැඩියා සහ ඇන්තූරියම්, මගේ මතකය මීට වඩා හොඳින් සුරුකී තිබෙන්නට ඉඩ තිබුණි.

එලෙස යුවතියන් මල්වලට සම කිරීම නිසා, යුවතියන් කණ්ඩායමක් හැඳින්වීම සඳහා "මල් පාත්තිය" යන "කලෙක්ටිව් නවුන් එක" හෙවත් සමූහ නාම පදය එකල යොදා ගැනුණි. යුවතියන් රැසක් පිරිවරා යනෙන කොල්ලන් ඊර්ෂ්‍යාබර සරදම් බසින් හැඳින්වුණේ මල් පාත්තියේ හිමිකරු වශයෙනි.

ඒ කාලයේ ව්‍යවහාරය අනුව, "මලක් නෙලා ගැනීම" යනු යුවතියක ගේ කැමැත්ත දිනා ගැනීම විය.
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
කියා කරුණාරත්න අබේසේකර ලියා, මිල්ටන් පෙරේරා ගැයීය.

එයින් කියවෙන්නේ තමන්ට හිමි කර ගැනීමට නොහැකි තරුණියක ගේ ප්‍රේමය ගැන දුකින් තැවෙන පිරිමියෙකු ගේ ශෝකාලාපයයි.

පසු කලෙක, සුනිල් ආරියරත්න ලියා, නන්දා මාලනී ගැයූ ගීතයක මෙසේ කියවෙයි.
නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ
ඒත් අනේ තව මල් පිපියන්
කෝටි ගණං තව මල් පිපියං!
මා මුලින් සඳහන් කළ පරිදි මල් යනුවෙන් උපමා කෙරෙන්නේ කාන්තාවට වීම සහ මල් නෙලීම යනු කාන්තාවක ගේ ආදරය දිනා ගැනීම වීම නිසා, මේ නන්දා මාලනී ගයන්නේ ලෙස්බියන් සමකාමී ආදර ගීතයක් දෝ යි කුකුසක් ඇති වීම ස්වභාවික ය.

ඒ කෙසේද යත්, විමල් අභයසුන්දර ලියා වසන්තා සඳනායක මුලින් ගයා පසුව නන්දා මාලනී විසින් ම දෙවන වරට ගයා තැටිගත කළ පහත ගීතය ලෙස්බියන් සමකාමී ගීයක් යැයි සිතීම හා සමාන ආකාරයෙනි.
දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී
සිනා පපා ටිකිරි නගා
ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොණ්ඩේ බේරෙයි දිය බිංදු පුරා
නැලවී නැලවී සීතේ ගී තාලෙන්
කරුණාරත්න අබේසේකර ලියා නාරද දිසාසේකර (මල්ලිකා කහවිට සමග) ගැයූ ගීයක පහත පද සමග ඉහත විමල් අභයසුන්දර ගේ අදහස අපූරුවට සමපාත වේ.
චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරීමලී නාලා වගේ
නමුත් මෙය නම් අනිවාර්යෙන් ම තරුණයෙකු විසින් තරුණියක් පිළිබඳව කරන ආදරබර වර්ණනාවකි.

පෙර කී "නෙලා ගන්න බෑ" ගීතය මෙන් ම "දොළ ළඟ ගුරු පාර දිගේ" ගීතයේ දී ද අවුල ඇති වන්නේ, පිරිමි සිතෙන් ලියූ ගී පද, කාන්තාවන් විසින් ගායනා කිරීම නිසා බව පෙනේ. ඒ ගී පදමාලා ද, නාරද දිසාසේකරට ම දුන්නා නම් මේ අවුල ඇති නොවෙනු ඇත!

නළ කුමරු පිළිබඳව දමයන්ති කුමරිය ගයන, පිරිමියෙකු වර්ණනා කෙරෙන "සීත කඳුකර හිමව් අරණේ" නම් පෙම් ගීය, පිරිමියෙකු (මහගම සේකර) විසින් ලියන ලදුව පිරිමියෙකු (අමරදේව) විසින් ම ගැයීම නිසා සිදු වී ඇත්තේ ද, මේ ආකාරයේ ම අවුලකි.

කාලයත් සමගම, මල් නෙලීම හෙවත් මල් කැඩීම යන ක්‍රියා පදය ලිංග භේදයෙන් තොර වී ගොස් ඇති බව පෙනේ. අද ව්‍යවහාරික භාෂාවෙන් මල් කැඩීම යන්න යොදා ගන්නේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම තම සිත් ගත් අය සමග, විශේෂයෙන් ම ජංගම දුරකථන හරහා, අල්ලාප සල්ලාප කිරීම හැඳින්වීම සඳහා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම යනු මල් නෙලීම හෝ මල් කැඩීමට වඩා හාත්පසින් ම වෙනස් කටයුත්තකි. වාසනාවට හෝ අවාසනාවට මට මල් මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම පිළිබඳ කිසිදු අත්දැකීමක් නැත!

සුනිල් ආරියරත්න / නන්දා මාලනී ගීත පිළිබඳව සුචරිත ගම්ලත් ගේ විචාර පිළිබඳ මගේ මතකයන් ඊළඟට ලියමි.

Sunday, 28 May 2017

අවුරුදු විසි පහක යුග දිවියක් - Fellow bloggers Kasun and Nirmani to wed


මේ මීට දශක දෙකකටත් පෙර ඉහත කාලයක වූ සිදුවීමකි. නමුත් කිසි දිනක අමතක නොවන්නකි. අද දවසේ ඇති වැදගත්කම නිසා ඊයේ රාත්‍රියේ ද නැවත සිහිවිය.

අපේ කතා නායකයා, දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ දන්නා හඳුනන මිතුරෙකි. ඔහු වාසගමෙන් සූරිය කෙනෙකි. නමුත් ඒ ජයගත් ජයසූරිය කෙනෙකු හෝ විජයග්‍රහණය කළ විජේසූරිය කෙනෙකු හෝ නොවේ. අපේ මිතුරා වීර පරාක්‍රම බල හිමි වීරසූරිය කෙනෙකි.

වීරසූරිය සංගීතයට කැමති ය. හැකියාව ද ඇත.

වීරසූරිය ගී ගැයීමට ද කැමති ය. හැකියාව ද ඇත.

ඒ අප එකල අධ්‍යාපනය හැදෑරූ ආයතනයේ වාරාවසාන සාදය යි. කන බොන අතරේ, සහභාගීවනන්ට ගී ගැයීමට අවස්ථාව ද ලැබුණි. සභාවේ ඉදිරියට ගිය වීරසූරිය ගීයක් ගායනා කළේ ය. මගේ මතකය නිවැරදි නම් ඒ, මා බාල කාලේ, අම්මාගේ උකුලේ නම් අපේ අම්මලා ගේ කාලයේ පැරණි ගීයයි.

මේ කාලයේ අප බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින් වූව ද, මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වීරසූරිය ළඟදී විවාහ වූ තරුණයෙකු විය.

වීරසූරිය ගේ ගීතය අවසානයේ කිහිප දෙනෙකු කැ ගසා කීවේ, වීරේ තව සින්දුවක් කියපං කියා ය.

ඒ අතර එක මිතුරෙකු ඉල්ලුවේ, වීරේ සූරංගි එක්ක යුග ගීයක් කියන් කියායි. සුරංගි යනු වීරසූරියේ බිරිඳයි.

එයට පිළිතුරු ලෙස වීරසූරිය දුන්නේ අරුම පුදුම පිළිතුරකි.

"ආ, යුග දිවියක් කියන්න ඉතිං බැඳලා අඩු වශයෙන් අවුරුදු විසි පහක් යන්න ඕනෑ, නේ!"

