Wednesday, 24 May 2017

මැයි මහේ වීරයා - A hero of our time


අප අසා ඇති අන්දමට බක් මහේ විරුවෝ සිටිති. සුනිල් අංකල් ලියා මන්දා නාලනී ගැයූ සින්දුවේ කියවෙන පරිදි ඒ ඇත්තෝ පිළිම නෙලා නැති විරුවෝ ය.

ඉල් මහේ විරුවෝ ද සිටිති. සුනිල්-නන්දා ගේ සුසංයෝග සින්දු එකල ගැයූ, ගයමින් විරුවන් වූ, ඔවුන් ගැන නම් පසු කලෙක සුනිල්-නන්දා පෙර පරිදි සුසංයෝගයක් කළා යැයි මගේ මතකයේ නැත.

ඇත්තට ම මේ බක් මහ සහ ඉල් මහ හෝ "විරුවෝ සිටිති" ය කියා ලිවීම, වියරණ අනුව කෙසේ වෙතත්, අරුතෙන් සාවද්‍ය වේ. එසේ වන්නේ ඒ වීරයින් යනු ජීවත්වන අය නොව මිය ගිය අය වීම නිසා ය.

කෙසේ වෙතත් මා මේ කියන්නට යන්නේ ඒ බක් මහ හෝ ඉල් මහ හෝ ආකාරයේ වීරයෙකු ගැන නොවේ.

ඒ ආකාරයේ වීරයින් හා සටන් කළ රණ විරුවන් ගැන ද නොවේ. ඒ වීරයින් මළ පසු, මානෙල් මලින් පුද ලද රණ විරුවන් ගැන ද නොවේ.

මේ කතාව ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකු ගැන ය.

අපේ කතානායකයා, අපි ඔහුට රනුක යැයි කියමු, භද්‍ර යෞවනයේ සිටිද්දී, එක් යෞවනියක පිළිබඳ සිතක් පහළ විය. ප්‍රශ්නය වූයේ ඒ වසන්ත සමයේ මෙකී යෞවනිය ගේ අත පතා, පුරාණ ස්වයංවර අවස්ථාවක දී මෙන්, කුමාරවරු රාශියක් ඉදිරිපත් වී සිටිමයි.

මේ තරුණයා කළේ ක්‍රමානුකූලව සිතා මතා සැලසුමකට අනුව ක්‍රමක්‍රමයෙන් ප්‍රස්තූතයට එළැඹීමයි.

ඔහු ඇය සමග දීර්ඝව කතා කළ මුල් දවසේ පැයක පමණ කාලයක් ගත කළේ තමාව ඇයට හඳුන්වා දීමටයි.

ඒ පළමු පන්තිය විය.

දෙවන පන්තියේ දී, ඇගෙන් විවිධාකර ප්‍රශ්න අසමින් ඇය ගැන විස්තරාත්මක වැටහීමක් ඇති කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය.

තුන් වෙනි අවස්ථාව ඔහු යොදා ගත්තේ, ඔවුනොවුන් අතර ඇති ගැළපීම් ගැන සාකච්ඡාවක් කිරීමටයි.

පන්ති පහක් ම කරන්නට ඔහු මුලින් සිතා සිටිය ද, ඒ සඳහා කාලය ගත නොකර ඔහු ඊළඟට කෙළින් ම ඇයට ප්‍රශ්නය යොමු කළේ ය.

"මට හිතෙනවා අපි දෙන්නා ගැලපෙනවා ය කියලා. ඔයා මොකද කියන්නේ?"

ඇය දිනක් කල් ඉල්ලා පසු දින මුණ ගැසුණු විට මෙසේ කීවා ය.

"මගේ ජීවිතයේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සිදුවුණු දේ නිසාත්, දැන් මං ඉන්නා තත්වය නිසාත්, මට ඔයා කියන දේට කැමති වෙන්න බෑ!"

"අනේ, මා එක්ක තරහා වෙන්න එපා රනුක!" ඇය ඒ සමගම ඔහුගෙන් ඉල්ලා සිටියා ය.

අපේ කතා නායකයා, තම ජීවිතයේ දී කියූ හොඳම දෙවන වචන කිහිපය ඔහු ගේ මුවින් පිටවුණේ ඒ මොහොතේ දී ය.

"මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ? මං ඔයාට ආදරෙයි නේ. ඒ ආදරය හැමදාම පවතීවි!"

තම සිත ඒ මොහොතේ සසල වූ බව ඇය පසුව ඔහුට කීවා ය.