සභාවේ සිනහව මැද එදා ඒ කතාව යට ගිය ද, පසු දින අප ඒ ගැන සාකච්ඡා කරද්දී තේරුණේ වීරසූරියට එක් වරක් නොව දෙවරක් ම සිංහල වැරදී ඇති බවයි.

මුලින් ම, ඔහු යුග ගීයක් යනු කුමක්දැයි නැවැරදිව නොදනියි. ඔහු සිතා ඇත්තේ යුග ගී ගයන්නේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර හෝ සනත් නන්දසිරි සහ මල්කාන්ති පීරිස් හෝ එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් හෝ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා හෝ දයාරත්න රණතුංග සහ අමරා හෝ පී එල් ඒ සෝමපාල සහ චිත්‍රා හෝ වැනි යුග දිවි ගත කරන විවාහකයින් බවයි.

වීරසූරියට සිදු වූ, ඊටත් වඩා බරපතල වැරදීම වූයේ, එලෙස යුග දිවියක් ගත කිරීම යනු, ඔහු සහ සුරංගි මෙන් අලුත බැන්ද යුවලක් නොකරන, විවාහ වී වසර විසිපහක් ගත කළ අය කරන අමුතු ආකාරයේ කාර්යක් බව සිතීමයි!

කෙසේ වෙතත්, අද මැයි මස විසි අටවෙනිදා තම විවාහයේ විසිපස්වෙනි සංවත්සරය සමරන යුවළක් වෙතොත් සහ ඒ සැමියා තම බිරිඳ පිළිබඳව කවියෙන් වර්ණනාවක් කළහොත් එය මෙන්න මේ ආකාරයේ වෙනු ඇතැයි මම සිතමි.

නෙත ගැටුන දා අවුරුදු ගණනකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙ ම බව දැන ගත්තෙමි එවර

යා දෙක රත ය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුර ම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දින ම

දින පෙර ලෙසින හෙට දිනයෙ ද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යළි යළි සසරේ බැඳෙමු!


හෙට අනිද්දා විවාහ වීමට නියමිත සහෘද බ්ලොග්කරුවන් වන කසුන් සහ නිර්මාණී යුවලට ද, බ්ලොග් ලෝකයේ සියලුම විවාහකයින්ට ද වාසනාවන්ත යුග දිවියක් වේවායි පතමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.gefier.com/personalized-rings/925-sterling-silver-couple-rings-couple-rings-wedding-ring-60600.html)

Saturday, 27 May 2017

සනත් ජයසූරිය සහ සරත් විජේසූරිය අතර සමානකම්! - Anything strange there?


මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටියදී කළ සෑම දේශනයක දී ම ද, ලියූ සෑම ලිපියක දී ම, එක් අරමුණක් කර ගත්තේ ඔවුන් ගේ දේශපාලනික සතුරා වූ, නව සමසමාජ පක්‍ෂයට සහ හරය පුවත්පතට පහර ගැසීම වූ අතර ඒ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ගේ ලිපි සහ දේශනවලින් මූලිකව ම පහර කෑවේ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශ සහ ඒවායේ ආචාර්ය මහාචාර්යවරුන් ය.

සුචරිත ගම්ලත් ගේ එවැනි ලිපියක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අකටයුතු ගැන එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් ගැන කියවුණි. මා පසුව ලංකාවේ දී මිලට ගෙන කියවූ ඒ ග්‍රන්ථය නම් සරත් විජේසුූරිය විසින් ලියන ලද "මගේ නඩුව ඉවරයි" නම් කෘතියයි.

"මගේ නඩුව ඉවරයි" කෘතියේ නවකතාවක ස්වරූපයෙන් විස්තර කෙරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කරන කථිකාචාර්යවරයෙකු ගේ කතාවයි. ඒ කතාව, සහමුලින් ම ඒ ග්‍රන්ථයේ කතෘ සරත් විජේසූරිය ගේ පුද්ගලික කතාව බව ඉතා පැහැදිලිය. නමුත්, උත්තම පුරුෂයෙන් ලියවී ඇති මේ නවකතාවේ ප්‍රධාන චරිතයේ නම ලෙස සරත් විජේසූරිය විසින් යොදා ඇත්තේ "සනත් ජයසූරිය" යන්නයි!

අප දන්නා පරිදි, සනත් ජයසූරිය යනු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු සහ උප ඇමතියෙකු ද වන පුද්ගලයා ය. ඒ සියල්ල අතීත පට්ටම් වන අතර, වර්තමානයේ ඔහු කුමක් කරන්නේදැයි මම නිවැරදිව නොදනිමි.

එසේ ම, සරත් විජේසූරිය යනු, කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු, ලේඛකයෙකු, දේශකයෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු මෙන් ම, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වන පුද්ගලයා බව ද අපි දනිමු.

සරත් විජේසූරිය තමන් ගේ කතාව කීමට ප්‍රධාන චරිතය ලෙස "සනත් ජයසූරිය" යන නම යොදා ගත්තේ ඇයි?

මේ දෙදෙනා අතර ඇති සමානකම් මොනවා ද?

මට පෙනෙන ආකාරයට නම්, ඇත්තේ මේ නම් ඇති අකුරු, මාත්‍රා සහ අරුතේ සමානකම් පමණි. විජය-සූරිය යන්න ජය-සූරිය යන්නට වඩා ඉහළයි කියා ද අවශ්‍ය නම් තර්ක කළ හැක. එපමණකි.

මේ පිළිබඳව මගේ නඩුව ඉවරයි ග්‍රන්ථයේ මුල් කොටසේ දී කතෘ පවසා ඇත්තේ මෙයයි.


විශ්වවිද්‍යාලයක සිංහල මහාචාර්යවරයෙකු එලෙස "සනත් ජයසූරිය" යන නම, තම මුඛ්‍ය කෘතියේ ලා භාවිතා කරයි නම්, අප වැනි සරල බ්ලොග්කරුවන් ඒ නම හෝ වෙනත් නම් ගම් ඕනෑ තැන්වල දී අදාළ පරිදි භාවිතා කිරීමේ කිසිදු වරදක් මට නොපෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"මගේ නඩුව ඉවරයි" කෘතිය පිළිබඳව විවරණයක් පසුව ලියන්නට අදහස් කරමි.

එතෙක්, විශ්වවිද්‍යාලවල සිංහල ආචාර්යවරුන් ගේ කෘති පිළිබඳව ලියවුණු මේ ලිපිය කියවන්න.

කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?
https://rasikalogy.blogspot.com/2016/10/whats-issue-with-sinhala-language.html

Friday, 26 May 2017

සනත් ජයසූරිය නිසා සුචරිත ගම්ලත් සිහිවීම! - Wondering mind


අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ඇසුවේ දුටුවේ, පසුව ලංකාවේ ජනාධිපති ලෙස ද පත්වුණු ර ප්‍රේමදාස පිළිබඳව සඳහන් වුණු ස්ථානවල දී ය. දේව යසපාල ද සිල්වා වැනි නමක් ඇති අයෙකු විසින් ලියන ලද "සුවඳ හමන මලක්" නම් ග්‍රන්ථයේ ර. ප්‍රේමදාස ගේ උපන්දා සිට එදා තෙක් චරිතාපදානය ලිය වී තිබුණු බව මගේ මතකයයි.

"සුචරිත" යන වචනය නමක් ලෙස භාවිතා වෙනු මා අසා ඇත්තේ මීට වසර තුනකට පෙර මෙලොව හැර ගිය ජ්‍යෙෂ්ඨ සිංහල මහාචාර්යවරයෙකු වූ සුචරිත ගම්ලත් පිළිබඳව පමණි.

මා මුලින් ම සුචරිත ගම්ලත් දුටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී ය. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයක සම්පත් දායකයෙකු ලෙස ඔහු සහභාගී වූ අවස්ථාවක් විය.

ඔහු එවකට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු නොවී ය. දේශපාලන හේතුවක් නිසා සේවයෙන් නෙරපන ලදුව සිටි ඔහු, මා අසා ඇති පරිදි, පොල්ගහමුල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක් කරමින් ජීවිකාව සරි කර ගත්තේ ය. ඒ කාර්යයටත් වඩා ඔහු තම කාලය යෙදුවේ අද සමාජ සමානතා පක්‍ෂය ලෙස හැඳින්වෙන, එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් වූ, දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට බව පෙනුණි.

මට, සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද සාහිත්‍යමය මෙන්න දේශපාලන කරුණු පිළිබඳව කෙරුණු දේශන කිහිපයක් ම ශ්‍රවණය කිරීමට ඉන් පසුව ද අවස්ථාව ලැබුණි. එසේ ම, සුචරිත ගම්ලත් විසින් ලියන ලද ඒ ආකාරයේ ලිපි රාශියක් ද මම කියවා ඇත්තෙමි.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටි අවධියේ දී තමන් ලියූ සෑම ලිපියක ම, පැවැත්වූ සෑම දේශපාලන දේශනයක ම, අවසානයේ දී, නව සමසමාජ පක්‍ෂයට බැණ වදින්නටත්, නව සමසමාජය විසින් පළ කළ හරය නම් පුවත්පතට පත්තර කඩමාල්ල කියා අවමන් කිරීමටත් පුරුදුව සිිටියේ ය.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කම්කරු සංගමයේ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ලියූ ලිපිවල පෙර දී නව සමසමාජ පක්‍ෂය ගත් තැන ලැබුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවලට සහ ඒවායේ සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ය.

ඔවුන් සිංහල භාෂාව නිවැරදිව නොදන්නා බවත්, එසේ ම, ඔවුන් ඉංග්ලිෂ් පිළිබඳව කිසිදු දැනුමක් ද නොමැති ලිං මැඩියන් බවත්, සිසුන්ට දේශන වමාරන බවත්, සිසුන් ඒ දේශන කටපාඩම් කර විභාගයේ දී එලෙසම ලියන බවත්, පවසමින් සුචරිත ගම්ලත් ඒ මහාචාර්යවරුන්ව නිර්දය ලෙස විවේචනට ලක් කළේ ය.

සුචරිත ගම්ලත් ලියූ ඒ ලිපි කියවීමෙන් මා ලද හාස්‍යය, බීභත්ස, අද්භූත රස එකට කැලතූ ආස්වාදයට අමතරව වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් එක් දිනක මට ලැබුණි. ඒ මීට දශකයකට පමණ ඉහත එවැනි ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවද්දී ය.

ඒ ලිපියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අභ්‍යන්තර කරුණු හෙළි කෙරෙන ග්‍රන්ථයක් පිළිබඳව සඳහන් විය. එය ලියා ඇත්තේ සරත් විජේසූරිය නමැති එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් බව ද කියවුණි.

පසුව ලංකාවට ගිය අවස්ථාවක දී මම ඒ පොත මිලට ගත්තෙමි.

ඒ ගැන වැඩි විස්තර හෙට බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්


(image: https://au.pinterest.com/pin/399061216957657699/)

Thursday, 25 May 2017

ජයසූරිය ගේ කලිසමේ සිප් එක - Keeping your zipper up!


අප කුඩා කාලයේ දී ඇඳි ඉලාස්ටික් සහිත පොප්ලින් කොට කලිසම්වලින් මිදී, ටවුමේ ටේලර් විසින් ටසෝ, ඩ්‍රිල් වැනි රෙදිවලින් මසන කොට කලිසම්වලට උසස් වීම ලැබූ සමයේ, කොට හෝ දිග හෝ කලිසම්වල ඉදිරි පස වැසීම සඳහා යොදා ගැනුණේ අද මෙන් සිප් (Zip) හෙවත් සිපර් (Zipper) නොව බොත්තම් ය.

කලිසම් බොත්තම් වර්ග දෙකක් තිබුණි.

ඉන් එක් වර්ගයක් මහන මැෂිමක නූල් ඔතා යටින් ඇතුල් කරන බොබින් එකක හැඩය ගත්, කලිසමෙන් කලිසමට මාරු කළ හැකි ආකාරයේ ඒවා විය. ඒ බොබින් බොත්තම් සවි කිරීම සඳහා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසේ ම, එක හා සමාන බොත්තම් කාස හෙවත් බටන් හෝල් සාදා තිබුණි.

දෙවෙනි වර්ගයේ කලිසම් බොත්තම් වූයේ හැඩයෙන් සාමාන්‍ය කමිස බොත්තම් මෙන් වූ, නමුත් තරමක් ඝනකම ඇති සවිමත් ඒවා ය. ඒවා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසෙන් එකක සවි කර තිබුණු අතර, අනිත් පැත්තේ කොටසේ, කමිසවල මෙන්, බොත්තම් කාස මසා තිබුණි.

පොඩි පන්තිවලින් ලොකු පන්තිවලට මාරු වී, දහයේ පන්තියේ දී පමණ කොට කලිසම් ඇඳි අවසාන කාලයේ දී, අපේ පැත්තේ ටේලර්ලා කලිසම්වලට සිප් සවි කිරීම ඉගෙන ගෙන තිබුණි.

මේ සඳහා බොහෝ විට යොදා ගත්තේ අද ද භාවිතයේ ඇති YKK නම් සිප් වර්ගය යි. සාමාන්‍ය රෙද්දෙන් මසන කලිසම් සඳහා ප්ලාස්ටික් කොකු සහිත සිප් ද, ඩෙනිම් හෝ කොඩ්රෝයි හෝ රෙද්දෙන් මසන කලිසම් සඳහා ලෝහ කොකු සහිත සිප් ද, අද මෙන් ම, භාවිතා විය.

මේ කාලයේ අපේ පන්තියේ සිටි සිසුවෙකු වූ ජයසූරිය අප සමඟ පවසා සිටියේ ඔවුන් ගේ ජයසූරිය පවුලේ සුරතල් මසුන් බෝ කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ඇති බවත්, ඒ මසුන් වතුර ද සමග අසුරා යවන්නේ ප්ලාස්ටික් බෑග්වල බවත්, ඒ බෑග් සඳහා භාවිතා කරන්නේ ද YKK සිප් බවත් ය.

වතුර පිරි ප්ලාස්ටික් බෑගයක් ආරක්‍ෂිතව වැසීම පිණිස සිප් එකක් භාවිතා කරන්නේ කෙසේද යන්න මට එකල ප්‍රශ්නයක් වුවත්, ඒ සිප් වනාහී, කලිසම්වලට සවි කරන ආකාරයේ ප්ලාස්ටික් හෝ ලෝහ හෝ කොකු සහිත ඒවා නොව, වතුර කාන්දු නොව ආකාරයෙන් වැසිය හැකි වෙනස් ආකාරයක ඒවා බව මට අවබෝධ වූයේ තවත් වසර කිහිපයකට පසුව ය.

-රසිකොලොජිස්ට්

(image: http://de.ykkeurope.com/)

Wednesday, 24 May 2017

මැයි මහේ වීරයා - A hero of our time


අප අසා ඇති අන්දමට බක් මහේ විරුවෝ සිටිති. සුනිල් අංකල් ලියා මන්දා නාලනී ගැයූ සින්දුවේ කියවෙන පරිදි ඒ ඇත්තෝ පිළිම නෙලා නැති විරුවෝ ය.