කෙසේ නමුත්, ඒ හමුවීම් එතැනින් අවසන් විය.

කාලය ගත විය.

සමස්ත පරිසරය ම සුන්දර වෙන, කහපාට, දම්පාට මල් පිපෙන මැයි මාසය උදා විය.

අපේ කතානායකයා ට පෙර කී යෞවනිය ගේ මිතුරියක අලුත් අවුරුදු සමයේ දී හදිසියේ මුණ ගැසී තිබුණි.

"ඔය දෙන්නා හොඳට ගැලපෙනවා රනුක. ඔයයි, එයයි එකතු වෙනවා නම් අපි ඔක්කොම කැමතියි!" ඇය එදා කීවා ය.

එයින් දිරිගත් කතානායකයා කළේ නැවතත් යෞවනිය මුණ ගැසී පෙර ප්‍රශ්නය ම නැවතත් ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමයි.

පිළිතුර සඳහා යළිත් කල් ඉල්ලීමක් කෙරුණි.

දින දෙකක් පමණ ගත විය.

"හෙට නිවාඩු නේද රනුක? අන්න අරයා හවස් වරුවේ ඇවිත් හම්බ වෙන්න කිව්වා!" මග දී කතා නායකයාව නැවැත්වූ පෙර සඳහන් කළ මිතුරිය කීවා ය.

"ඔව් හෙට නිවාඩු නේ. හෙට ජාතික වීර දිනය. මං එන්නම් කියන්න!" අපේ කතා නායකයා මිතුරියට පැවසුවේ ය.

එදා තම සිත ගත් යෞවනිය හමු වී, බලාපොරොත්තු මල් පුබුදාගෙන, ඇය සමග දෙපැයක් පමණ අති සොඳුරු කතා බහක ද යෙදෙමින් සිට, ආපසු එන ගමනේ අතරමග දී ඇය වෙනුවෙන් පොඩි කඩේ යෑමක් ද කර, අපේ කතා නායකයා, දෙමහල් තෙමහල් මැදුරු, මල්වතු, උයන් වතු, පටු පාලම් යනාදිය පසු කරමින් සිය නේවාසික ස්ථානය වෙත පැමිණියේ වීරයෙකු ලෙසිනි.

නිකම්ම නිකං විරුවෙකු ලෙස නොව මැයි මහේ විරුවෙකු ලෙසිනි.

මුලින් මා සඳහන් කළ ආකාරයට ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකි ලෙසිනි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වීර කතාව රැගත් සමනල වර්ණ සිහින සිත්තම මාස දෙකක් පමණ බොක්ස් ඔෆිස් ෆුල් කරමින් දිව්වේ ය!

(http://www.ft.lk/2014/05/08/university-of-peradeniya-a-treasure-of-beauty-and-wisdom/)

28 comments:

  1. මේ රනුක = රසික ද දන්නෙ නැහැ හ්ම්ම්ම්.........................

    ReplyDelete
    Replies
    1. නම නොවෙයි කතාව කියවන්න!
      නම සිසිර වුනත් කතාව ඒක ම තමයි.

      Delete
  2. කතානායකයාගේ නම රනුකද රසිකද? :)

    ReplyDelete
    Replies
    1. නම නොවෙයි කතාව කියවන්න!
      නම සිසිර වුනත් කතාව ඒක ම තමයි.

      Delete
  3. //"මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ? මං ඔයාට ආදරෙයි නේ. ඒ ආදරය හැමදාම පවතීවි!"// මේක දෙවෙනි හොඳම එකනම් පලවෙනි හොඳ එක මොකක්ද?

    සංවත්සරයට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හොඳම එක ගැන වෙනම කතාවක් ලියන්න වෙනවා!

      සුබ පැතුම් කෙසේ වෙතත්, ඒක සමරන සංවත්සරයක් නොවෙයි!

      Delete
  4. ඔබේ කතානායකයා, අපි ඔහුට රසික යැයි කියමු.

    ReplyDelete
    Replies
    1. නම නොවෙයි කතාව කියවන්න!
      නම ප්‍රසන්න වුනත් කතාව ඒක ම තමයි.

      Delete
  5. Replies
    1. සුබ පැතුම් කෙසේ වෙතත්, ඒක සමරන Anniversaryයක් නොවෙයි!

      Delete
  6. සුරු විරු විරු සමරු. අර සුනිල් උඩින්ම අංකොල් වුණේ මක්කැයි.