ඉල් මහේ විරුවෝ ද සිටිති. සුනිල්-නන්දා ගේ සුසංයෝග සින්දු එකල ගැයූ, ගයමින් විරුවන් වූ, ඔවුන් ගැන නම් පසු කලෙක සුනිල්-නන්දා පෙර පරිදි සුසංයෝගයක් කළා යැයි මගේ මතකයේ නැත.

ඇත්තට ම මේ බක් මහ සහ ඉල් මහ හෝ "විරුවෝ සිටිති" ය කියා ලිවීම, වියරණ අනුව කෙසේ වෙතත්, අරුතෙන් සාවද්‍ය වේ. එසේ වන්නේ ඒ වීරයින් යනු ජීවත්වන අය නොව මිය ගිය අය වීම නිසා ය.

කෙසේ වෙතත් මා මේ කියන්නට යන්නේ ඒ බක් මහ හෝ ඉල් මහ හෝ ආකාරයේ වීරයෙකු ගැන නොවේ.

ඒ ආකාරයේ වීරයින් හා සටන් කළ රණ විරුවන් ගැන ද නොවේ. ඒ වීරයින් මළ පසු, මානෙල් මලින් පුද ලද රණ විරුවන් ගැන ද නොවේ.

මේ කතාව ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකු ගැන ය.

අපේ කතානායකයා, අපි ඔහුට රනුක යැයි කියමු, භද්‍ර යෞවනයේ සිටිද්දී, එක් යෞවනියක පිළිබඳ සිතක් පහළ විය. ප්‍රශ්නය වූයේ ඒ වසන්ත සමයේ මෙකී යෞවනිය ගේ අත පතා, පුරාණ ස්වයංවර අවස්ථාවක දී මෙන්, කුමාරවරු රාශියක් ඉදිරිපත් වී සිටිමයි.

මේ තරුණයා කළේ ක්‍රමානුකූලව සිතා මතා සැලසුමකට අනුව ක්‍රමක්‍රමයෙන් ප්‍රස්තූතයට එළැඹීමයි.

ඔහු ඇය සමග දීර්ඝව කතා කළ මුල් දවසේ පැයක පමණ කාලයක් ගත කළේ තමාව ඇයට හඳුන්වා දීමටයි.

ඒ පළමු පන්තිය විය.

දෙවන පන්තියේ දී, ඇගෙන් විවිධාකර ප්‍රශ්න අසමින් ඇය ගැන විස්තරාත්මක වැටහීමක් ඇති කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය.

තුන් වෙනි අවස්ථාව ඔහු යොදා ගත්තේ, ඔවුනොවුන් අතර ඇති ගැළපීම් ගැන සාකච්ඡාවක් කිරීමටයි.

පන්ති පහක් ම කරන්නට ඔහු මුලින් සිතා සිටිය ද, ඒ සඳහා කාලය ගත නොකර ඔහු ඊළඟට කෙළින් ම ඇයට ප්‍රශ්නය යොමු කළේ ය.

"මට හිතෙනවා අපි දෙන්නා ගැලපෙනවා ය කියලා. ඔයා මොකද කියන්නේ?"

ඇය දිනක් කල් ඉල්ලා පසු දින මුණ ගැසුණු විට මෙසේ කීවා ය.

"මගේ ජීවිතයේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සිදුවුණු දේ නිසාත්, දැන් මං ඉන්නා තත්වය නිසාත්, මට ඔයා කියන දේට කැමති වෙන්න බෑ!"

"අනේ, මා එක්ක තරහා වෙන්න එපා රනුක!" ඇය ඒ සමගම ඔහුගෙන් ඉල්ලා සිටියා ය.

අපේ කතා නායකයා, තම ජීවිතයේ දී කියූ හොඳම දෙවන වචන කිහිපය ඔහු ගේ මුවින් පිටවුණේ ඒ මොහොතේ දී ය.

"මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ? මං ඔයාට ආදරෙයි නේ. ඒ ආදරය හැමදාම පවතීවි!"

තම සිත ඒ මොහොතේ සසල වූ බව ඇය පසුව ඔහුට කීවා ය.

කෙසේ නමුත්, ඒ හමුවීම් එතැනින් අවසන් විය.

කාලය ගත විය.

සමස්ත පරිසරය ම සුන්දර වෙන, කහපාට, දම්පාට මල් පිපෙන මැයි මාසය උදා විය.

අපේ කතානායකයා ට පෙර කී යෞවනිය ගේ මිතුරියක අලුත් අවුරුදු සමයේ දී හදිසියේ මුණ ගැසී තිබුණි.

"ඔය දෙන්නා හොඳට ගැලපෙනවා රනුක. ඔයයි, එයයි එකතු වෙනවා නම් අපි ඔක්කොම කැමතියි!" ඇය එදා කීවා ය.

එයින් දිරිගත් කතානායකයා කළේ නැවතත් යෞවනිය මුණ ගැසී පෙර ප්‍රශ්නය ම නැවතත් ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමයි.

පිළිතුර සඳහා යළිත් කල් ඉල්ලීමක් කෙරුණි.

දින දෙකක් පමණ ගත විය.

"හෙට නිවාඩු නේද රනුක? අන්න අරයා හවස් වරුවේ ඇවිත් හම්බ වෙන්න කිව්වා!" මග දී කතා නායකයාව නැවැත්වූ පෙර සඳහන් කළ මිතුරිය කීවා ය.

"ඔව් හෙට නිවාඩු නේ. හෙට ජාතික වීර දිනය. මං එන්නම් කියන්න!" අපේ කතා නායකයා මිතුරියට පැවසුවේ ය.

එදා තම සිත ගත් යෞවනිය හමු වී, බලාපොරොත්තු මල් පුබුදාගෙන, ඇය සමග දෙපැයක් පමණ අති සොඳුරු කතා බහක ද යෙදෙමින් සිට, ආපසු එන ගමනේ අතරමග දී ඇය වෙනුවෙන් පොඩි කඩේ යෑමක් ද කර, අපේ කතා නායකයා, දෙමහල් තෙමහල් මැදුරු, මල්වතු, උයන් වතු, පටු පාලම් යනාදිය පසු කරමින් සිය නේවාසික ස්ථානය වෙත පැමිණියේ වීරයෙකු ලෙසිනි.

නිකම්ම නිකං විරුවෙකු ලෙස නොව මැයි මහේ විරුවෙකු ලෙසිනි.

මුලින් මා සඳහන් කළ ආකාරයට ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකි ලෙසිනි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වීර කතාව රැගත් සමනල වර්ණ සිහින සිත්තම මාස දෙකක් පමණ බොක්ස් ඔෆිස් ෆුල් කරමින් දිව්වේ ය!

(http://www.ft.lk/2014/05/08/university-of-peradeniya-a-treasure-of-beauty-and-wisdom/)

Tuesday, 23 May 2017

ජාතික වීර දින රජයේ නිවාඩුවට මක්කැයි වුණේ? - I will never forget May 22


අප කුඩා කාලයේ ලංකාවේ හෙවත් එකල "සිලෝන් එකේ" සිදුවුණු ලොකු දේශපාලන වෙනසක් නම් ලංකාව බ්‍රිතානයෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වාධීන ජනරජයක් වීමයි.

"සිලෝන්" එක "රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා" විය.

බ්‍රිතාන්‍යයේ රැජින හෝ ඇගේ නියෝජිත අග්‍රාණ්ඩුකාරයා වෙනුවට ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙකු නම් කෙරිණි. "ක්වීන් කවුන්සිලර්ස්ලා" වෙනුවට ජනාධිපති නීතිඥවරු පත් වූහ. "රෝයල් කොමිෂන්" වෙනුවට ජනාධිපති කොමිසම් පත් විය.

ඒ මොන රඹ පුෂ්පයක් වැට පැන්න ද, පාසල් සිසුන් වූ අපට වැදගත් කාරණය වූයේ, ඒ වසරේ සිට ලංකා ඉතිහාසයේ මේ ඓතිහාසික දිනය, මැයි 22 දා, රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමයි. කලින් නිදහස් දිනය ලෙස පැවතුණු, පෙබරවාරි 4, රජයේ නිවාඩුව 1973 සිට අහෝසි වෙන්නට ඇතැයි සිතමි.

කාලය වේගයෙන් ගෙවී ගියේ ය.

හාල් සේරු දෙක දීමට පොරොන්දු වී බලයට ආ සිරිමම්මා ගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවට ඇට රාත්තල් අටක් දෙන්නට පොරොන්දු වී "ෂේවියර් ඔෆ් ද නේෂන්" හෙවත් "යැංකි ඩිකී" හෙවත් ජේ.ආර් පප්පා ගේ නායකත්වයෙන් යූඇම්පී ආණ්ඩුව 1977 දී බලයට පත් විය. ඔහු කළේ, ශ්‍රී ලංකා ජනරජය, ඉන්දියානු මොඩලයෙන් වෙනස් කර, විධායක ජනාධිපතියෙකු සහිත ඉන්දියානු-ඇමරිකානු-ප්‍රංශ හයිබ්‍රිඩ් ජනරජයක් කිරීමයි.

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවන්නට ඔහු හිතාමතා ම තෝරා ගත්තේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ඩොමිනීයන් තත්වය ලැබූ පෙබරවාරි හතරවෙනිදා ය.

ඒ 1978 වසරේ දී ය.

ජේ.ආර්. පප්පා ගෝල්ෆේස් පිටියේ දී, නෙවිල් සමරකෝන් ඉදිරිපිට දිවුරුම් දුන් අතර, එදා සිට පෙබරවාරි හතරවෙනි දා යළි රජයේ නිවාඩු දිනයක් බවට පත් විය.

නමුත් මෙහි දී සැලකිය යුතු කරුණු දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, ලංකාව ජනරජයක් වූ මැයි 22 දා සැමරුනේ ජනරජ දිනය ලෙස වුවත්, විධායක ජනාධිපති ජනරජය බිහිවුණු පෙබරවාරි 4 වෙනිදා ඊළඟ වසරේ (1979) සිට සැමරුනේ ජනරජ දිනය ලෙස නොව නිදහස් දිනය ලෙස ය.

දෙවන කරුණ ඊට වඩා සිත් ගන්නා එකකි.

ඔවුන් බලයට පත් වූ පසු 1970 සිට එතෙක් ලංකාවේ නිවාඩු දිනයක් වූ සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින රජයේ නිවාඩුව අවලංගු කළ ද, කුමක් හෝ හේතුවක් නිසා, ජේආර් පප්පා ගේ ආණ්ඩුව මැයි 22 නිවාඩු දිනය අවලංගු නොකළේ ය. ඒ වෙනුවට ඊට පෙර ජනවාරි පළමුවෙනිදාට යෙදී තිබුණු ජාතික වීර දිනය නම් රජයේ නිවාඩුව මැයි 22 දිනට ගෙන එන ලදී!

මැයි 22 ජාතික වීර දින නිවාඩුව මා සිතන ආකාරයට 1994 දක්වා ම පැවතුණි. ඒ වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුතුව "අරුං දාහත් වසරක් තිස්සේ රට කාගෙන කාගෙන කාගෙන ගිය තැන සිට රට කාගෙන කාගෙන කාගෙන යන්නට" සිරිලංකා එක බලයට පැමණි පසු ඔවුන් වීරයා සැමරීම පිණිස නැවතත් සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින නිවාඩුව ප්‍රතිස්ථාපනය කළේ, මැයි 22 ජාතික වීර දින රජයේ නිවාඩුව අහෝසි කරමිනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
එක්තරා පුද්ගලික කාරණයක් නිසා මේ මැයි 22 ජාතික වීර දිනය තවමත් මගේ මතකයේ රැඳී පවතී.

ඒ ගැන හෙට ලියමි.

(image: http://poerty-dawson.blogspot.com.au/2012/06/blog-post.html)

Monday, 22 May 2017

පද දෙකේ වැඩ - Question and Answers


මා දශක තුනකට පෙර ලියූ දිග කවියකින් දැනට ශේෂ වී ඇති පද දෙකක් ගැන සටහනක් ඊයේ ලියා පළ කරෙමි. ඊට පෙර දින කිහිපයේ පළ කළ, නූතන ජන කවි, පොල් සහ තල් ගස් සහ පරාක්‍රම සහ මගේ කවි මෙන් ම, මතකයේ රැඳී ඇති පද දෙකක් පමණක් දන්නා මුල් කවිය ද, යුද විරෝධී කවියක් විය.

ගද්‍ය නිර්මාණ පිළිබඳව කතාව කෙසේ වෙතත්, කොයි භාෂාවකින් වුව ද, පද්‍ය නිර්මාණ කියවා රස විඳින්නන් ලොවේ අඩු බව සත්‍යයකි. එය අදට පමණක් නොව එදාටත් වලංගු සදාකාලික සත්‍යයක් බව පෙනෙන්නේ දහතුන්වෙනි සියවසේ දී පමණ ලිය වී ඇති සිංහල කාව්‍යයක් වන කව් සිළුමිණ කෘතියේ ඇති පහත කවි දෙපදයෙනි.
පෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ
අද බ්ලොග්වල ලියවෙන කවි පිළිබඳව ද, කවි සම්බන්ධ ලිපි පිළිබඳව ද, එම නිගමනයට එළැඹිය හැකි ය.

සිංහල කවිය, ගී විරිතේ සිට සන්දේශ කාව්‍ය හරහා අප දන්නා එළිසමය (සහ සමහර විට එළිවැට ද සහිත) පද හතරකින් යුතු ආකෘතිය කරා වෙනස් වූයේ ගම්පොළ යුගයේ දී ලියවුණු මයුර සන්දේශය ආදී නිර්මාණ තුළින් බව කියවේ.

අපේ ජනකවි සියල්ලම පාහේ මේ සිව්පද ආකෘතියෙන් නිර්මාණය වුණු ඒවා ය.

අපට ඉහළ පරම්පරාවේ උදවිය පෙම් කවි ලීවේ ද සිව් පද ආරෙනි.

මේ එවැනි කවියකි.
සැනසුම සතුට මා වෙත සැම දින ගෙනෙන
මිහිරාවියේ ඔබ මගෙ හද මිණි පහන
මා ඉදිරියේ ඇතිනම් ඔය සුදු මූණ
ආහාර ජලය කිසිවක් මත නැත ඕන
පද රාශියක කවියක් මතක තබා ගැනීමට වඩා පද හතරක කවියක් මතකයේ රැඳීමේ සම්භාවිතාව වැඩිය.

සමහර විට පද හතරකින් ද මතකයේ රැදෙන්නේ දෙකක් විය හැක. මේ මගේ නැන්දාට, ලැබුණු පෙම් කවකින් ඇගේ මතකයේ රැඳී තිබුණු පද දෙකකි.
හද කිති කවන ආදර සූරිය සෝමේ
මැදියම් රැයේදිත් සිහිවෙයි ඔබෙ නාමේ
සූරිය සෝමේ යනු, ඇගේ නම, වූ සෝමා(වතී) සූරියආරච්චි යන්න, ඒ වෙන්ඩ පෙම්වතා කවියට ගැළපෙන්නට සාදාගත් ආකාරයයි.