    ReplyDelete
    Replies
    1. පැන්ෂන් ගිය අය අංකල්ලා නේද?

      Delete
  7. මැයි මහේ වීරයා පොස්ට් එකේ ලේබල් එකක් "අපේ මෝඩකම්" ඇත්තට ඇයි සමහර වෙලාවට ඒ කාලේ තිබ්බ ඒ සමනල් ප්‍රේමවෘතන්ත පස්සේ කාලෙක මෝඩකම් විදියට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මෝඩකම වනාහී එදා රනුක තමන් වීරයෙකු යැයි සිතීම ය!

      Delete
  8. Rasika,meddigen palawenipara anagena nedda? Ha Haa

    ReplyDelete
    Replies
    1. මා මෙඩ්ඩියෙකු ගෙන ඇණ ගෙන නැත!

      Delete
    2. මෙඩ්ඩියකට නං අනින්න ඇති! :-)

      Delete
  9. සැමරීමක් නෑ කිව්ව නිසා සුබපැත්මක් නෑ. කොහොම වුනත් හොඳ කතන්දරයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්!

      රනුක ගේ අත්දැකීම කෙසේ වෙතත් මගේ ලිවීම නිසා විය යුතුයි!

      ජීවිතය විසින් මවන කතා තරම් හොඳ කතා තවත් නැති බව මක්සිම් ගෝර්කි ද කියා තිබේ.

      Delete
  10. පළමුව මන්දා නාලනී ලෙස ලිවීම නන්දක්කාට කරන අගෞරවයක් කියා සිතුණා. අප විහිළුවට නම් පැටලුවත් ප්‍රසිද්ධියේ එසේ ලිවිය යුතු නෑ. රසිකගේ නමත් ලිපියක නොව කොහේ වුණත් එසේ ලියනවාට කැමති වෙන එකක් නෑ.
    දෙවනුව මටත් කැම්පස් එකේදි සිද්ධ වුණ දෙයක් මතක් වුණා. රණුක ධර්ම ටෝක් දුන්නා වගේ මගේ දෙවන වසරේදීත් ෆ්‍රෙෂියෙකු ගැන සිතක් පහළ වී ඇය සමඟ මා හඳුන්වා දෙමින් හා ඇය හඳුනාගන්නට උත්සහ කරමින් වාර කිහිපයක් කතා බහ කළා. "අපි ඇසුරු කරල දෙන්නට දෙන්න ගැලපෙනව නං සම්බන්ධය තහවුරු කරමු" වගේ අවංක ප්‍රකාශයක් කරන්න ගිහිං එයා බෑ කිව්ව.
    "යකෝ...කොයිකත් අන්තිමේට කරන්නෙ ඕක තමයි. තෝ ගොං හරක. අවංක වෙන්න ගිහිං ඇණගත්ත" කියල හොස්ටල් එකට ආවම බැචාල වදේ ගැහුව.

    ReplyDelete
    Replies
    1. මා ඇයව මන්දා නාලනී ලෙස නම් කිරිම නන්දා මාලනී අක්කාට කළ අගෞරවයක් කියා ගේ හෙන්රි මල්ලීට සිතීම පුදුමයක් නෑ.

      නමුත් එදා සත්‍යයේ ගීතය පවනක් ගැයූ ඇය පසු කළෙක රට ගිනි ගනිද්දී සිල් ගත් හැටිත්, පසුව කේතුමතී රාජ්‍යය උදා වූ වා සේ පෙස්සම් අස්සන් කළ හැටිත් දුටු විට මට නම් අනේ මන්දා නාලනී කියා සිතුණා!

      Delete
    2. එතැනත් දේශපාලන කුහකත්වය. ඕක නැත්නම් රසිකටත් රචකයෙක් විදිහට තැනක් ලැබෙන්න තිබ්බා. පව් .. මෝඩකමට බෙහෙත් නැහැ නෙ

      Delete
  11. ලියන්න ගිය කොමෙන්ට් එකක්වත් ගැලපෙන්නෑ වගේ හිතුනා. ඒ ගමන නිකා හිටියා.

    ReplyDelete
    Replies
    1. තුෂ්නිම්භූත වුනා ද?
      අන්දුන්කුන්දුන් වුනා ද?
      ගොළු වුනා ද?
      සිහි විකල් වුනා ද?

      Delete
  12. අපි නම් ගම් මනක්කල්පිතව ලියන කොට කළබල වෙච්ච "රනුක" කෙනෙක් මතක් වුණා හිටං...සුභ පැතුම් හිටං...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.