පද හතරකටත් වඩා පද දෙකක් මතකයේ රඳවා ගැනීම ලෙහෙසි නිසා මෙන් ම, පද හතරකට වඩා පද දෙකක් ගෙතීම පහසු නිසා ද, මේ පද හතරේ ආකෘතිය ඉතා ඉහළින් ජනප්‍රිය වෙන්නේ එක් අයෙකු පද දෙකක් ලියූ පසු වෙනකෙකු ඉතුරු පද දෙක ලියා සිව්පද කවිය සම්පුර්ණ කළ හැකි ද නිසා ය.

මේ දෙනෙකු එකතු වී කෙරෙන කවි ලිවීම බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නයක් සහ එයට පිළිතුරක් ලෙසිනි.

කලකට ඉහත මේ ආකරයේ කවි ලිවීම්, කවි කීම් පුවත්පත් සඟරාවල ද, ගුවන් විදුලියේ ද ජනප්‍රිය වී තිබුණි.

මෙන්න උදාහරණයක්.

ප්‍රශ්නය:    කරුණක් අසමි මෙය පහදා දෙනවා ද?
සැවුළා කියන්නේ කුකුළාටම නේද?
පිළිතුර: මොකටද කරන්නේ ඒ ගැන අපි වාද?
කිකිළියෝ රංවුවට රජු කුකුළා නේද?

තවත් උදාහරණයක්.

ප්‍රශ්නය:    ඔබ රුව දකින සැම විට මගෙ සුදු කෙල්ලේ
ඉහවහ යතේ ආදරයක් සිත පතුලේ
පිළිතුර: එය රෝගයක් බව ඉඳුරා කිව හැකි ය
ඉසකුඩුච්චියක් දා ගත්තොත් හොඳ ය

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙහි කියවන ඔබ, මට කවි පද දෙකක් යොමු කළ හොත් එයට පද දෙකකින් පිළිතුරු දී කවිය සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වෙමි.

(image: http://www.introinto.com.au/abstract-art-the-visual-poetry-that-warms-the-heart/)

Sunday, 21 May 2017

අතුරුදහන් - Missing in action


පැරණිතම සිංහල කාව්‍යයන් ලෙස සැලකෙන්නේ මුවදෙව්දාවත, සසදාවත සහ කව් සිළුමිණ යන නිර්මාණ වේ. සන්දේශ කාව්‍යවල දී යොදා ගෙන ඇති ආකාරයේ චන්දස සහිත කවියෙන් නොව, ගී යැයි හැඳින්වෙන ආකෘතියෙන් ඒ නිර්මාණ බිහිවී ඇත්තේ පොළොන්නරු යුගයේ දී සහ දඹදෙණිය යුගයේ දී ය.

නමුත්, අනෙකුත් කලා ශිල්ප දියුණු තත්වයක පැවති ඊට පෙර සියවස්වල ද සිංහල කාව්‍ය නිර්මාණ ලියවී ඇතැයි උපකල්පනය කෙරෙන අතර, ඒවායින් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත්තේ, පැරණිතම සිංහල කාව්‍යය ලෙසින් අද සැලකෙන, අසක්දා කව නම් සිංහල කාව්‍යයෙන් පමණි.

ආසංඛවතී නම් ජාතක කතාව ඇසුරෙන් ලියවී ඇති ඒ අසක් දා කාව්‍යයේ ද අද ඉතිරි වී ඇත්තේ පද කිහිපයක් පමණි. එසේ ඉතුරුව ඇත්තේ, පැරණිතම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාවේ, උදාහරණ ලෙස අසක් දා කවේ පද පේලි කිහිපයක් යොදා තිබුණු බැවිනි.

එලෙස උදාහරණ ලෙස යොදා ගත් හෙයින් සුරැකී ඇති පද පේළි කිහිපයෙන් සම්පූර්ණ යැයි සැලකීමට හැක්කේ පහත කවියයි.
රතත දිදී ඉහිල් - වසනතුරෙන් රසන් දම්
කියව කර හළලා - පැහැබර දිගු නුවන් ලා
එහි තේරුම මෙසේ ය.
ඔබේ සුරක්ත වූ අත, ලිහිල්ව ගියා වූ වස්ත්‍ර අතරින් ගෙන රසනදාමය කෙරෙහි යොදමින්, බෙල්ල දිගු කොට, දීප්තියෙන් බර වූ ඔබේ දෙ ඇස මා දෙස යොමා කියනු මැනවි.
ඒ බඹදත් රජතුමා ආසංඛවතී කුමරිය අමතන ආකාරයයි.

ඉහත අරුත් දැක්වීම මා උපුටා ගත්තේ ගුණදාස අමරසේකර විසින් පෙර කී ආසංඛවතී ජාතකය ම පදනම් කොට ගෙන රචනා කර ඇති අසක් දා කව නම් කාව්‍ය නිර්මාණය ඇතුළත් ග්‍රන්ථයේ එන ලිපියකිනි.

තමන් ගේ අසක් දා කව නිර්මාණයේ ද, ආසංඛවතී කතා වස්තුවේ, නිවැරදි යැයි නීර්ණය කළ තැන්වල දී, ගුණදාස අමරසේකර විසින් සිදත් සඟරාවේ උදාහරණ ලෙසින් ගත් නිසා අප අතර ඉතුරු වී ඇති පැරණි අසක් දා කවේ පද කිහිපය එලෙස ම යොදා ගනියි.

මා කලක් සංස්කාරක ලෙස කටයුතු කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ, දකුණු කුරු දිව් කව් නම් වූ, ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ ද, මම අසක් දා කව නිර්මාණයේ ඉහත සඳහන් කළ උදාහරණය ආකාරයේ කවක් ගොතා යෙදූවෙමි.

එය මෙසේ විය.
සිතට දිදී සිසිල් - ලියන ලදින් මෙවන් කව්
බලව සිත හැරලා - නුවණැති යුග දෙනෙත් ලා
ඒ කරුණු මට සිහිවුනේ, කලකට පෙර මා ලියූ, දැන් අස්ථාන ගත වී ඇති, නමුත් පද දෙකක් පමණක් මතකයේ රැඳී ඇති කවියක් නිසා ය.

මා නූතන ජන කවි ලියූවේත්, තාලවර්ගයේ පොල් සහ තල් ගස් ගැන ගීයක් ලිව්වේත්, පරාක්‍රම කුරුප්පු සමග එකතුව කවි ලිව්වේත්, ලංකාවේ පැවති කුරිරු යුද්ධයේ අවසාන කාලයේ දී සහ අවසාන වීමෙන් පසුව ය.

නමුත්, යුද්ධයේ ආරම්භයේ දී ද, මා ඒ ගැන කවි ලියූවෙමි.

වර්ෂ 1986 දී එසේ මා ලියූ එක් කවියක අන්තර්ගතය වූයේ විරැකියාව නිසා, යුද්ධය සඳහා එකතු වෙන තරුණයෙකු ගේ සිතුවිලි ය.

ඒ කාලයේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය විසින් ඉදිරිපත් කර තිබූ, වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක රුපියලක් නොදෙනු!! යන සටන් පාඨයේ ශේෂයක් මගේ කවියේ ගැබ්ව තියෙන්නට ඇතැයි මට අනුමාන කළ හැක.

හයවෙනි සියවසේ, අනුරාධපුර යුගයේ දී රචනා වුණු, අසක් දා කවෙන් අද පද පේළි කිහිපයක් පමණක් ඉතුරු වී ඇති වා සේ, මා එදා 2006 දී ලියූ, පද විස්සකින් පමණ සමන්විත වූ, ඒ යුද විරෝධී කවියෙන් අද (මගේ මතකයේ) ඉතුරු වී ඇත්තේ පද දෙකක් පමණි.

ඒ මෙසේ ය.
මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී!
දැන් මා කළ යුත්තේ, මේ පද යොදා අලුතෙන් කවියක් ලිවීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තෙන් ම, මා එදා 1986 දී ලියූ ඒ කවිය සොයා ගත හැකි එක් ක්‍රමයක් ඇත. ඒ වසරේ අග භාගයේ දී, මේ කවිය දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක විසින් සංස්කරණය කළ අටවෙනි පිටුව නම් විශේෂාංගයේ පළ විය.

ඒ පුවත්පත් සංරක්‍ෂණය කර ඇති ස්ථානයකින් මට මගේ අස්ථානගත වූ කවිය සොයා ගත හැකි වෙනු ඇත!

ප/ප/ලි:
මම ද පසු කලෙක යුද්ධයට බැඳෙන්නට සිතුවෙමි. මේ පහත සබැඳියෙන් දැක්වෙන්නේ එතෙක් මා නොකී ඒ කතාව මා මුල්වරට ලියූ අවස්ථාවයි.

https://rasikalogy.blogspot.com/2015/06/some-stories-are-never-told-fully.html

Saturday, 20 May 2017

පරාක්‍රම ගේ කවි සහ මගේ කවි - Continuing on the same theme


පැරකුම් සහ පරාක්‍රම යනු එකම නමේ වෙනස් යොදා ගැනීම් දෙකකි. හරියටම ගැමුණු සහ ගාමිණී වගේ ය.

මට පැරකුම් නම් මිතුරෙකු ද, පරාක්‍රම නම් මිතුරෙකු ද දෙදෙනෙකු ම සිටිති.

පැරකුම් මා දැන හඳුනා ගෙන වසර හතක් පමණ වේ. නමුත්, මා පරාක්‍රම දන්නේ දශක දෙක හමාරකටත් වඩා පෙර කාලයක සිට ය.

පැරකුම් කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

පරාක්‍රම ද කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

කෙසේ වෙතත්, මාතෘකාවේ සඳහන් වෙන පරිදි මා ලියන්නට යන්නේ පරාක්‍රම ගැන මිස පැරකුම් ගැන නොවේ.

එසේ ම, පරාක්‍රම ගේ කවි කියා කීවාට මේ කියන්නේ පරාක්‍රම කොඩිතුවක්කු නම් ප්‍රසිද්ධ කවියා ගැන ද නොවේ.

මේ කියන්නේ පරාක්‍රම කුරුප්පු නම් මා හිතවත් කවියා ගැන ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් මැවිසුරුවෙකි.

විශ්ව විද්‍යාල සමයේ දී මා ඔහු ලියූ කවි කියවා තිබේ. එයින් පසු අප දෙමගක ගිය හෙයින් ඔහු ගේ පසු කාලීන කවි මා කියවා නොතිබුණි.

පසුව ඊ-මේල් මගින් අප හමු වුව ද ඔහු ලියූ කවියක් මට මුලින් ම කියවන්නට ලැබුණේ මීට වසර අටකට මදකට අඩුවෙන් ඉහත කාලයක දී ය. ඒ කවි කියවූ මම ද එයට යම් එකතු කිරීමක් කළෙමි.

මේ සටහන ඒ ගැන ය.

අපේ කවි හුවමාරුව සිදුවුණේ, මානුෂික යුද්ධය නිමා වී, සියල්ල අවසාන වූ පසුව ය. දස දහස් සංඛ්‍යාත පිරිසක් අනාථ කඳවුරුවල රඳවා තිබුණි.

පරාක්‍රම කුරුප්පු මෙසේ ලියා එවී ය.

කලකදි රස වෙයි කලකදී වස ලූ
එකෙකුගෙ ලෙල්ලම එකෙකුට විහිළුෑ
දිලුණත් වටපිට කරමින් එකළුෑ
පහන් කණුව පා මුල කළුවර ලූ

මරණ තුනක් මැද අතරමංව හිඳ
මරු එයි අද අද හිතමින් ගිනි වැද
අතකින් ගත් දඬුවැල් බෑ මී වද
මිනිසුනි සිත් සන්තොසින් බුඳිනවද

ලිප ගිනි මෙලවෙන තෙක් දිය කෙළිමින
රෑ නොවැටුණු වල දවාලෙ වැටෙමින
සුරා පිරූ විත සුරතේ දරමින
ගිනිකන එළියේ රඟති මෙපුර දන

මී පුප් සෙව්වෙමි ගිනිගත් කතරේ
දරුවන් මග හැරුණිය ඝන අඳුරේ
මී පුප් මතුවුණු මහ වැහි අතරේ
දරුවෝ සැඟවුණි දෝ ගං වතුරේ


ඔහු ඒ කවි නම් කර තිබුණේ නූතන ජන කවි ලෙස ය.

නමුත් ඒ කවියේ විරිත, අප දන්නා ජන කවියේ විරිත නොවන බවත්, ජනකවියක් ලෙස ලියූවොත්, එහි මුල් කවිය මෙලෙස විය යුතු බවත් මම පරාක්‍රමට ලියා යැවූයෙමි.

කලකදි රස ලු කලකදී වස වෙනවා ලූ
එකෙකුගෙ ලෙල්ලමක් එකෙකුට වෙයි විහිළුෑ
දිලුණත් වටපිටාව ම කරමින් එකළුෑ
පහන් කණුව පාදය මුල කළුවර ලූ


ඒ කවි තමන් හිතා මතා ම ලියූවේ මාත්‍රා දහසයේ ජනකවි විරිතෙන් වෙනස් කර බව පරාක්‍රම මට දන්වා එව්වේ ය.

ඔහු ඉන් පසු ලියා එවූ කවිය මෙසේ විය. මේ කවි ජනකවි විරිතෙන් රචනා වී ඇත.

රජකම් කළත් දවසක පිරිවර අතරේ
මිය යයි තවත් දවසක ගොර මඩ වගුරේ
එකෙකුගෙ මිනිය යට කළ රළු වැලි කතරේ
තවෙකෙකු ගේ සිහසුන ඉදිවෙයි නුදුරේ

දෙපසින් අමෝරා සිටි අවි අතර සිට
සැම දා මුහුණ දී හිඳ රුදු මරණයට
සියක් දහක් මිය ගිය මළ ගමක සිට
අයෙක් නටත් තවෙකෙක් මළ සතුට පිට

විසි හය වසක් යුද ගිනි ඇවිලුණු රටක
නිසි රිසි අහර නොලබන දරුවන් රැසක
කුස ගිනි නිවන්නට බත් හැළියක් මිසෙක
කිරිබත් කුමට සිය දහසක් මළ තැනෙක?


පරාක්‍රම ගේ ජනකවියට මගේ එකතු කිරීම මෙලෙස විය.

ආවුද ගත් එවුන් ආයුදයෙන් මැරෙතී
කළ කම් ඒ විලස දිනයක පල දරතී
පෙර දින ඇසූ දුටු කියමන් සැබෑ වෙතී
පෝලිම මෙයින් ඉවරයි නම් කමක් නැතී

මනස නොඋස් වූ පෙර වානර යුගයේ
යුදට වැද සතුරු මැඩ පැණ විසඳූයේ
මනස උසස් වී මිනිසුන් වූ දිනයේ
වඳුරු ගති ඇරී නැති හැටියකි දුටුයේ

මිනිස් පලිහ ලෙස නම් කල පෙරදාක
සිය දහසක් දෙනා ගැන දුක් වී නේක
මිනිස් මෙහෙයුමින් මුදවා ගත් සේක!
ඇයි අද කොටු කරන් උන් හැම කඳවුරක?


මට ද නූතන ජනකවි ලියන්නට සිතුණේ, පරාක්‍රම කුරුප්පු මිතුරා ගේ නූතන ජනකවි කියවූ පසු ය.

ඇත්තෙන් ම, මේ ඉහත පළ කර ඇති කවි පිළිබඳව මගේ කිසිදු මතකයක් නොතිබුණි. වාසනාවකට මෙන් මා රසිකොලොජියේ පළ කළ, "නූතන ජන කවි" සහ "පොල් ගස තාල වර්ගයේ" මුලින් ම ඉන්ටර්නෙට් හි පළ වූයේ කවදාදැයි සොයා බලන අවස්ථාවේ දී බූන්දි වෙබ් අඩවියේ තිබී මේ කවි වසර ගණනාවකට පසු යළි තෙන ගැටුණි!

-රසිකොලොජිස්ට්

(image: https://sugarvenom88.wordpress.com/)

Friday, 19 May 2017

පොල් ගස ද, තල් ගස ද, ගස් වර්ග දෙක ම, තාල වර්ගයේ ය - I only like war when it is made in Hollywood


ලංකාවේ පැවති මානුෂික යුද්ධය මතක ද?

මා මේ කියන්නේ ඩෙංගි මදුරුවන් සහ කීටයින් සමූල ඝාතනය කිරීම පිණිස රසායනික අවි සහ බර අවි භාවිතයෙන් කළ මෙහෙයුම් පිළිබඳව නම් නොවේ.

මා මේ කියන්නේ ජාති හෝ ආගම් හෝ වෙනසකින් තොරව, අවිගත් හෝ අවි නොගත් හෝ වෙනසකින් තොරව, ලාංකික මිනිසුන් දස දහස් ගණනින් මිය ගිය මානුෂික යුද්ධය ගැන ය.

ලංකා ඉතිහාසයේ ඒ අඳුරු පරිච්ඡේදය ගෙවෙන අතරතුර, 2009 ජනවාරියේ දී, මම ඒ මානුෂික යුද්ධය ගැන කවියක් ලිව්වෙමි.

මෙය මානුෂික යුද්ධයක් ගැන ලියවුණු අමානුෂික කවියකි.

එය මෙසේ විය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුණු ලුණු රස වේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!


වසරකට පමණ පසු කාලයක, මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කෙරුණු ගීත එකතුව සඳහා ඒ කවිය අනුසාරයෙන් සැදුණු පදමාලාවක් මම ඉදිරිපත් කළෙමි.

සංගීත විශාරද ඉන්දු ප්‍රේමතිලක ගේ සංගීතයට අනුව, එකල ළමා ගායක තිසල් පාදුක්ක විදාන විසින් ගායනා කෙරුණු මගේ පදමාලාව සහිත ගීතය රුවැත්තියේ නම් සංයුක්ත තැටියට ඇතුළත් කෙරිණි.

ගීයේ පිටපතක් පසුව එකතු කරමි. ගී පදවැලේ අවසානය කවියට වඩා මදක් වෙනස් වේ.

හම්බන්තොට ලේවායේ ලුණු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කවිය ලියා මාස පහක් යන්නට පෙර ඓතිහාසික කිරිබත් කෑමක් සිදුවුණ ද, මා ලියූ පරිදි හම්බන්තොටින් ලුණු ද, කිලිනොච්චියෙන් දෙහි ද, යාපනයෙන් මිරිස් ද ගෙන සෑදූ ලුණුමිරිසක් සමග පොළොන්නරුවේ හාලෙන් ඉවූ කිරිබතක් මුළු රටම එකට කෑ දිනයක් ඉන් පසුව හෝ පැමිණියා ද කියා මම නොදනිමි.

(image: https://www.lankapropertyweb.com/; http://acrustours.com/jaffna-district/)

Thursday, 18 May 2017

රීසයිකල් නූතන ජන කවි - Lest we forget


මාස දෙකක් පමණ සිතෙහි කැරකෙමින්, එකතුවෙමින්, හැඩ ගැසෙමින් තිබුණු අදහස් ගොන්නක් පහත දැක්වෙන කවි පන්තියේ ස්වරූපයෙන් මා අතින් ලියවුණේ 2009 වසරේ මැද භාගයේ ජූලි මාසයේ දී පමණ ය.

ඒ කාව්‍ය නිර්මාණය විවිධ ස්ථානවල, විවිධාකාරයෙන් පළ වුණි.

මේ එසේ පළ වූ තැන්වලින් අද සොයා ගත හැකි තැන් කිහිපයකි.

ජූනි 2009 බූන්දි-ඔන්-ලයින් බ්ලොග් අඩවියේ:
http://boondionline.blogspot.com/2009/06/blog-post_06.html

ජූනි 2009 කැටපත්පවුර බ්ලොග් අඩවිය
http://ketapathpawra-blog.blogspot.com/2009/06/blog-post_06.html

මාර්තු 2010 බුන්දි වෙබ් අඩවියේ:
http://www.boondi.lk/article.php?ArtID=426


නිමවී වසර අටකට පමණ පසු, අද මේ කවි නැවත පළ කරන්නට සිතුණේ, යම් කිසි ආකාරයක පසු විපරමක් ද සහිතව ය.

මා මේ කවි පන්තිය නූතන ජනකවි කියා නම් කළේ, ඒ කවිවල අන්තර්ගතයට පසුබිම සපයන ජනවහරේ එන විවිධ යෙදුම් සඳහා එදා 2009 වාතාවරණය තුළ මා අලුත් අර්ථදැක්වීම් කිහිපයක් ම එකතු කර ඇති නිසා ය.

මා යොදා ගෙන ඇති ඒ ජනවහරේ එන ආත්තෝපදේශ කිහිපය මෙසේ ය.
  • වක්කඩේ හකුරු හැංගුවා වගේ!
  • රට වටකර වැට බැන්දත්, කට වැටකර වැට බැඳිය හැකි ද?
  • ලෝක ධර්මය වළක්වන්න බෑ!
  • අවි ගත්තෝ අවියෙන් ම නසිති!
  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
  • මීයක් කන්නේ අත ලෙවකන්නද?
  • ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ!
  • ඔරුව පෙරලූනාම ඒ පැත්ත හොඳයි කිව්වලු!
  • ලබ්බට තියපු අත පුහුලටත් නොතියාවිද?
  • වෙහෙර ගිලපු යකාට අග්ගලා කජ්ජක්ද?
අද ප්‍රතිචක්‍රීකරණය වෙන, මා එදා 2009 ජූලි මාසයේ දී ලියූ, නුතන ජන කවි මෙසේ ය.

මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
පුදුමාතලන් වෙරළේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වළකනු හැකිවෙද, මිතුරූ?

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුද ගින්නේ දැවුණු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එළවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?


මළබෙර හඬ මැද කිරිබත් කෑව ද, මරණ ලයිස්තුව එයින් නිම නොවූ බවත්, පොලොස් පමණක් නොව පැහුණු හෙරලි පවා කඩු පහරට ලක් වූ බවත්, කඩා ගත් මීවද කඩා ගත් උං දිගටම කෑ බවත්, ඉගුරු ද සැර බවත්, කෙම්බිම ළඟාවීම කෙසේ වෙතත්, යකා පුහල් ගෙඩිය පමණක් නොව වෙහෙර ද ගිල්ල බවත් ගතවුණු වසර කිහිපය තුළ අපි හොඳින් වටහා ගත්තෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් වසන්තෙ නැතුව පාලුයි!

(image: http://www.galeriemagazine.com/picassos-famous-anti-war-painting-guernica-celebrates-80-years-in-madrid/)